කෙහෙලියගේ පයිප්ප බට නඩුව අද විභාගයට

ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක එම සංස්ථාවේ මුදලින් ජී.අයි. පයිප්ප 600ක් මිලදී ගෙන රජයට රුපියල් 9,90,000ක පාඩුවක් සිදු කිරීම සම්බන්ධයෙන් හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය රඹුක්වැල්ල මහතා ඇතුළු විත්තිකරුවන් තිදෙනකුට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබෙන නඩුව අද විභාගයට ගැනෙනවා.

ඒ කොළඹ අතිරේක මහෙස්ත්‍රාත් අරුණි ආටිගල මහත්මිය හමුවේදීයි.

මේ සිද්ධියට අදාළ නඩුව පසුගියදා  යළි කැඳවූ අවස්ථාවේදී දැනට ඇප මත මුදා හැර සිටින හිටපු ජනමාධ්‍ය ඇමැති කෙහෙළිය බණ්ඩාර දිසානායක රඹුක්වැල්ල, ජාතික රූපවාහිනි සංස්ථාවේ හිටපු අධ්‍යක්ෂ ජනරාල් චන්ද්‍රපාල ලියනගේ, හිටපු සභාපති විමලසේන රූබසිංහ යන විත්තිකරුවෝ අධිකරණය හමුවේ පෙනී සිටියා.
2014 දෙසැම්බර් 02 වැනිදාත් දෙසැම්බර් 10 වැනි දිනත් අතර කොළඹදී පැමිණිල්ල නොදත් අන් අය සමඟ ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවට අවශ්‍ය නොවන අවස්ථාවක ශ්‍රී ලංකා රූපවාහිනි සංස්ථාවේ මුදලින් ජී.අයි. පයිප්ප 600ක් මිලදී ගෙන ආණ්ඩුවට රුපියල් 9,90,000ක මුදලක් පාඩු කර අල්ලස් පනතේ 70 වගන්තිය යටතේ දූෂණය නමැති වරද සිදු කරන ලදැයි අල්ලස් කොමිසම විසින් විත්තිකරුවන්ට එරෙහිව මේ නඩුව කොළඹ ප්‍රධාන මහෙස්ත්‍රාත් අධිකරණය හමුවේ පවරා තිඛෙනවා.
චෝදනා 04ක් යටතේ විත්තිකරුවන්ට එරෙහිව අල්ලස් කොමිසම පවරා තිබූ මේ නඩුව සඳහා සාක්ෂිකරුවන් 24 දෙනකුද නඩු භාණ්ඩ 15ක්ද අල්ලස් කොමිසම විසින් ඇතුළත් කර තිබුණා.

ඔබගේ අදහස අපට කියන්න

Close