ප්‍රේමය සසර පුරා යන බැදීමක් / බුදු දහම ඇසුරෙනි

අපවත්වී වදාල ඛෙල්ලන ඥානවිමල නාහිමියන් බුදුදහම පිළිබද මනා අවබෝධයක් සහිත විශිෂ්ට සංඝ පීතෘන් වහන්සේ නමකි. උන්වහන්සේ වැඩ සිටි සමයේ බුදුසරණ පුවත්පතට සක්වල සක්මන නමින් සැපයූ විශේෂ ලිපි පෙලේ එක් ලිපියකි මේ.

මහනායක හාමුදුරුවනේ, විඥානය සමග එකට බැඳී ආදරයත් සංසාරයේ අඛණ්ඩව පෙරට ගමන් කරනවාද?

ඔව්. ආදරයත් පංචස්කන්ධයට මිශ්‍රව සසර දිගට ම ගමන් කරනවා. පංචස්කන්ධයන්ගේ පැවැත්ම නතර වනතුරු ගමන් කොට එතැනින් ආදරයත් නතර වෙනවා.

‘ථෙරී අපදානයෙහි’ විස්තර වන පරිදි, සිද්ධාර්ථ – යශෝධරා දෙපළගේ ආදරයත් මේ විධියට සිද්ධවෙලා තිබෙනවා.එනම්, යශෝධරාවන් සසරේ අපමණ ජීවිත ගණනක බෝසතුන් සමඟ සෙවනැල්ල වගේ ගමන් කරමින් ආදරණීය භාර්යාව වුණා.

ලේන කුලේ සිට විවිධ ආත්මභවවලදී පවා මේ දෙදෙනාගේ ආදරය නතර වුණේ නැහැ. සිය අවසන් ආත්මභාවයේ දී යශෝධරා මෙහෙණින් වහන්සේ රහත් වී පිරිනිවන් පෑමට යද්දී බුදුරදුන් හමුවී සදහටම සමුගත්තා.

එහිදී, එතුමිය විසින් තමන් සසර සැරිසැරූ කාලයේ විවිධ තොරතුරු සඳහන් කරනු ලැබුවා. ඉනික්බිතිව බුදුරදුන් ද ඒ බව අනුමත කර සිටියා.

ඒ වුණාට, බුදුරදුන් එබඳු විස්තරයක් දේශනා කළ වෙනත් අවස්ථාවක් පිළිබඳ ව බුදු දහමේ දැක්වෙන්නේ නැහැ නේද?

ඒකට හොඳම උදාහරණය, බුදුරදුන් කිඹුල්වත්පුර ගමනේ දී යශෝධරාවන්ට ‘චන්න කින්නර ජාතකය’ දේශනා කිරීමයි. පන්සිය පනස් ජාතක කතා පොතේ 473 වෙනි ජාතකය හෙවත් ‘චන්න කින්නර ජාතකයෙහි’ බුදු රදුන් කළ විවරණය මෙසේ දැක්වෙනවා.

“මහරජ, යශෝධරාව මාගේ අභිනිෂ්ක්‍රමණයෙන් පසු සියලු සැප අතැර එක් වේලක් පමණක් ආහාර ගනිමින් බිම සයනය කිරීම සහ අන්පුරුෂ පහස නොපැතීම ආශ්චර්යයක් නොවෙයි. ඇය මා සමඟ මෙලෙස සසර සරද්දී තිරිසන් යෝනියෙහි උපන් අවස්ථාවල පවා ඇගේ ආදරය නිකැලැල්ව පැවතුණා. ”එසේ කෙසේදැයි පිය රජතුමන් විසින් ආරාධනා (විමසීම්) කරනු ලැබුවෙත් මේ ජාතක කතාව දේශනා කොට වදාළා.

එම ආත්මයේ දී බරණැස් රජු දැන් අනුරුද්ධ මහරහතන් වහන්සේයි. කින්න රාංගනාව මේ යශෝධරා නම් තොපගේ ලේලියයි. සඳ කිඳුරා නම් බුදු වූ මමම වේදැයි පූර්වාපර සන්ධි (අතීත – වර්තමාන- ආත්ම ගැළපීම) ගලපනු ලැබුවා.

දරු සෙනෙහස දලුලෑම

  එතකොට, බුදුවීමට පෙර අවසන් වතාවට උපත ලැබූ, වෙස්සන්තර ආත්මභාවයේ සිටි දරු දෙදෙනා ගැන විස්තර වෙන්නේ නැද්ද?

සිද්ධාර්ථ – යශෝධරා පෙර භවයේ වෙස්සන්තර, මන්ත්‍රී දේවිය බව කවුරුත් දන්නවානේ. ඒ වගේම, ඒ දෙන්නාට සිටි දරු දෙන්නා ජාලිය ක්‍රිෂ්ණාජිනා කියලත් අමුතුවෙන් කිවයුතු නැහැ. මේ දාරක ස්නේහයත් සංසාරයේ බොහෝ ආත්මවල එකට ගමන් කර තිබෙනවා. ඒ නිසායි, සිය අවසන් ආත්මභාවයේ දී පවා ජාලිය කුමරු මේ දෙදෙනාගේම පුතු ලෙස රාහුල කුමාරයා වී උපත ලැබුවේ. නමුත්, ක්‍රිෂ්ණාජිනාට සිද්ධාර්ථ – යශෝධරා දෙපළ දෙමාපියන් නොවුණාට ඇයත් මේ අයගේ ඇසුර ලබන මානයේ උපත ලැබීමට භාග්‍යවන්ත වුණා. ඒ රූමත් උත්පලවන්නා තෙරණිය හැටියටයි.

ස්ත්‍රී පුරුෂ ආත්මභාව ලැබීම

හොඳයි, එතකොට, ‘පිරිමි’ ආත්ම ලැබූවන් පිරිමින් විධියට සහ ‘ස්ත්‍රී’ ආත්ම ලැබූවන් ස්ත්‍රීන් විධියටම ද? සසරේ බොහෝ විට උපදින්නේ.

නැහැ. නැහැ. තම තමන්ගේ කර්ම ශක්තීන් අනුවයි ඒක සිදු වෙන්නේ. දැන් සිද්ධාර්ථ කුමාරයාගේ මව වූ මහාමායා දේවිය පවා සත් දිනකින් කලුරිය කර තුසිත දෙව්ලොව උපත ලැබුවේ ‘මාතෘ දිව්‍ය පුත්‍රයා’ ලෙසයි. ඒ වගේම, අපේ සිද්ධාර්ථ ගෞතම බෝසතාණන් වහන්සේ පවා ‘ස්ත්‍රී’ ආත්මභාවයක ඉතා පූර්වයෙන් උපත ලබා සිටි බව බුදුදහමේ විස්තර වෙනවා. ඒ අපේ ගෞතම බෝසතුන්ට පළමු වරට නියත විවරණ දුන් දීපංකර බුදුරදුන්ටත් කලින් ලොව වැඩ සිටිය පුරාණ දීපංකර බුදුන් දවසේදීයි.

ඈත භවයේ රාජ කුමාරිය

එහෙමනම්, එපමණ ඈත අතීතයට අයත්වන අප මහ බෝසතුන් හා බැඳුණු එම විවරණය කෙබඳු ද?

ඔව්. අපේ අටවිසි බුදුවරුන්ටත් පෙර සෝළසා සංඛ්‍ය කල්ප ලක්‍ෂයක් කල් පාරමී දම් සපිරූ බුදුරජාණන් වහන්සේ නමක් පූර්ව දීපංකර නමින් ලොව පහළ වී සිටියා. එදවස අප මහ බෝසතුන්ට (සුමේධ තවුසාට) පළමු වරට නියත විවරණ දුන් දීපංකර බුදුරදුන් ද තාපසයෙකුව ඉපදී උන්නා. මේ දීපංකර තාපසයා පුරාණ දීපංකර බුදුන්ට තෙල් පහන් පුදා මතු කලෙක තමන්ද එනමින්, එලෙසින් ම බුදුවන බවට අධිෂ්ඨාන කෙරුවා. ඒ අනුව හැමදාම මේ දීපංකර තවුසා පුරාණ දීපංකර බුදුන්ට තෙල් ගෙන ගොස් දීම සිදු කළා.

එක් දිනක් එක ගෙදරකින්වත් තෙල් බිඳක් සොයා ගන්න බැරි වුණා. එහිදී දීපංකර තාපස තෙම රජමාලිගාවට තෙල් සොයාගෙන ගියා. මේ රජ මැදුරේ සිටි කුමාරිකාවක විසින් ඇගේ සිය ඥාති සොයුරා වූ පුරාණ දීපංකර බුදුන් උදෙසා නොපැකිළිව තෛලය ගෙනවිත් තාපසයා වෙත දෙනු ලැබුවා. එම අවස්ථාවේ දී ඇය විසින් තමන් තුළ ද මතු බුදු බව ප්‍රාර්ථනා කිරීමට ඇති අතිමහත් කැමැත්ත පිළිබඳව සිය සොයුරු පුරාණ දීපංකර බුදුන්ට දැනුම් දෙන ලෙසත් පවසනු ලැබුවා.

ඒ අනුව, පුරාණ දීපංකර බුදුන් සිය නැගණියගේ අතීතාත්ම පිළිබඳ ස්මරණයක යෙදී ඇයට මෙම සිතුවිල්ල මීට ආත්මභාව තුනක සිට ඇති වූවක් බව දැක, මතු සෝළසා කල්ප ලක්‍ෂයක් ගිය තැන නිර්මාණය වන සාර මණ්ඩ කල්පයේ දී බුදුවන ඔබගෙන්ම නියත විවරණ ලැබ ‘සිද්ධාර්ථ ගෞතම’ නමින් බුදු බව ලබන බව දීපංකර බෝසත් තවුසාණන් සමඟ පැවසුවා. එලෙස රජ මැදුරේ කුමරියක වී සිද්ධාර්ථ තෛලය පූජා කළේ, අප ගෞතම බුදුපියාණන් වහන්සේයි.

One thought on “ප්‍රේමය සසර පුරා යන බැදීමක් / බුදු දහම ඇසුරෙනි

ඔබගේ අදහස අපට කියන්න

Close