නොවැම්බර් 07- 13- 21- 28 ලෝකයටම අපලයිලු – ජ්‍යොතිෂ්‍ය කියයි

නොවැම්බර් 01  සටන්කාමී කුජ ග්‍රහයා තම උච්ච රාශිය වූ මකරයට පිවිසිණ. ග්‍රහයකු උච්ච වීම සුබදායක සිද්ධියක් වන මුත් කුජ එක් පැත්තකින් සෙනසුරු ගෙන් ද අනෙක් පැත්තෙන් යුරේනස් ගෙන් ද අසුබ දෘෂ්ටි ලබා පීඩිතවීම නම් සුබ තත්ත්වයක් නොවේ. එහෙත් ගුරු ග්‍රහයාගෙන් ලැබෙන ත්‍රිකෝණ දෘෂ්ටිය නිසා කුමන හැල හැප්පිලි මැද වුවත් යුක්තිය ජය ගන්නා බව පෙනේ.

නොවැම්බර් 01 සිට 15 දා දක්වා වූ කාලයේදී රාජ්‍ය ආරක්ෂාව – නීතිය හා සාමය රැකීම සම්බන්ධයෙන් වඩාත් දැඩි ක්‍රියාමාර්ග ගැනීමේ පසුබිමක් නිර්මාණය වේ. නොයෙකුත් සංවිධානාත්මක අපරාධ කල්ලි රටේ නීතිය සහ සාමය පවත්වා ගැනීම කෙරෙහි අභියෝග කරන මට්ටමට වර්ධනය වන මුත් ඔවුන් මේ කාලයේදී නිසැක පරාජයක් අත් කර ගනී. එමෙන් ම ආරක්ෂක අංශවල ප්‍රති සංවිධානයක් සහ ඊට අලුත් මුහුණු එක්වන බවක් ද පෙන්නුම් කරයි.

නොවැම්බර් 15 දා සිට 28 දා දක්වා වූ කාලයේදී නැවත වරක් රටේ අවධානය කාලගුණය කෙරෙහි යොමුවන අතර ඒ කාලයේදී තද වැසි සහ සුළි සුළං තත්ත්වයක් ද නාය යෑම් – ගංවතුර – වැනි ස්වභාවික ආපදාවන් ද හිස ඔසවනු ඇත.

නොවැම්බර් අග සහ දෙසැම්බර් මාසය පුරා ම ශ්‍රී ලංකාව සහ ලෝකයේ ගොඩබිම් සහ මුහුදු පතුලේ හට ගන්නා භූ චලන මාලාවක් පෙන්නුම් කරයි. ලෝකයේ නොයෙක් තැන්වල ඇති ගිනි කඳු විදාරණය වීම් ද යෝධ බලාගාර ආශ්‍රිත පිපිරීම් ද අපේක්ෂා කළ හැකිව තිබේ. ගුවන් ගමන් – දුම්රිය සහ නාවික යාත්‍රා සහ පොදු ප්‍රවාහන ක්ෂේත්‍රයේ බිහිසුණු අනතුරු මාලාවක් වාර්තා වීමට බෙහෙවින් ම ඉඩ තිබේ.

නොවැම්බර් 07- 13- 21- 28 යන දින හතර සහ ඒ ආශ්‍රිත කාල පරිච්ඡේදය අනතුරු අවදානම තීව්‍ර කරවන හෙයින් සැළකිලිමත් විය යුතු ය. එසේම දෙසැම්බර් මාසයේ 07- 13- 20- සහ 28 යන දිනයන් ද ඒ ආශ්‍රිත කාල සීමාවේ ද සිත් කළඹන මහා පරිමාණ සමාජ සහ සොබාවික විපත් නිර්මාණය කරවන ග්‍රහ චලනයක් විද්‍යමාන කෙරේ.

කේ .සී .ජේ.රත්නායක

ඔබගේ අදහස අපට කියන්න

Close