නව පක්ෂය නිසා ඒකාබද්ධ විපක්ෂයත් කැඩිලා – ජේ සී අලවතුවල

හිටපු අමාත්‍ය ජී එල් පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් යුත් නව දේශපාලන පක්ෂය ලත් තැනම ලොප්වී ඇතැයි කුරුණෑගල දිස්ත්‍රික් එක්සත් ජාතික පක්ෂ පාර්ලිමේන්තු මන්ත්‍රී ජේ සී අලවතුවල මහතා පවසනවා. මන්ත්‍රීවරයා ලංකා ඒ නිවුස් වෙත අදහස් දක්වමින් සදහන් කළේ නව පක්ෂයක් නිර්මාණය කරන බවට පුරසාරම් දෙඩූ ඇතමුන්ද අද නව දේශපාලන පක්ෂය පිළිබද නොදන්නා බව ප්‍රකාශ කරමින් සිටින බවයි.
පසුගියදා මහනුවර පැවැති උත්සවයකදී ඒකාබද්ධ විපක්ෂයේ මන්ත්‍රීවරුන් කිහිප දෙනකු නව පක්ෂයට එක්වන බව පැවසීමෙන් ඒකාබද්ධ විපක්ෂයේ දෙදරීම පෙන්නුම් කරන බවද අලවතුවල මහතා සදහන් කළා.
ආණ්ඩු පෙරලීම සම්බන්ධයෙන් කට මැත දෙඩීම පසෙක තබා තම කණ්ඩායමේ ඉතිරි පිරිස හෝ නෙඛෙදී ආරක්ෂා කර ගැනීමේ අභියෝගයකට ඒකාබද්ධ විපක්ෂය මුහුණදී සිටින බවද මන්ත්‍රීවරයා පැවසුවා.
දේශපාලනය ජනතාව මුලි කිරීමෙන් නොව රට වෙනුවෙන් සිතා කළ යුත්තක් බව ඉගෙනීමට ඔවුන්ට ඇති හොදම උදාහරණය එක්සත් ජාතික පක්ෂය බවයි අලවතුවල මහතා පෙන්වා දෙන්නේ.
මේ වන විට එක්සත් ජාතික පක්ෂය ප්‍රමුඛ ජාතික රජය රට වෙනුවෙන් දැවැන්ත සැලසුම් සහගත ව්‍යාපාරයක් ආරම්භ කර තිඛෙනවා.
ඒ අනුව 2020 වසර වන විට රටේ පැහැදිලි පරිවර්තනයක් සිදුවනු ඇති බවයි ඔහු කියා සිටියේ.
මේ වන විට ඒකාබද්ධ විපක්ෂය ජනතාව නොමග යවමින් සිදුකරන රංගනයන් ඒ වන විට නිමාවට පත්වනු ඇති බවද මන්ත්‍රීවරයා අවධාරණය කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close