රාජසිංහ රජු මිය ගිය පෙතන්ගොඩ උයන

පෘතුගීසීන්ට එරෙහි සටනෙ තීරණාත්මක දවසක්. මුල්ලේරියාව යුද පිටියක් වෙලා. ඒ වසාගෙන තුවක්කු දුම. සතුරන්ගෙ මර හඬ. සියල්ල යටපත් කර ඇසෙන රජුගෙ රණ හඬ ඊටත් වැඩියෙන්.

සීතාවක මායාදුන්නෙ රජු සහ ඔහුගෙ පුතු ටිකිරි කුමරු ප්‍රමුඛ බළ ඇණිය සතුරා එකා පිට එකා බිම දමනව. 1600 ක සතුරු හමුදාව නැත්තට නැතිවෙනව විතරක් නෙවෙයි. මොහොතකින් මුල්ලේරියා වෙලේ වතුර ලෙයට හැරෙනව. වයස අවුරුදු 20 ක් වත් නැති ටිකිරි කුමරු තුන් මසක් පුරා පෘතුගීසීන් කොළඹ කොටුවෙ හිර කොට තබන්නෙත් ඔය සිද්ධියෙන් අනතුරුව. කෑම අහේනිය ඉහවහ ගිය තැන පරංගි, බල්ලො – බළල්ලු විතරක් නෙවෙයි. මීයොත් මරා කනව.

සූර වීර ටිකිරි කුමරු පළමු රාජසිංහ නමින් රජ වෙන්නෙ ඊටත් කාලෙකට පස්සෙ.අරිසෙන් අහුබුදු සූරීන් ‘සංදේශය’ ට ගැල් ගීතය රචනා කළෙත් රාජසිංහ රජුගේ මේ රණ සූර ජීවිතය සහ දුක්බර ඉරණම තේමා කොටගත් ගැමි කවියක් ඇසුරින්.

‘සංදේශය’ නුදුටුවත් දිනෙක ඔබ මේ ගීය අසා ඇති.

කටේ කිරි සුවඳ යන්නට පවා බැරි වුණා
යුදට උපන් කුමරිඳු යැයි නමක් ඇති වුණා
මුල්ලේරියා වෙලෙහි වතුර ලෙයට හැර වුණා
ටිකිරි කුමරු රාජසිංහ නමින් රජ වුණා

නිතරැ නිතරැ සීතාවක රණ බෙර වැයුණා
කොළඹ කොටුව බළල් මසුත් ගිනි ගණන් වුණා
පරංගි දේසේ රජුටත් මර උණ ගැනුණා
රාජසිංහ දෙවි නාමේ ලොවේ රජ වුණා

රුසිරු පෙතංගොඩ උයනට අනේ ළං වුණා
නපුරු උණ කටුව පතුලේ ඇනී වණ වුණා
එක්වැ සිටි පිරිස මතුරා විස ද වැඩි වුණා
රාජසිංහ දෙවි නාමෙත් ගියා නැති වුණා…”

සුනිල් සාන්තයන්ගේ තනුවට ධර්මදාස වල්පොළ ගයන මේ ගීය, යළි යළිත් පසක් කරන්නෙ ඒ ඉතිහාසය.
අපි මේ ඇවිදින්නෙ ඉතිහාසයට හිමි ඒ බිමේ. ක්‍රි.ව. 1534 දී මායාදුන්නේ රජු විසින් ඉදිකරන ලද සීතාවක නගරය ඔහුගෙ පුතු ටිකිරි කුමරු හෙවත් පළමු රාජසිංහ රජ සමයේත් සශ්‍රීක නගරයක්.

අවිස්සාවේල්ල – පනාවෙල මාර්ගයේ නිස්කලංක බණ්ඩාරවත්ත ගමයි මායාදුන්නෙ රජු මාලිගාව ඉදිකරන්න තෝරා ගත් බිම. අද පුරා විද්‍යා කාර්යාලය තිබෙන්නෙත් මාලිගාව පිහිටි මේ බිමේ.

ගරා වැටුණු මාලිගාව, හතර කොන පමණක් හඳුනාගත හැකි පස් ගොඩක්.

අතරින් පතර ශේෂ වූ ගඩොල් බැමි.

1675 වසරේ රාජසිංහ මාලිගාව අල්ලාගත් ලන්දේසින් ඒ සිය බලකොටුව ලෙස වෙනස් කළේ මාලිගාවේම ගල් යොදා ගනිමින්.

කොන් හතරේ අටලු හෙවත් බැස්ටියන් හතරක්. රික්ලොෆ්, ලුසියා, කොළඹ සහ ගාල්ල ලෙස නම් කළ මේ අටලු, හතර කොනින් එන සතුරා හඳුනාගන්නට තැනූ මුර කුටි හතරක්. ඒ එක අටල්ලක විසල් කාලතුවක්කු දෙකකුත්.

බලකොටුව මැදයි, සුවිසල් සිවු රැස් බංකරය. සහල්, ලුණු, මස්, බ්‍රැන්ඩි, වෙඩි බෙහෙත්, තුවක්කු උණ්ඩ, සීනු සහ යුද ආම්පන්න තැන්පත් කෙරුණෙ මේ තුළ.

බලකොටුවට ජලය සැපයූ ළිඳ ගරා වැටුණු ගැඹුරු වළක්.

මාලිගාවක් බලකොටුවක් වී… බලකොටුව පස් ගොඩක් වී ඇති අරුමය…

හිතට දැනෙන්නෙ දුකක්.“මෙතැන අපි කැණීම් නොකරන්නෙ හේතු දෙකක් නිසා. එකක් ප්‍රතිපාදන හිඟකම. අනෙක කැණීම්වලදී පුරාවස්තු තව තවත් කැඩෙනව. බිඳෙනව. සීතාවක රාජධානියෙ දැනට ඉතිරිවෙලා තියෙන පැහැදිලි ම නෂ්ටාවශේෂය තමයි බැරැන්ඩි කෝවිල…”

තිස්ස කුමාර මදුරප්පෙරුම, සබරගමුව පුරාවිද්‍යා ප්‍රාදේශීය සහකාර අධ්‍යක්ෂවරයා.

ඔහු පහදන විදියට මේ මාලිගා බිමත් බැරැන්ඩි කෝවිලත් රාජසිංහ රජුගේ සොහොන මතු නොව එතුමන්ගේ පතුලේ ඇනුණා යැයි සැලකෙන කටු උණ පඳුරත් පුරා විද්‍යා ස්මාරක.

කෙසේ වතුදු දස වසරක් ඇවෑමෙන් ඕලන්දියයන් අතැර දැමූ සීතාවක බලකොටුව, ප්‍රාදේශීය පාලන මධ්‍යස්ථානයක් ලෙස යළි භාවිතා කළේ ඉංග්‍රීසීන්. එතැනින් ඔබ්බට ජරාවාස වූ මේ ස්මාරක යළි සොයා ගනු ලැබුවේ අපේ රටේ හුන් බ්‍රිතාන්‍ය ජාතික සිවිල් නිලධාරියකු-පුරාවිද්‍යා ගවේෂකයකු වූ එච්.සී.පී. බෙල් මහතා විසින්. ඒ අතුරු කතාවක් වුණත් ප්‍රෞඪ ඉතිහාසයක් යළි ගොඩ ගත් බෙල් මහතාට නම් අපි සදා ණය ගැතියි.

කොතරම් රණ සූරයකු වුවත් රාජසිංහ රජු හා බැඳී පවතින අපවාදාත්මක අතීතය, එතුමන් කෙරෙන් ඉවත් නොවූ සාපයක් දෝ කියලත් හිතෙනව. කණාමැදිරියන්වලත් බැරැන්ඩි කෝවිලත් ඒ අපවාදාත්මක අතීතයෙ සාක්ෂිකරුවන්ව අදත් නැඟී හිටින නිසා.

මාලිගාවට පහළින් ගලා යන සීතාවක ගඟ. පොළොන් – මාපිලුන් අදත් අඩු නැති යැයි පැවසෙන වන රොද මැදින් වැටුණු අඩි පාර සීතාවක ගඟට.

එක් වංගුවකදී ගඟ හැරෙනව. වංගුවට ඔබ්බෙන් ගඟ මැද අඳුරු පැහැ විසල් රවුම් ප්‍රදේශයක්.

“ඒ තමයි කණාමැදිරියන්වල. හැට ඈදුත්තක් භික්ෂුන් ගිල්ලවල මරාපු තැන. එතැන කොයි තරම් ගැඹුරු ද කියල කවුරුවත් දන්නෑ. වළ වටේම ගල් පොත්තක්. ඒ හරියෙ වතුර අධික සීතලයි.

මේ හරියෙ නෑවට කිසි කෙනෙක් එතැනට යන්නෑ. බිලිගන්න තැනක් ය කියලත් ගම්මු කියනව….”

අපට මඟ පෙන්වන්න ආ කපිල හරිශ්චන්ද්‍ර, සබරගමු පුරාවිද්‍යා කාර්යාලයෙ කෙනෙක්. ඔහු කියන්නෙ කණාමැදිරියන්වල ගැන ජනවහරෙ එන මත ගැන.

ඉතිහාසයෙ හැටියට රාජසිංහ රජු, සිය පියා ඝාතනය කළ පුතෙක්. ඒත් ඒක අහම්බයක්ය කියලයි සමහර ජනප්‍රවාදයක කියැවෙන්නෙ.

“ටිකිරි කුමරු යුද හා සටන් ශිල්පයේ කොයිතරම් දක්ෂයෙක් ද කිව්වොත් මායාදුන්නෙ රජු සිය පුතුට සේනාවක් බාර දුන්නෙ පුතුට අවුරුදු දොළහේදී. වේගයෙන් අශ්වයා පිටේ යන ගමන් ළඟින් යන අශ්වයා පිටට පනින්න තරම් ඔහු හපනෙක්ලු.

පිදුරු මිටිවලින් වට කරපු තැනක කඩු හටන් පුරුදු පුහුණු වෙන තම පුතාගෙ හපන්කම් දැකගන්න මායාදුන්නෙ රජු සැඟවිලා බලා ඉඳල.

පිදුරු මිටි අතරෙ කවුරු හරි සැඟවිලා ඉන්නව කියල දැනුණම රාජසිංහ (ටිකිරි) කුමාරයා පිදුරුමිටිවලට කඩුවෙන් ඇනගෙන ඇනගෙන ගිහින්. පිය රජතුමා මැරුණෙ ඒ කඩු පහරකට.

ඒ ගැන ඔහු කොයිතරම් දුක් වුණාද කිව්වොත්, මහා සංඝයා හොයාගෙන ගිහින් මේ පාප කර්මය සමා කරගන්න පුළුවන් විදියක් ඇහුවා.

“පියා මැරීම ආනන්තරිය පාප කර්මයක්. කවදාවත් ඉන් ඔබට ගැලවීමක් නැහැ…”

මහා සංඝයාගෙන් ලද පිළිතුරින් රජු කිපුණා. එහෙම වෙලාවකයි ඔහුට අරිට්ටකී වෙණ්ඩු පෙරුමාල් නම් හින්දු පූජකයා මුණ ගැහෙන්නෙ.

“ශිව ආගම, වැළඳ ගත්තොත් ඔබට මේ පව සමා කරගන්න පුළුවන්. ඒ, ශිව ආගමට විත් හාමුදුරුවරු 120 ක් දියේ ගිල්වා මරා, ගඟ මැද කෝවිලක් ඉදිකොට බ්‍රාන්ඩි යක්ෂණියට පූජා කිරීමෙන්…”

ඉතිහාසයෙ හැටියට රාජසිංහ රජු මේ සියල්ල ඒ හැටියටම කරනව. ඒ තම පියාට වූ අත්වැරැද්ද සමා කරගන්න.

සීතාවක ගඟේ පිරිත් මණ්ඩපයක් තනවල පිරිත් සජ්ජායනය කරමින් සිටියදීයි හාමුදුරුවරු 119 ගිල්වා තිබෙන්නෙ.

හැට ඈඳුත්ත කියන්නෙ 120 කට. එක නමක් අඩුවෙලා. 120 සම්පූර්ණ කරන්න වඳුරෙකුත් මණ්ඩපයට ගැටගහල ගිල්ලුවා කියලයි කියන්නෙ…”

ආනන්දයෙන් හිත පුරවන මේ ගංදෑලෙ මෙතරම් අපරාධයක් වුණා යැයි කොහොම හිතන්නද…

සුවදායක හැඟුම් මවන සීතාවක ගඟේ අදත් කළු පැල්ලමක්ව කණාමැදිරියන්වල කැපී පෙනෙන්නෙ ඒ නිසා ද…

හිත කුහුලින් පිරිල.

ගඟට ඔබ්බෙන් බ්‍රැරැන්ඩි කෝවිල. හැබැයි පාර තියෙන්නෙ වටෙන්. සීතාවක ගඟේ මෙතරම් වංගුවක් හැදුණෙ, ගඟ ගොඩ කරල කෝවිල ඉදි කරපු නිසා. සරු සාරෙට ගලන ගඟක් මෙතරම් වංගුවක් හැදෙන්න, ගොඩ කරන එක ලේසි දෙයක් නෙවෙයි. ගඟ හරස් කරලා වේල්ලක් බැඳල, අලි ඇත්තු දමල ගල් අද්දල ගොඩ කළා කියලයි කට වහරෙ තියෙන්නෙ.

ඉන්දියානු කලා – ගෘහ නිර්මාණයෙන් සහ අපූරු ගල් කැටයමින් ගොඩ නැඟූ බැරැන්ඩි කෝවිල රාජසිංහ රජු හා බැඳී පවතින ඉතිහාසයේ නොනැසී පවතින ප්‍රබලම සාක්ෂිය.

ගලින් ගල නූලට සීරුවට පුරුද්දවමින් ගොඩනැඟූ කෝවිලේ මැද ශිව ලිංගය තැබූ පුදසුන. බැතිමතුන්ගේ කිරි දියෙන් නැහැවෙන ශිව ලිංගය, හේදී යන කිරි දියර පිටතට ගලා යන්නෙත් අපූරු කැටයම් රුවකින්. පිය ගැට පෙළ පටන් බැලූ බැලූ අත කළු ගලෙහි මැවුණු මාධුර්යය. එහෙත් මේ සා මහන්සියක් දරා තනන්නට පටන්ගත් කෝවිල හදා නිම කරන්න නම් රජුට ඉඩක් ලැබුණේ නැහැ.

පෙතන්ගොඩ උයනේ විස උණ කටුවක් ඇනී රජු මිය යන්නෙ හිටි අඩියෙ. අකාලයේ. ඒ 1591 වසරෙ බ්‍රහස්පතින්දා දවසක. අඳුරු කළු පැහැ උණ පඳුරෙ හැම රිකිල්ලකට කළු පැහැ උල් කටු. සමහර කටුවක දිග අඩි තුනක් තරම්. ඒවායෙත් විහිදුණු තවත් පොඩි පොඩි කටු.

අඟුරුවැල්ල පාරේ පෙතංගොඩ පිහිටි කටු උණ පඳුර ළඟ ඉඳන් මං යළි යළිත් කල්පනා කළේ උණ කටුවක් කළ හදියක තරම ගැන.

“සමහරු නම් කියනව උණ පඳුර ළඟ හිටි නයෙක් රජතුමාට දෂ්ඨ කළා කියල. කටුව ඇනුණම හතුරො එකතු වෙලා මතුරල රජුට විස බැන්දා කියලත් කියනව. මොනව වුණත් කටු උණ පඳුරු දෙකක් නම් අදත් නොනැසී පවතිනව…”

කටු උණ පඳුර ළඟ ඉඳන් රාජසිංහ රජු මිහිදන් කළා යැයි සැලකෙන සොහොනට තවත් ටික දුරක්. අමිතිරිගල පාරෙ හැරෙන එක් අතුරු පාරෙක, වට කළ බිමෙකයි මේ සොහොන.

සූර වීර නිරිඳෙක් සැතපෙන තැනක් යැයි කොහොම සිතන්නද? නිකම්ම නිකම් ගල් තුන හතරක් යකඩ බම්බුවලින් වටවෙලා.

ඉතින් පුංචි වපසරියක ලියා නිම කළ නොහැකි ඒ ඉතිහාසය සිත් පුරා විඳගන්න මේ බිමේ දිනෙක ඔබත් ඇවිද යන්න

ඔබගේ අදහස අපට කියන්න

Close