රුවන්වැලි සෑ වන්දනාවට කෝටියක් දාස්පෙතියා මල් වවන ගමක්

පැතුම් සහගත මිනිසුන් පරාජය කළ නොහැකිය. කුමන බාධක පැමිණියද තම ඉලක්‌කය කරා යැමට ඔවුහු සමත් වන්නාහ. මෙය කියවන ඔබට එකවරම මෙවැන්නක්‌ සිදුවිය හැකිදැයි· යන සැකය පවා මතුවීමට ඉඩ ඇත. පුදුම නොවන්න. උපභෝග, පරිභෝග වස්‌තූන් පසුපස පමණක්‌ හැල්මේ දුවන අප අතර දැනටත් මතු මතුත් පුණ්‍යවන්ත මිනිසුන් සිටින බව කියෑවෙන මෙහි එම උතුම් කාර්යයට ශ්‍රමයෙන්, ධනයෙන් සහ සම්බන්ධ වී සිටින සාධු ජනයන්ගේ නම් වග වාසගම් සඳහන් නොකරන්නේ ඔවුන් විසින් කළ කාරුණික ඉල්ලීමක්‌ හේතුවෙන්ය.

ස්‌ථානය… ගලේවෙල නගරයෙන් හැරී කලාවැව පාර, ගම්බිරිගස්‌වැව ගෙවල් පනහ ප්‍රදේශයට ආසන්න වගා භූමියක්‌ය. ප්‍රදේශයෙහි ඇත්තේ වගාව සඳහා කදිමට ගැළපෙන පසක්‌ සහිත වටපිටාවක්‌ය. ගම්බිරිගස්‌වැව ගැමියන්ගේ දහදිය මහන්සියෙන් කලක පටන් එහි අල බතල භව භෝග වගා කරනු ලබන්නේ ඔවුන්ගේ ජීවිකාව පිණිසය. ජීවත් වීමට අවශ්‍ය කීයක්‌ හෝ මුදලක්‌ උපයා ගැනීම පිණිසය.

එහෙත්… මෙතෙක්‌ කලක්‌ කරගෙන ආ ජීවිකාව පසෙකලා ඔවුන් මේ වන විට එලොව මෙලොව දෙකෙහිම සුගතිය පිණිස හේතුවන මහා පිංකමක කොටස්‌කරුවන්ය. එය පින්වන්ත මිනිසකුගේ සිත තුළ උපන් සිතුවිල්ලක්‌ බැවින් මෙතැන් සිට කතාව පෙළ ගැසෙන්නේ ඔහු මුල්කර ගනිමින්ය.

“මම මීට අවුරුදු දෙකකට ඉස්‌සර පොළොන්නරුවෙ සෝමාවතී පුදබිම වන්දනා කරන්න යනව පිරිසක්‌ එක්‌ක. එහෙම ගිය අතරෙ තමයි මට මේ සිතුවිල්ල මුලින්ම පහළ වෙන්නෙ. එදා මම අධිෂ්ඨාන කරගන්නව මමත් මේ වගේ පින්කමක්‌ කරනව කියල. එදා සෝමාවතී පුදබිම තිබුණෙ මල් පිංකමක්‌. ඒක දැකල ඒකට සම්බන්ධ වුණාට පස්‌සෙ තමයි මේ හැම දෙයක්‌ම වෙන්නෙ.

ඊට පස්‌සෙ මේ අවුරුද්දෙ අපි රුවන්මැලි සෑයෙ පිංකමකට සහභාගි වෙනව. එදා මම භාරහාර වෙලා අධිෂ්ඨානයක්‌ ඇති කරගන්නව. රුවන්මැලි සෑයට දාස්‌ පෙති මල් පූජා කරල මහා පිංකමක්‌ කරනව කියල. ඔහොම ඉන්න අතරෙ ආගමට දහමට බොහොම ලැදිකමක්‌ දක්‌වන මගේ හිතවත් මහත්තයෙක්‌ දවසක්‌ ඇවිත් කිව්ව, එයා ගලිගමුවෙ ඥනදීප හාමුදුරුවන්ගේ පොතක්‌ කියෙව්ව රුවන්මැලි සෑය පිළිබඳ සමස්‌ත විස්‌තරය ඒ පොතේ තිබෙනව කියල. ඔය වෙද්දි මගේ ඔළුවෙත් අර පිංකම පිළිබඳ අදහස හොඳටම පැලපැදියම් වෙලයි තිබුණේ. ඒ පාර තමයි මම ඔවුන් එක්‌ක මගෙ හිතේ තිබෙන අදහස ගැන කිව්වෙ. එතනදි ඒ මහත්තය කිව්ව මල්ලි… ඒ වැඩේ පටන් ගන්න. මම උදව් කරන්නම්. අපි එකතුවෙලා කොහොම හරි මේ පිංකම කරමු. ඒකට යන වියදම මම දරන්නම් කියල.

ඔන්න ඔය විදියට තමයි මේ පිංකමට මූලික අඩිතාලම වැටුණේ. එතුමා මුණ නොගැසෙන්න මේ පිංකම මෙච්චර ලොකුවට මේ තරම් ඉක්‌මනට කරන්න පුළුවන්කම නැති වෙනව.

ඔහොම කතා කරගෙන අන්තිමේදී අපි තීරණය කරනව දාස්‌ පෙති මල් කෝටියක්‌ රුවන්මැලි සෑයට පූජා කරල ඉන් අත්වෙන පින රට ජාතිය ආගමට අනුමෝදන් කරන්න.

ඒ වෙද්දි ලොකු සැලසුමක්‌ අපි ළඟ තිබුණේ නෑ. හැබැයි අපි මුලින්ම තීරණය කරගත්ත කොහේ හරි ඉඩමක්‌ හොයල, ඒ ඉඩමේ මල් වවල, ඒ මල් ගෙනිහින් රුවන්මැලි සෑයට පූජා කරනව කියල. දැනට මාස කීපයකට උඩදි දවසක මමයි අර මම මුලින් කියපු මහත්තයයි තවත් කීප දෙනකුයි හා හා පුරා කියල මේ කටයුත්තට මුලපිරුව. එදා අපි පන්සල් සීයකට විතර ගිහින් එක මලක්‌ දෙකක්‌ එකතු කරගෙන කැලණිය විහාරය වෙනකම් ආව. ඒ වෙද්දි රෑ 10 ට විතර ඇති. කොහොම හරි හොඳ හැටි කැලණිය වැඳ පුදාගෙන අපි ආපහු අපේ පදිංචි ප්‍රදේශය වන ගොඩගමට එද්දි රෑ 2.00 ට විතර ඇති. එදා ඉඳල සෑම සතියකම බදාදා, සෙනසුරාදා දවස්‌ දෙකේ අපි මල් එකතු කළා. ඊට අමතරව ගොඩගම බොරැල්ල පාරේ එක්‌ ස්‌ථානයක මල් එකතු කිරීමේ මධ්‍යස්‌ථානයක්‌ ඇති කළා. ඔය අතරේ අනුරාධපුරය, පොළොන්නරුව, බදුල්ල, මහියංගණය ආදී ප්‍රදේශවලින් පවා මල් එකතු කරනව. මොකද මල් ගෝනි දහයක්‌ පහළොවක්‌ මේ වැඩේට අවශ්‍ය වෙන හින්ද. දැන් මල් තිබුණට ඒව රෝපණය කරන්න භූමියක්‌ නෑ. ඒක අපට ලොකු ගැටලුවක්‌. ඔහොම ඉන්න අතරේ ගොඩගමදී මගේ මිතුරෙක්‌ මුණ ගැහෙනව. එයාගෙ ගම ගලේවෙල. එතැනදී මගේ අරමුණ එයාට කියනව. ඊට පස්‌සෙ ඔහුත් අපිට එකතු වෙනව. එතැනදී මගේ මිත්‍රය කියනව එයාගේ ගමේ (ගලේවෙල) හිතවත් ගොවි මහත්තයෙක්‌ ඉන්නව. ඉඩමක්‌ සම්බන්ධව එයත් එක්‌ක කතා කරමු කියල.

එහෙම කතා කරගෙන අපි දවසක්‌ ඔය කියන ගොවි මහත්තයව හොයාගෙන අපි ගලේවෙල යනව. ඒ ගමන ගියේ කුරුණෑගල හරහා. එහෙම යද්දිත් අපි මල් ගෝනියක්‌ විතර කඩාගෙන තමයි ගියේ. ඔහොම ගිහින් අපි අපේ අවශ්‍යතාව එයාට කිව්ව.

අපේ කතාව අහපු ඔහු කිව්ව “බුදු හාමුදුරුවො ඔයාගෙ විතරක්‌ නෙවෙයි, මගෙත් බුදු හාමුදුරුවොනේ… මට අක්‌කර පහක්‌ තියෙනව. ඒ අක්‌කර පහම මේ කටයුත්තට දෙන්නම් කියල” ඒ වෙද්දි බඩඉරිඟු දාන්න පොළොව සකස්‌ කරලයි තිබුණේ. බඩඉරිඟු ඇට ටික අපිට ගෙනැත් දීල එතුමා එක පයින් මේ කටයුත්තට එයාගෙ මුළු ඉඩමම දුන්නා. ඔය කියන ඉඩම තියෙන්නෙ ගම්බිරිගස්‌වැව ගෙවල් පනහ කියන ප්‍රදේශයේ. ඔහු එතැනින් නතර වුණේ නැහැ. මේ කටයුත්තට අවශ්‍ය ඉඩම් අක්‌කර විස්‌සම හොයල දෙන්න ඒ ගොවි මහත්තය පෙරමුණ ගත්ත. ඒ ඉඩම් අක්‌කර විස්‌සට මල් වගා කරන්න යන කාලය බලල අපි මුදල් දෙන්න සූදානම් වුණත්, ඒකත් ඔහු ප්‍රතික්‌ෂේප කළා.

එතැනදී මේ පිංකමට මගෙත් එක්‌ක සම්බන්ධ වෙච්ච මහත්තය තීරණය කළා ඒ කාලය වෙනකම් ඒ අයගේ ගේදොර අවශ්‍යතා සඳහා යන වියදම දරන්න. එහෙමයි ගම්බිරිගස්‌වැව ගෙවල් පනහ ප්‍රදේශයේ පදිංචි බාල, තරුණ, මහළු සිsයලු දෙනාම මේ පිංකමේ කොටස්‌කරුවන් වෙන්නෙ…

එකවරම විශ්වාස කළ නොහැකි මහා පරිත්‍යාගශීලී භාවයක්‌ ඒ තුළින් මුදුන්පත් කර ගැනීමට බලාපොරොත්තු වන පිනැති කුසල කර්මයක්‌ වෙනුවෙන් මේ වන විටද ඔවුන් දැවැන්ත වෙහෙසක්‌ දරන අතර එහි එක්‌ පියවරක්‌ පසුගියදා නිමාවට පත්වී ඇත.

“අපි පළමු පියවර විදිහට මුලින් අක්‌කර 11 ක්‌ ශුද්ධ පවිත්‍ර කළා. ඒකෙන් අක්‌කර තුන්කාලක පැළ තවානක්‌ දැම්මා. ඒ වෙද්දි ගලේවෙල පැත්තෙ තිබුණෙ වියළි කාලගුණයක්‌. කොහොම හරි වතුර මල් හදල තවානට අවශ්‍ය වතුර දාල ටික දවසක්‌ යද්දි දාස්‌පෙති මල් පැළ වෙනුවට වැවෙන්න ගත්තෙ සාරණ. එතැනදී අපිට පොඩි බයක්‌ දැනෙන්න ගත්තා අපේ උත්සාහය වතුරෙ ගියා කියල. ඒ වෙද්දි ලක්‌ෂ තුනකට වැඩිය මුදලක්‌ මේ සඳහා වැයවෙලයි තිබුණෙ. පස්‌සෙ අවට ඉන්න අයට කුලිය දීල අරගෙන සාරණ ගැලෙව්ව. ඒ ගළවද්දී තමයි දැක්‌කෙ සාරණවලට යටින් දාස්‌පෙතිය මල් පැළ පැළවීගෙන එන විත්තිය.

මේ කටයුත්ත ගැන ආරංචිය ලැබිල ඒ ඔස්‌සෙ ඇවිත් හිටිය පින්වන්ත මිනිස්‌සු ටිකක්‌. කොහොම හරි එදා ඒ කටයුත්තටත් හත්සිය පනහක්‌ විතර පිරිසක්‌ එකතු වෙනව. ඒකට නායකත්වය දුන්නේ මකුළුගස්‌වැව පන්සලේ පොඩි හාමුදුරුවෝ. උන්වහන්සේ නැකැත් හදල, පිරිත් කියල, වතාවත්වලින් අනතුරුව තමයි නැකතට පැළ ඉන්දුවෙ. මේ හැම දෙයක්‌ පසුපසම අපට අර්ථයෙන් ධර්මයෙන් අනුශාසනා කරන්න නාඋයනේ අරියධම්ම හාමුදුරුවන්, ගල්දූව ආරණ්‍ය සේනාසනයේ කහගොල්ලේ සෝමවංශ හාමුදුරුවන්, තල්ගමුවේ සුධීරානන්ද හිමියන්, ගලිගමුවේ ඥනදීප හිමියන් වැනි පින්වන්ත ස්‌වාමීන් වහන්සේලා ඉන්නව. උන්වහන්සේලාට නායකත්වය බාරදීල තමයි හැම කටයුත්තක්‌ම සිද්ධ වෙන්නෙ. විශේෂයෙන්ම අපි මතක්‌ කරන්න ඕනේ රුවන්වැලි මහාසෑ විහාරාධිපති පල්ලේගම හේමරතන නායක හාමුදුරුවන් ලබා දෙන සහයෝගය.

ලබන සතිය වෙද්දි ඉතිරි අක්‌කර අටෙත් පැළ රෝපණය කරන්න කටයුතු කරලයි තියෙන්නෙ. ලංකාවෙ තියෙන හැම වර්ගයේම දාස්‌පෙති මල් මේ වගා භූමියේ රෝපණය කරලයි තියෙන්නෙ. මේ කටයුත්ත කරගෙන යද්දි මල් වගාව පිළිබඳ විශේෂඥ දැනුමක්‌ තියෙන පිරිසක්‌ අපත් සමඟ ඉන්නව. ඒ අයගේ උපදෙස්‌ මත තමයි වගා කටයුතු සිද්ධ වෙන්නෙ.

අපි ලබන අවුරුද්දෙ ජනවාරි මාසය නිමාවෙන්න පෙර මේ වගාවෙන් නෙළා ගන්න දාස්‌පෙති මල් කෝටියක්‌, සමහර විට ඊටත් වැඩිවෙන්න පුළුවන්. රුවන්මැලි මහ සෑයට පූජා කරන්න සැලසුම් හදලයි තිබෙන්නෙ. ගස්‌වල මල් පිපෙනකම් ඒවට සාත්තු කරන්න, වල් පැළ ගලවන්න විශාල ශ්‍රමයක්‌ යනව. මේ වෙද්දි සෑම සතියකම සෙනසුරාද ඉරිද අපේ ගම් ප්‍රදේශය වන ගොඩගම ඉඳල අපි කණ්‌ඩායම් වශයෙන් ගලේවෙලට යනව. ඊට අමතරව ඒ අයගේ සේවය ගන්නව. මේ හැම දෙයක්‌ සඳහාම විශාල මුදලක්‌ වැය වෙනව. ඒ සඳහා බොහොම නිහඬව ඉහළ දායකත්වයක්‌ දෙන පින්වතුන් ඉන්නව.

මෙතැනදී ආගම දහමට ලැදි හැමෝගෙන්ම අපි ඉල්ලා සිටින්නේ අපට ශ්‍රමයෙන් උදව් කරන්න කියල. මොකද මේ වෙද්දි පැළපතේ තියෙන මල් ගස්‌වල මල් පිපෙන්න ගත්තට පස්‌සෙ මල් නෙළන්න විශාල පිරිසක්‌ ඕන වෙනව. කෝටියක්‌ මල් නෙලනව කියන්නේ විශාල කටයුත්තක්‌. ඒකට සම්බන්ධ වෙන්න ඕන කෙනකුට ඉඩකඩ තියෙනව. අපි විශ්වාස කරන විදිහට මෑත ඉතිහාසයේ රුවන්මැලි සෑ මළුවෙ පවත්වනු ලබන දැවැන්තම පුණ්‍ය කර්මය මේක වේවි.

රුවන් ජයවර්ධන

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close