බසයේදී තරුණියකට හේත්තු වෙන්න ගිය අයකුට වසරක සිර දඩුවම්

බස් රථයක් තුලදී තරුණියක අපහසුතාවයට පත්වන පරිදි හැසිරුණු තරුණයකුට කොලඹ කොටුව මහේස්ත්‍රාත් අධිකරණය වසරක සිර දඩුවමක් නියම කර තිඛෙනවා. මාර්ග අංක 138 බස් රථයක් තුලදී තරුණියකගේ සිරුරේ තෙරපීමෙන් ඇය අපහසුතාවයට ලක් කළ බවට වන චෝදනාවට සැකකරු වරද පිළිගැනීමෙන් පසුවයි මෙම දඩුවම නියම කර ඇත්තේ. මෙසේ සිද්ධියට මුහුණපා තිබුණේ කිරුලපන ප්‍රදේශයේදී කොටුව බලා පැමිණීමට බස් රථයකට ගොඩවූ කාර්යාල සේවිකාවක්.ඇයට බස් රථයේ මැද කොටසේ අසුනක් හිමිව තිබූ අතර බස් රථයේ සිට ගෙන ගමන් කළ තරුණයකු සිතා මතා ඇය අපහසුතාවයට පත් කළ බවට චෝදනා එල්ල වුණා. ලේක්හවුස් මන්සන්ධිය දක්වා පැමිණෙන තෙක්ම මෙම තරුණියගේ සිරුරේ තෙරපීමෙන් දැඩිව අපහසුතාවයට පත් කිරීමෙන් පීඩාවට පත් ඇය හඩා වැටෙන්නට පටන් ගෙන තිබුණා.
එය දුටු තරුණියක් විසින් කරුණු විමසා සැකකරුට පැන යාමට නොදෙන ලෙස මගීණ්ගෙන් ඉල්ලීමක් කර තිබුණා. එහිදී මගීන් භාරයට ගත් පුද්ගලයා කොම්පඤ්ඤවීදිය පොලිසියට භාරදීමෙන් පසු තමන් උවමනාවෙන්ම තරුණිය අපහසුතාවයට පත් කළ බවටයි සැකකරු පිළිගෙන ඇත්තේ.
පසුව කොටුව මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනවිය හමුවට ඉදිරිපත් කිරීමෙන් පසුව සැකකරුට වසරක සිර දඩුවමක් හා රුපියල් 1500 ක දඩයක් නියම කෙරුණා. මෙය මෙරට කාන්තාවන් වෙනුවෙන් ලබාදුන් විශිෂ්ට තීන්දුවක් ලෙසයි සැලකෙන්නේ.
පොදු ප්‍රවාහන සේවාවන්වලදී කාන්තාවන් අපහසුතාවයට පත්වන රටවල් අතර ලංකාවද ඉහල මට්ටමකින් නම් කර ඇති බව පසුගිය සමයේ වාර්තා කෙරුණා.එවන් සිද්ධියක් සම්බන්දයෙන් මෙවන් දැඩි පියවරක් අනුගමනය කළ පලමු අවස්ථාව ලෙසයි මෙය සැලකෙන්නේ.

ඔබගේ අදහස අපට කියන්න

Close