අපට අහිමිවූ ජාතියේ හැදුනුම්පත

සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන් කලාකරුවකුගේ අවමංගල උත්සවයට සභභාගිවන්නේ එතුමාගේ නිවසට හෝ කලාභවනට යෑමෙන් පමණි. හදිසි අවස්ථාවක දී අදාහන උත්සව භූමියටද යයි. එහෙත් රාජ්‍ය නායකයකු පොදු ජනතාව අතර හිදිමින් ඔවුන් සමඟ පාරේ ගෙන යන ‘දේහයට’ පැදකුණු කර මල් ඉසින දර්ශන මෙතෙක් අපට හමු වී නැත.

යටත්විජිත විය ගසින් නිදහස් වීමත් සමඟම ඕනෑම රටක් එම දේශයේ ජාතිකත්වය සොයායෑම ස්වාභාවිකය. එසේම ඊට එරෙහි වන පිරිස් ද ඒ අතර දක්නට ලැබේ. ඒ නිසා එය ලෙහෙසි පහසු කටයුත්තක් වන්නේ නැත. එසේ වන්නේ වෙන කිසිවක් නිසා නොව තමන් වරප්‍රසාද සහිතව අත්විදිමින් සිටින සම්ප්‍රදාය ගැටුමකින් තොරව රැක ගැනීම හා යටත්විජිත මානසිකත්වයට ඇති ගැතිභාවය කරනකොට ගෙනය. 1948 නිදහසින් පසු අපේ රටේද මෙම සම්ප්‍රදාය පොදු විය.

‘සුද්දො අපේ රට දාල යන්නේ මේ රටේ කළු සුද්දෝ බෝ කරලයි බොල.’

අනගාරික ධර්මපාලතුමා අමුවටම වාගේ කීවේ මේ කතාවය.

ශ්‍රී ලංකාව යටත් කරගෙන සිටියේ බටහිර ජාතීන් මෙන්ම අධිරාජ්‍යවාදීන්ද වීම නිසා නිදහස නමින් ඔවුන්ගේ බලය හුවමාරු වූයේ තමාගේ සිතැඟිවලට අනුකූලතාවක් දක්වන පිරිසක් අතටය යන මතය අප රට තුළද තදින්ම පැලපැදියම් වී තිබුණි. මේ පිරිස අධිරාජ්‍ය ගැති ලෙසින් පමණක් නොව බමුණු කුලයක් ලෙසින්ද හැඳින්විණ. එහෙත් ඩී.ඇස්. සේනානායක හා එස්. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්ඩාරනායක යන නායකයන්ගේ චරිත දෙස අද ස්වාධීන විමර්ශනයක යෙදෙන විට එය එතරම් සාධාරණ වන්නේද යන ප්‍රශ්නය පැන නගී. 1956 පෙරළිය බමුණුකුලයේ බිඳවැටීමක් ලෙසින් මහා ගත්කරු මාර්ටින් වික්‍රමසිංහයන් හඳුන්වන්නේ මෙවන් පසුබිමකය.

සාමාන්‍යයෙන් යම් දේශකයක හදවත ලෙසින් හැඳින්වෙන්නේ සංස්කෘතියයි. සාමය, හික්මීම, විනය, රසවින්දනය, ලලිතකලා, රංගනය හා සංගීතය ආදී අංගෝපාංග සියල්ල පොදුවේ රටක සංස්කෘතිය නිර්මාණය කරයි. එසේම රටක ඉතිහාසය හා වර්තමානය පෝෂණය වන්නේ රාජ රාජ මහාමාත්‍යාදීන් නැතිනම් දේශපාලඥයන්ගෙන් ඉටුවූ ජාතික මෙහෙවර නිසා පමණක් නොවේ. එසේ වන්නේ නම් ඒ ඉතිහාසයේ අඩුවක් පවතිනු ඇත. කලාකරුවා එම අඩුව සැපරීමේ මෙහෙවරට උරදෙන පෙරගමන්කරුවාය; සංස්කෘතියේ තානාපතිවරයා නැතිනම් දේශයේ සංස්කෘතික උරුමය සුරකින භාග්‍යවන්තයාය. කලාකරුවන් යම් දේශයක පහළ වන්නේ ජාතියේ පිනටයැයි සඳහන් කරන්නේ මේ නිසාය. එසේම ඔවුන්ගේ වටිනාකම් හැඳිනගෙන, රැකබලාගෙන, උපහාර පිදීමට සංවේදී දේශපාලඥයන්ද බිහි විය යුතුය.

ශ්‍රී ලංකාවේද නිදහසින් පසු රාජ්‍ය අනුග්‍රහයකින් තොරව අපේ අනන්‍යතාවය නැතිනම් හැඳුනුම්පත සොයා ගිය යුගපුරුෂයන් සිවුදෙනෙක් කලා හා සංස්කෘතික ක්ෂේත්‍රයේ දී අපට හමු වේ. ඔවුහු අපේ දේශයේ ‘අපේ ලකුණ සොයා’ ගිය ප්‍රදීපස්ථම්භ හතරක් වැනිය. මහාගතකරු මාටින් වික්‍රමසිංහ, මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර, පණ්ඩිත් ආචාර්ය ඩබ්ලිව්. ඩී. අමරදේව හා ආචාර්ය ලෙස්ටර් ජේමිස් පීරිස් යනුවෙන් මේ සිවුදෙනා දැනටමත් මේ රට හඳුනාගෙන සිටිති. පසුගියදා දැයෙන් සමුගත් පණ්ඩිත් ආචාර්ය අමරදේවයාණෝ ඉන් එක් යුග පුරුෂයෙක් වූහ. බමුණු කුලය බිඳවැටෙමින් සිදුවූ 1956 පෙරළිය මේ අයගේ ගමන් මඟට මහඟු උත්තේජනයක් විය.

පණ්ඩිත් අමරදේවයන් ළමා විය පසුකර යොවුන් වියට පිවිසි අවධිය මේ රට ඉන්දියානු අනුකරණවාදී සංගීතය හා ගායන ශෛලිය තම අනන්‍යතාවය ලෙසින් හඳුනාගෙන තිබු දේශයකි. ඉන් පිටස්තර දක්නට ලැබුණේ බටහිර හා කපිරිඤ්ඤ සංගීත සම්ප්‍රදායන් පමණි. හින්දුස්ථාන් ආරේ සරල වාණිජ්‍යමය ගීත සම්ප්‍රදාය එකළ පැවැති වේදිකා නාට්‍ය හා අනුකරණවාදී හින්දි හා ද්‍රවිඩ චිත්‍රපට ගීත ඇසුරින් සාමාන්‍ය ජනතාව අතර ප්‍රචලිතව පැවතිණ. මේ අතර උතුරු ඉන්දියානු රාගධාරි සංගීතය ඉහළ හා මධ්‍යම පන්තික කොටස් අතරේ ප්‍රබුද්ධත්වයක් ආරෝපණය කරගනිමින් පැවතිණ. ඉන් මි දී අපට ආවේණික සම්ප්‍රදායක් ගොඩ නැ‍ඟීමේ අවශ්‍යතාවයක් මේ අයට නොතිබුණි.

මේ පිළිබඳ පර්යේෂණයක යෙදෙන මහාචාර්ය සරච්චන්ද්‍රයන් සඳහන් කරන්නේ උතුරු ඉන්දිය රාගධාරි සංගීතයෙන් ඉවත්වීම අපට ලෙහෙසි පහසු කාර්යක් නොවන බවයි.

‘ස්වභාවික සංගීතය යනු අපේ අතීතයේ පැවතියේ භාරතීය රාගධාරි සංගීතය යැයි දැනට ලැබී තිබෙන සාක්ෂි අනුව මම සිතමි.

කෝට්ටේ හා නුවර යුගවල පැවතියේ දකුණු ඉන්දිය සංගීතයයි. (මහාචාර්ය එදිරිවීර සරච්චන්ද්‍ර) මේ අතර දේශීය සංගීතයේ එකම අඩුව එහි ක්‍රමවත් බවක් නොවීම යැයි මෙරට ප්‍රකට සංගීත විශාරදයකු මෙන්ම සෞන්දර්ය වියතකු වූ ඩබ්ලිව්. ඩී. මකුලොළුව විශ්වාස කළ බව පෙනේ. නවසිය හතළිස් ගණන්වල අධ්‍යාපන දෙපාර්තමේන්තුව මගින් පාසල්වල උත්තර භාරතීය සංගීතය උගැන්වීම පටන්ගැනීම නිසා අපේ සංගීතයක් හා ගායන සම්ප්‍රදායන් සොයායෑම තවත් සංකීර්ණ විය.

දේශීය සංගීතයක් සොයා යෑමේ දී අමරදේවයන්ට අතගැසීමට සිදුවී තිබුණේ ඉතා සංකීර්ණ භාරදූර කාර්යයට බව මින් පැහැදිලි වේ. එහෙත් මහාචාර්ය සරච්චන්ද්‍රයන් සඳහන් කරන්නේ අපට දේශීය සංගීතයක් හා ගායන සම්ප්‍රදායක් තිබේයැයි තදින්ම විශ්වාස කළ අය අතුරින් ප්‍රමුඛයා පණ්ඩිත අමරදේවයන් බවයි. එහෙත් ඔහු ආනන්ද සමරකෝන් ශූරීන් මෙන් ‘ඉවෙන්’ වාගේ ඊට අත ගැසීමට ගියේ නැත. ඒ සඳහා ඔහු උත්තර භාරතීය රාගධාරී සංගීතය නිවැරැදිව හදාරා එය ආභරණයක් සේ නොපැලඳ ගෙන එම ශාස්ත්‍රීය පදනම අපේ අනන්‍යතාවක් සොයායන ගමනට පිටිවහලක් කරගත් බව පෙනේ. පණ්ඩිත් අමරදේවයන් විශිෂ්ඨත්වයට පත්වන්නේ ඒ නිසාය. එදා අමරදේවයන් පටන් ගත්තේ ආනන්ද සමරකෝන් ශූරීන් නතර කළ නැත සිටය.

මේ සඳහා හෙතෙම පර්යේෂණාත්මකව උපයෝගී කරගනු ලබන්නේ අපේ ජන කවි, ජනගායනා හා ජනසංගීතය බව පැහැදිලිය. ඊට සරිලන භාෂා ඥානයක්, සංස්කෘති දැනුමක් නිවැරැදි සිංහල උච්ඡාරණයක් ඔහු සතු විය. ඒ නිසාම ඔහු එසේ මෙසේ ගායකයෙක් සංගීතඥයෙක් නොවීය. සම්භාව්‍ය සංගීතය පොදු ජනයාට සමීපකරමින් ජනකවි හා ජනගී ඇසුරින් සකස් කරගත් නවදේශීය සංගීත සම්ප්‍රදායන් අඩු ආදායම්ලාභි ප්‍රජාව අතරට ගෙන ගියේ අමරදේවයන්ය. මුල දී ඔහුගේ ගී ඇසූ මධ්‍යම පාන්තික සමහරු ගුවන් විදුලි යාන්ත්‍ර අක්‍රීය කළ නමුත් පසුව ඒවා සොය සොයා වැළඳ ගැනීමට පටන් ගත්හ. මේ කිසිවකින් නොසැලී සිටීමේ අත්මශක්තියක් හා බරක් අමරදේවයන් සතුවිය.

මේ නිසා කලක් තිස්සේ බුද්ධිමතුන් අතර විවාදයක්ව පැවැති, අපට කියා සංගීත ආරක් ගොඩ නැ‍ඟීමේ ප්‍රශ්නයට නිවැරැදිව විසඳුම් සෙවීමේ පුරෝගාමියා වූයේ අමරදේවයන්ය. එය කළ හැක්කේ අපේ ගම දෙස බැලීමෙන් පමණක් යන්න ඔහු තරයේ විශ්වාස කළේය. අමරදේවයාණෝ යුග පුරුෂයකු වන්නේද, ඔහුට සම කළ හැකි අයෙක් මේ ක්ෂේත්‍රයේ හමු නොවන්නේද, එතුමාගේ අභාවය රටකට යළි පිරිමැසිය නොහැකි අඩුවක් වන්නේද මේ නිසාය.

අමරදේවයන්ගේ වියෝවෙන් මහත් කම්පනයට පත් වූ ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා මෙතෙක් මේ රටේ කලාකරුවකුගේ වියෝවක දී නොකළ මට්ටමේ රාජ්‍ය අවමඟුල් උත්සවයක් සංවිධානය කරන්නේ ඔහුගේ පසුබිම පිළිබඳ නිවැරැදි අවබෝධයක් ඇතිව දේශපාලනයේ හා රාජ්‍ය පාලනයේ නිතරව සිටි නායකයෙක් ලෙසිනි.

නිදහස් මන්දිර පරිසරය කලාකරුවන්ගේ අවමඟුලක දී අදාහන කටයුතුවල යොදාගනු ලැබුවා වුවද, නිදහස් චතුරශ්‍ර අනුස්මරණ ශාලාවේ කලාකරුවකුගේ දේහයක් අදාහනය දක්වාම තැන්පත් කළ අවස්ථාවක් අපට ආසන්නට නොලැබේ. එසේම සාමාන්‍යයෙන් රාජ්‍ය නායකයන් කලාකරුවකුගේ අවමංගල උත්සවයට සභභාගිවන්නේ එතුමාගේ නිවසට හෝ කලාභවනට යෑමෙන් පමණි. හදිසි අවස්ථාවක දී අදාහන උත්සව භූමියටද යයි. එහෙත් රාජ්‍ය නායකයකු පොදු ජනතාව අතර හිදිමින් ඔවුන් සමඟ පාරේ ගෙන යන ‘දේහයට’ පැදකුණු කර මල් ඉසින දර්ශන මෙතෙක් අපට හමු වී නැත. එසේම කලාකරුවකුගේ දේහය රාජ්‍ය නායකයාගේ කරමතින් රැගෙන ගිය අවස්ථාවක්ද හමු නොවේ. අමරදේවයන්ගේ අවමඟුලේ දී එම දුලබ දසුන මේ රටේ ජනතාවට දැක ගැනීමට ලැබුණි. එනම් ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා එතුමාගේ දේහය ඔසවාගෙන යෑමය. එසේම රාජ්‍ය නායකයන්ට පමණක් සීමා වී තිබු හමුදාවේ ආචාර වෙඩිමුර උත්තමාචාරය ලැබීමට තරම් අමරදේවයාණේ ශ්‍රේෂ්ඨ වූහ.

මේ සමඟම ජනාධිපතිවරයා විරුද්ධවාදීන් කුමන මඩ ප්‍රචාර ගෙන ගියත් අපේ කාලේ ‘සංස්කෘතික දේශපාලන මිනිසා’ ලෙසින් මේ වන විට ජනාදරයට පත්ව ඇත. ඒ පිළිබඳ අදහස ජනාධිපතිවරයාගේ මනසේ උපදින්නේ අව්‍යාජව මිස දේශපාලන වාසියක් ගැනීමේ චේතනාවෙන් නොවේ.

මේ සත්කාර සියල්ලටම අමරදේවයන් උදෙසා සාධාරණයැයි ඕනෑම කෙනකුට වැටහේ. මේ නිසා ජාතියේ පිනට කලාකරුවන් පහළවන්නා සේම එම කලාකරුවන්ගේ වටිනාකම් තේරුම්ගත් රාජ්‍ය නායකයෙක් හා අගමැතිවරයෙක් හා රජයක් රට තුළ බලයට පත්වී සිටීමද වැදගත්ය.

අමරදේව යනු සරල චාම් දිවිපෙවෙතක් ගත කළ කලාකරුවෙකි. ඔහු නම්‍යශිලී වුයේ ‘බයට’ නොව ‘බරට’ ය. ඔහු මිය ගියේ හෝ මියයන්නේ නැත. අමරදේව යන්නට සරිලන ලෙස ඔහු අප අතර තවත් සියවස් ගණනාවක් වුවද ජීවත් වනු ඇත. එසේ නම් සිදු වී ඇත්තේ ‘ගත’ අතහැර එතුමා විශ්වයට එකතුවීම පමණි.

මෙතැන් සිට අමරදේවයන් ගොඩනැඟු හා ඉතිරිකර ගිය සියල්ල ජාතියට බාරය. එය රැක ගැනීම අපේ වගකීමකි. ඊට ඇවැසි වන ලෙස ‘අමරදේව කේන්ද්‍රයක්’ නිර්මාණය කරදීමේ වගකිමද ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතාගේ නියමයෙන් රජය බාරගෙන ඇත. කලාකරු ජාතියේ වගකීම මතු පරපුර වෙනුවෙන් එය සුරැකීමය. – වසන්ත ප්‍රිය රාමනායක (Dinamina)

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close