පලමු තරගය ලංකාව ලාඕසයට පරදී

ආසියානු සහයෝගීතා කුසලාන පාපන්දු තරගාවලියේ ශ්‍රී ලංකාව හා ලාඕසය අතර තරගයෙන් ගෝල් 2-1ක ජයක් හිමිකර ගැනීමට ලාඕසය සමත් වුණා. මැලේසියාවේ කුචීන් නගරයේ සරවක් නෙගේරී ජාත්‍යන්තර ක්‍රීඩාංගණයේ ඊයේ පැවැති තරගයේ පළමු භාගයේදී දෙපිලම ගෝල් වාර්තා කිරීමට සමත් වූයේ නැහැ.  තරගයේ 57 වැනි මිනිත්තුවේදී කෝනර් පහරකින් ලාඕසයේ මොවුක්ඩා සොවුක්වාත් පළමු ගෝලය වාර්තා කළ අතර දෙවැනි ගෝලයද කෝනර් පහරකින් කහම්පනි සොන්තන්ලායී 82වැනි මිනිත්තුවේදී වාර්තා කළා.

තරගය නිමාවීමට මිනිත්තුවක් පමණ තිබියදී ශ්‍රී ලංකා පිලේ ආදේශක ක්‍රීඩක සර්වාන් ජෝහාර් ගෝල් කනුව ඉදිරියේ සිටි මොහොමඩ් අෂ්කූර් වෙත යොමු කළ කෝනර් පහර හිසෙන් ගෝල් කණුව ඇතුළට එල්ල කරමින් ශ්‍රී ලංකා පිලේ එකම ගෝලය වාර්තා කළා.  එම අවස්ථාවේ ලාඕසයේ ක්‍රීඩකයන් හත් දෙනකු පමණ ගෝල් කණුව ඉදිරිපිට ආරක්ෂක වලල්ලේ රැදී සිටියද ඒ සියලු දෙනා පරයමින් ගෝලය වාර්තා කිරීමට ශ්‍රී ලංකා ක්‍රීඩකයා සමත් වීම විශේෂත්වයක්.

මේ තරගයේදී ශ්‍රී ලංකා පිලේ එඩිසන් ෆිගුයුරාඩෝගෙන් දෙවැනි භාගයේ අවසන් මිනිත්තු 8 තුළදී ගෝලයක් රැස් කිරීමට තිබූ පහසු අවස්ථාවක් ගිලිහී යෑම අවාසනාවන්ත සිදුවීමක් . ගෝල් රකින ක්‍රීඩක සුජාන් පෙරේරාට ඊයේ තරගය ඉතාම කාර්ය බහුලවූ අතර ලාඕසයේ ක්‍රීඩකයන් ගෝල් කණුව වෙත කෙලින්ම එල්ල කළ දැවැන්ත පහරවල් 4ක් පමණ ඔහු විසින් වලක්වනු ලැබුවා.
ලාඕසය ජගත් පාපන්දු ශ්‍රේණිගත කිරීම්වල 175 වන තැන පසුවන අතර ලංකාවට හිමි 193 වන ස්ථානයයි.

ශ්‍රී ලංකාව හා මොන්ගෝලියාව අතර තරගය මේ 6වැනිදා පැවැත්වීමට නියමිතයි.

ඔබගේ අදහස අපට කියන්න

Close