රොකට්ටුවක් හැදූ ලංකාවේ කොල්ලා මිසයිලයක් තැනීමට සැරසේ

ගොම්මන පැතිර යමින් තිබියදී හසිත්ගේ නිවහනටද අඳුර ගලා එමින් තිබිණි. නිල් පැහැව තිබූ අහස කළු පැහැ ගැනුණු අන්දම හසිත් බලා සිටියේය. නිල් කැට රතු කැට අහසේ තැන තැන දිදුලන අන්දම හසිත් දුටුවේය. තරු රටා අපූරුවට මැවෙමින් තිබිණි. මන්මත් කළ අහස සිසාරා යන්නට හසිත්ට සිතුණු වාර අනන්තය.

“අහසේ පියාඹලා යන්න තිබුණා නම් හසිත් වරක් දෙවරක් සිතුවේය.

තරු එළිය මැකී යමින් සඳ මෝදුවන මොහොත උදා විය. සඳ කිරණ හසිත්ගේ නිවහන උඩින්ද ගලා යන්නට විය. හසිත්ට හඳේ හාවා දකින්නට ආසාවක් ඇති විය. හඳේ හාවා හුදු උප කල්පනයක් මිස විද්‍යාත්මක සත්‍යයක් නොවන බව හසිත් දැන සිටියේය. හසිත් මොහොතක් නිසොල්මන්ව සිටියේය.

“මටත් හඳට යන්න ඇත්නම් හසිත්ගේ මතකය නව බලාපොරොත්තුවක් ඇති කළේය. හසිත් භාසුර රාජකරුණා මේ නව නිර්මාණය කිරීමට යොමු කළේ ඒ සුන්දර බලාපොරොත්තුවයි. සඳ තරණය කරන්නට නොව අවකාශය දිනන්නට චතුමිණ නමින් රොකට්ටුව තැනූ මාතලේ හසිත් භාසුර රාජකරුණාගේ ‘චතුමිණ’ රොකට්ටුවේ උපත සිදු වූයේ ඒ අයුරිනි.

අඳුර මැදි දිදුලුණු තරු කැට අතර ගොඩ නැඟුණු සිහිනයේ සිතුවිල්ල හසිත්ගේ චතුමිණ නිර්මාණය කරන්නට තරම් සමත් විය.

“මෙත්තා, මුදිතා, කරුණා සහ උපේක්ඛා යන චතුර්විධ ගුණයන් අරබයා මම මගේ රොකට්ටුව ‘චතුමිණ’ කියල නම් කළා. චතුමිණ කියන්නේ මැණික් හතරක් කියන අරුත. මට පෙර කී ගුණාංගයන් මැණික් මෙන් වටිනවා. ඒකයි චතුමිණ කියල නම් කළේ. හසිත් භාසුර රාජකරුණා තම කුළුඳුල් නිර්මාණයේ අගය පැවැසුවේය.

rocket

2014 වන විට හසිත් මාතලේ විජය විද්‍යාලයේ ඉගෙනුම ලබමින් සිටියේය. උෟව හාලිඇළ මහා විද්‍යාලයෙන් මූලික අධ්‍යාපනය ලැබූ හසිත් විජය ජාතික පාසලේ උසස් පෙළ ඉගෙනුම ලබමින් සිටියදී තම කුළුඳුල් නිර්මාණයට අත තැබීය.

විද්‍යා විෂයයන් කෙරෙහි වැඩි ඇල්මක් දැක්වූ හසිත් තාරකා විද්‍යාව කෙරෙහි දැක්වූයේද ඊට නොදෙවැනි කැමැත්තකි. මෙම කැමැත්ත තුළම හසිත් නාසා ආයතනය, රොකට් තාක්ෂණය සහ තාරකා විද්‍යාව කෙරෙහි නැඹුරුවක් දක්වන්නට විය. තාරකා විද්‍යාව පිළිබඳ පොතපත මෙන්ම වෙනත් සබඳතා ගොඩ නඟා ගත් හසිත් රොකට්ටුව නිර්මාණය කිරීමට අත ගැසුවේ පන්ති භාර ආචාර්ය ගාමිණී දවුලගල මහතාගේද ආශීර්වාදය ඇතිවය.

“හසිත් දක්ෂ දරුවෙක්. පාසල් ජීවිතයේදීම රොකට්ටුවක් හදන්න කල්පනා කළා. තාරකා විද්‍යාව කෙරෙහි වැඩි නැඹුරුවක් තිබුණා. පොත පත පරිශීලනය කළා. පාසලේ තාරකා විද්‍යා සංගමය ඇති කිරීමට පුරෝගාමී වුණා. භෞතික විද්‍යාව, රසායන විද්‍යාව, ජීව විද්‍යාව හසිත්ගේ ප්‍රියතම විෂයයන්. අරමුණ හඹා යන තරමටම හසිත් අවංකයි. දක්ෂයි. හසිත්ගේ පන්ති භාර ආචාර්ය ගාමිණී දවුලගල මහතා පැවැසුවේය.

හසිත්ගේ චතුමිණ ඉකුත් 19දා මාතලේ මොයිසි ක්‍රසන්ට් පාර වෙල්යායේදී ගුවන් ගත කළේය. මහා කලබගෑනියක් නොකොට සමීපතමයන් කීපදෙනකුගේ සහභාගිත්වය ඇතිව චතුමිණ ගුවන් ගත කිරීමක් සිදු කළ බව හසිත් පවසයි.

“මගේ බලාපොරොත්තුව සාර්ථක වුණා. අහස දිහාවෙ බලාගෙන ඉද්දි ඇති වුණු ආසාව යථාර්ථයක් බවට පත්කර ගැනීමට හැකි වුණා. මේ මූලාරම්භය. මට සඳ තරණය කරන්න නොවෙයි. හිස් අවකාශය දිග් විජය කරන්නයි අවශ්‍ය. මගේ මූලික පියවර අතිශය සාර්ථකයි. මගේ රොකට්ටුව කිලෝමීටර් එකහමාරක් අහසට ගියා. මගේ ගණනය කිරීම් අනුව කිලෝ මීටර් හතරහමාරක් යන්න තිබුණා. ඒත් යම් යම් තාක්ෂණික දෝෂ බලපෑවා. ඒත් ගමන සාර්ථකයි. ඒ සියයට සියයකින්ම. තම කුළුඳුල් නිර්මාණයේ සාර්ථකත්වය පිළිබඳ හසිත් විස්තර කළේය.

“මේ ආසාව මට ඇති වුණේ 2014දී. එදා අහස දිහාවෙ බලාගෙන හිටිය මම හිතුවා කවදා හරි ගුවන ජය ගන්න ඕනෑ කියල. ඒකට අඩිතාලමයි දැම්මේ. එදා අහස පිළිබඳ ආසාවක් ඇතිවුණු අවස්ථාවේ ඉඳල නාසා ආයතනය පිළිබඳ තාරකා විද්‍යාව රොකට් තාක්ෂණය පිළිබඳ පොතපත හොයා ගෙන ගියා. මට ජීවිතේ තිබුණෙ එක බලාපොරොත්තුවයි. ඒ රොකට්ටුවක් හදන එක. ජීවිතේ අවසන් ප්‍රාර්ථනය අහස දිග් විජය කරන එක. මට පුළුවන් වෙයි. හසිත් තම එකම බලාපොරොත්තුව පිළිබඳ විස්තර කළේය.

‘චතුමිණේ’ ගමන කිලෝ මීටර් එකහමාරකින් අවසන් වුවත් එය සියයට සියයක සාර්ථකත්වයක් බව හසිත්ගේ අදහසයි. “මට තාප සන්නායකය මැනිය හැකි උපකරණ තිබුණෙ නැහැ. චතුමිණ ගමන කෙටි වුණේ ඒ නිසයි. මෙවැනි නිර්මාණයක් කරද්දී අවශ්‍ය වන උපකරණ බොහොමයි. ඒත් මම ඒ අතින් දුර්වලයි. මේ අත්හදා බැලීමේදී බොහෝ දේවල් ඉගෙන ගත්තා. මම ආරක්ෂිතව මනුස්සයෙක් ගොඩ බාන්න හැකි පැරෂුටයක් නිර්මාණය කිරීමේ අවබෝධය ලබා ගත්තා. අතුරු තාක්ෂණික ප්‍රතිඵලයක් විදියට පරිගණකයකින් පාලනය කළ හැකි අන්දමට පද්ධති වැඩිදියුණු කිරීමේ හැකියාව ඇති වෙයි. මිසයිල තාක්ෂණය දක්වාම මගේ චතුමිණ වර්ධනය කළ හැකියි. බලාපොරොත්තු ගොන්නක් සමාජගත කරමින් හසිත් පැවැසුවේය.

හසිත් පිය සෙනෙහස අහිමි දරුවෙකි. මව ස්වර්ණලතා මංගලිකා මහත්මියයි. ඇය හසිත්ගේ නිර්මාණය පිටුපස සෙවණැල්ලක් මෙන් සිටි බව හසිත් පවසයි.

“පුතා පුංචි සන්දියේ ඉඳලම මෙවැනි නිර්මාණ හැකියාවක් ඇතිවයි හිටියෙ. එයාට අවශ්‍ය දේවල් ගන්න උදවු කළා. එයාගෙ දේවල්වලට අපි බාධාවක් වුණේ නැහැ. කවද හරි පුතාගේ බලාපොරොත්තුව සාර්ථක වෙයි කියල මටත් විශ්වාසයක් තිබෙනවා. මව ස්වර්ණලතා මංගලිකා මහත්මිය පැවැසුවාය.

මවගෙන් මෙන්ම ගාමිණි දවුලගල සර්ගෙන්ද හසිත්ට මූල්‍ය උපකාර නොඅඩුව ලැබුණු බව හසිත් කියයි.

“මෙහෙම දේකට උදවු උපකාර කරනවා අඩුයි. ඒත් මට මගේ අම්මත් මගේ සර්රුත් උදව්වට හිටියා. රාජ්‍ය අංශය හෝ පිළිගත් ආයතනයක් මට උදවු කළා නම් වඩාත් සාර්ථක නිර්මාණයක් කළ හැකිව තිබුණා. මගේ නිර්මාණය නුදුරේදීම ලෝකය ජය ගනියි කියල මට විශ්වාසයක් තියෙනවා. මම තැනූ චතුමිණට යෙදූ තාප පරිවාරකය සියයට සියයක්ම සාර්ථකයි. මේ තාප පරිවාරකය සැහැල්ලුයි. සෙල්සියස් අංශක 1500ක තාප ධාරිතාවක් දරා ගැනීමේ හැකියාව තිබෙනවා. තාප පරිවාරක ගුණයෙන් ඉහළයි. තාපය සංක්‍රමණය වීමේ ප්‍රවණතාව අවමයි. හසිත් භාසුර රාජකරුණා තම කුළුඳුල් නිර්මාණය පිළිබඳ හා එයින් ලද අතුරු වාසි තත්ත්වයන් පිළිබඳ විස්තර කළේය.

හසිත් රාජකරුණාට බලාපොරොත්තුවක් ඇත. ඒ තම පෞද්ගලිකත්වය උදෙසා නොව උපන් බිමට කීර්තියක් අත්කර දීමටය. “මට අහස තරණය කරන්නට පමණක් නොව සඳෙන් එහා අවකාශය දිග් විජය කිරීමටයි අවශ්‍යයි. මට අත දෙන්න. මවුබිමේ නාමයෙන් මම ලොවම විස්මයට පත් කරන රොකට්ටුවක් හදන්නම් හසිත් භාසුර රාජකරුණා මගෙන් මෙන්ම ඔබෙන්ද මෙම ආයාචනය කළේය.

මාතලේ – හේවා පී. කරුණාරත්න

ඔබගේ අදහස අපට කියන්න

Close