ලංකාවට චීනය හැර අන් සරණක් කොයින්ද ?

ශ්‍රී ලංකාවේ ඉන්නා චීන තානාපති සියාන්ලියාංගේ ප්‍රකාශයක් පසුගිය සතියේ මුදල් ඇමැති කරුණානායක සමග වූ ප්‍රසිද්ධ වචන හුවමාරුවක් ලෙස වාර්තා විය. මාධ්‍ය හමුවකදී ඔහු කියූ ඒ කතා ප්‍රවෘත්ති වාර්තාවලට අමතරව  අනාවැකි කීමටද මාධ්‍ය විසින් හසුකර ගනු ලැබිණ. ඊට අමතරව ඔහුගේ ප්‍රකාශය විදේශ අමාත්‍යාංශයද ප්‍රශ්න කිරීමකට හේතු කර ගත්තේය. ශ්‍රී ලංකාව ගැන හා කලාපීය කාරණා සම්බන්ධයෙන් චීන තානාපතිවරුන් මාධ්‍ය අමතන්නේ  ඉතා කලාතුරකිනි. එහෙත් එසේ කළ පමණින් එය ශ්‍රී ලංකාවේ ආණ්ඩු මාරුවකට අනිවාර්ය ඉඟියක් වන්නේද?
ඒ සම්බන්ධයෙන් නොඇසූ සහ උත්තර නොලැබූ ප්‍රශ්නය වූයේ චීනයට මේ මොහොතේ ශ්‍රී ලංකාවේ ආණ්ඩු මාරුවක් අවශ්‍ය වන්නේ කවර හේතු නිසාද යන්නය. ඒ සඳහා ඔවුන්  දෙවසරක් බලා සිටියේ මන්ද යන්නය. ඊට උත්තර සෙවීමට ගෝලීය ආර්ථික හා දේශපාලන බල තුලනයන් ගැන කතා කළ යුතු වන්නේය.
ගෝලීය ආර්ථිකය 2008 දී ගර්හිත වූ පසු චීනය අලුත් බලසම්පන්න රාජ්‍යය ලෙස ඉතිරි විය. ඇමෙරිකානු ආධිපත්‍ය සහිත වූ දෙවන ලෝක යුද්ධයෙන් පසු ලෝකයේ බටහිර බලවතුන් අබිබවා දැන් චීනය මතු වන්නේය. මේ මාසයේ ක්ලින්ටන් -ට්‍රම්ප් ජනාධිපතිවරණ තීරණයෙන් පසු ආර්ථික අ¼ෙදා්නාවන්ට අමතරව ඇමෙරිකානු සමාජය පැහැදිලිව බෙදුණු සමාජයක්  ලෙස ඉතිරි වනු ඇත. ජනාධිපති ජෝර්ජ් බුෂ් සමයේ වූ සියයට 47ක අයවැය පරතරය  ජනාධිපති ඔබාමා විසින් දෙකෙන් පංගුවට  අඩුකර ඔවුන්ගේ  ආර්ථිකය යළි ස්ථාවර කරන්නට ඇත. ඔහු විරැකියාවද සියයට 4.7 දක්වා අඩුකර ඇත. එහෙත් දළ ජාතික  නිෂ්පාදනයේ  වෘද්ධිය පවතින්නේ  සියයට 2.3ක ඉතා පහළ අගයකය. එසේ වූවත් ඔහුට කරගසන්නට වූ බුෂ්ගේ අර්බුද හමුවේ, ඔබාමා ඇගයෙන්නේ දෙවන ලෝක යුද්ධයෙන් පසු පත්වූ ඇමෙරිකානු ජනාධිපතිවරුන් අතරින් තවත් එක් සාර්ථක  ජනාධිපතිවරයෙකු වශයෙනි.
එය එසේ වුවත් පළමු කළු ඇමෙරිකානු ජනාධිපති තෝරා පත් කරගත් ඇමෙරිකානු සමාජය අද ඉන්නේ හිරිගඬු පිපුණු සමාජයක් ලෙසය. මෑත කාලයේ ඔවුන්ගේ බහුතර “සුදු ‍පොලීසිය’ කළු ඇමෙරිකානුවන් නිතර ඝාතනය කිරීම බරපතළ ප්‍රශ්නයක්ව ඇත. කළු ඇමෙරිකානුවන්ද දැන් යම් නිදහසක් හා සමාජ බලයක් අතැතිව ඊට එරෙහිව  පාරට බැස ඇත. ෆර්ගියුසන්, බොල්ටිමෝ සහ ඉතාම මෑතකදී  මිල්වාවුකිහි ඝාතන වලට එරෙහිව ‍පොලීසිය  සමග ඇති වූ ගැටුම් කෙළවර වූයේ වාහන ගිනි තැබිම් හා සාප්පු කොල්ලකෑම් සමගය.  ගෝලීය ගෞරවයක් ඇති “වොෂිංටන් ‍පෝස්ට්” පුවත්පත වාර්තා කළ අයුරු 2015 ජනවාරියෙන් පසු ‍පොලිස් වෙඩි තැබිම් හේතුවෙන් මියගිය සංඛ්‍යාව  1,502 කි. ජනගහනයෙන් සියයට 14ක්  වන කළු ඇමෙරිකානුවන්ගෙන් 354ක් ඒ අතර ඝාතනය වූවන්ය. තවත් වාර්තා වලට  අනුව ඒ සැවොම වයස 12ත් 65 ත් අතර වන්නේය. ඉන් 100ට වැඩි සංඛ්‍යාවක් නිරායුධ පුද්ගලයෝය.
ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ රිපබ්ලිකානු ජනාධිපතිවරණ ප්‍රචාරනයෙන් මේ සසලව ඉන්නා ඇමෙරිකානු සමාජය තවදුරටත් භේද කෙරුණේය. කාන්තාවන් ගැන සංක්‍රමණිකයන් සහ ඉස්ලාමීය මූලධර්මවාදය ගැන ඔහුගේ අන්තවාදී කතා  ජනප්‍රිය නොවන්නට පුළුවන.  ඇතැම්විට එවැනි කතා නිසා සාම්ප්‍රදායික රිපබ්ලිකානු ඡන්දදායකයින්ගෙන් ඇතැමුන් ඔහුට ඡන්දය භාවිත නොකරන්නටද ඇත. එහෙත් ගෙවුණු වසර තුළ ඔහු බෙදී ඇති ඇමෙරිකානු සමාජයේ අලුත් වෛරී මතයක් තහවුරු කරන්නට හේතු වූවෙකි. ඒ බර මල්ල කර ගසන්නට සිදුවන්නේ නව ජනාධිපති ලෙස ජනවාරියේ දිවුරුම් දෙන ඊළඟ නව ජනාධිපති ලෙස ඔහුටමය. ගෝලීය වශයෙන්ද ඇමෙරිකාවට ඔවුන් පැටලී ඉන්නා සන්නද්ධ ගැටුම් හා යුද්ධවලින් තවමත් අත සෝදා ගැනීමට නොහැකිව ඇත. සන්නද්ධ ගැටුම් හා යුද්ධ පිරි ලෝකයේ ඇමෙරිකානු ආර්ථිකය ඉන් යැපෙන්නකි. දැනට ලෝකයේ අවි හා යුද උපකරණ  වෙළෙඳාමෙහි ඔවුහු ප්‍රමුඛයෝ වෙති.
යුරෝපා සංගමයද 2008 ගෝලීය ආර්ථිකයේ බිඳ වැටීමෙන් යළි නැගිට නැත. මහ බ්‍රිතාන්‍ය යුරෝපා සංගමයෙන් ඉවත්වීම එක් ප්‍රශ්නයක් පමණි. යම් පමණකට ජර්මනිය හා නෝඩික් රටවල් කීපය හැරුණ විට, ආර්ථික අර්බුදයෙන් පසු බටහිර  යුරෝපා රටවල් කිසිත් වැදගත් වර්ධනයක් ලබා නැත. “ඇත්තෙන්ම, යුරෝපා සංගම් කලාපයේ 2015 අවසන්  කාර්තුවෙහි දළ ජාතික නිෂ්පාදනය ඔවුන් 2008 ආරම්භයේ ආර්ථික අර්බුදයට පෙර අත් විඳි උපරිමයට වඩා තවමත් පහළින් වාර්තා වන්නකි.” යැයි පසුගිය පෙබරවාරි 18 වන දින “යුරෝපියන් ඉකොනොමික් ගයිඩ්” නම් වාර්තාව සටහන් කර තිබුණි.
බටහිර ‍පොහොසත් ලෝකය මුහුණ පා ඇති මේ අර්බුද කිසිවක් නිවැරදිව කියවා ගැනීමට මේ හවුල් ආණ්ඩුවේ ප්‍රධාන පාර්ශ්වය වන එ.ජා.ප. නායකත්වයට හැකියාවක්  නොවුණි. ඔවුන්ගේ ඒ නොහැකියාව  නිසාම ඔවුහු 2015 ජනවාරි  ජනාධිපතිවරණයේදී  බටහිර හිතවතුන් ගැන තැබූ විශ්වාසය  මත රාජපක්ෂ සමයේ ආරම්භ කළ චීන ආධාර සමගින් වූ සියලු ව්‍යාපෘති අතිශය දූෂිත  යැයි ප්‍රතික්‍ෂේප කළහ. කොළඹ වරාය නගර ව්‍යාපෘතිය සහමුලින් අතහැර දමන්නේ යැයි කිසිදු පැකිලීමකින් තොරව ඔවුන් ‍පොරොන්දු වූයේ බටහිර ආධාර ගැන තැබූ අචල  විශ්වාසය  හේතුවෙනි.  ඒ අනුව බටහිර හිතවතුන් ගැන තැබූ නොසැලෙන විශ්වාසය මත ඔවුන්ගේ මැතිවරණ ව්‍යාපාරය කොන්දේසි විරහිත චීන විරෝධී හැඩයක් ගත්තකි. එහෙත් මේ වික්‍රමසිංහගේ එ.ජා.ප.ය ප්‍රධාන වන හවුල් ආණ්ඩුවට චීනයෙන් ගැලවීමට හැකි පමණට ආධාර ලබා දීමට බටහිර බලවතුන්ට නොහැකිව ඇත.
චීනය සමග වූ ගනුදෙනුවෙහිදී ශ්‍රී ලංකාව හැමදා පැටලී සිටි ඉන්දියාවද දැන් ඉන් ගිලිහෙමින් ඇත. මෝදිගේ ඉන්දියාව අපගේ රාජපක්ෂ යුගයේ මෙන් ආර්ථික වශයෙන් පමණක් නොව සමාජීය දේශපාලන අර්බුදයකද ගිලෙමින් ඇත. 2014 මැතිවරණයට පෙර ගුජරාතයේ  මහා ආර්ථික පෙරැළියක් කළේ යැයි කියූ මෝදිගේ පාලනයේ පළමු අවුරුදු 02න් ඔහු අසාර්ථක  යැයි ඔප්පු කෙරෙන්නේය.  “ද ඩිප්ලොමැට්” හි අශෝක් සජන්හාර් ඒ ගැන තැබූ  සටහන මෙවැන්නකි. “‍පොදුවේ  ගත්විට උද්ධමනය  පාලනය කර තිබුණද, ආහාර  මිල විශාල වශයෙන් ඉහළ ගොස් ඇත. මෙය මෝදි ආණ්ඩුවේ ලොකුම නොහැකියාවය. අනෙක තරුණයන්ට රැකියා නොලැබිමය. සෘජු විදේශ ආයෝජන, විදේශ ආදායම් තැන්පතු සහ සියයට 7.5 ක දළ ජාතික නිෂ්පාදනයේ ඉහළ අගය වැනි ජාතික ආර්ථික  නිර්ණායක, අත්‍යවශ්‍ය ආහාර භාණ්ඩවල  මිල පහත දැමීමටත්, තරුණයන්ට රැකියා සැපයීමටත්  හේතු වන්නේ  නැතිනම්, ඒවායේ එතරම් වැදගත්කමක් නැත. මේ අතර, ඉන්දියානු අපනයන පසුගිය  මාස 20 පුරාම ජාත්‍යන්තර ඉල්ලුම අඩු වූ හෙයින් නොකඩවා පහත වැටිණ.”
සන්නද්ධ ආරක්ෂක සේවා හයිය මත විශ්වාසය තබමින් මෝදි ආණ්ඩුව ගෙන යන ප්‍රජාතන්ත්‍ර විරෝධී බලහත්කාර පාලනය හේතුවෙන්  දේශපාලන අස්ථාවරත්වයකටද ඉන්දියාව තල්ලු වෙමින් සිටියි. පසුගිය  නොවැම්බර් 01 දින ඉන්දියාවේ ඉතා ඉහළින් පිළිගැනෙන ස්වේච්ඡා  සංවිධානයක් වන “සිවිල් නිදහස  සඳහා වන ජනතා එකතුව” සන්නද්ධ සේවාවන් නැගෙනහිර ප්‍රාන්තයන්හි සංවිධානය කරන “‍ප්‍රෝඩාකාරී ගැටුම්”  (Fake Encounters) හෙළා දකිමින්  ඒ ගැන කළ විස්තරය මෙසේය. “මෑතක සිදු කෙරුණු බොහෝ ඝාතනවලදී මෙන් මේ ගැටුම්වල ඇති එක ලක්ෂණයක් වන්නේ ආරක්ෂක සේවා විසින් සන්නද්ධ කල්ලියක් යැයි  පවසන කණ්ඩායමේ සියල්ලන් වෙනත් විකල්පයක් නැතැයි කියමින් ඝාතනය කිරීමය. එමගින් ඔවුහු කිසිදු සාක්ෂිකරුවෙකු ජීවතුන් අතර ඉතිරි නොකරති.  “‍ප්‍රෝඩාකාරී ගැටුම්” සඳහා ආණ්ඩුව දැනුවත්ව නැතිනම් වුවමනාවෙන්ම සන්නද්ධ සේවාවන්ට ලබාදෙන අසීමිත බලය හේතුවෙන්  හමුදා “අපරාධකාරී සේවා” බවට පත්ව ඇත.  ඉන් සිදුව ඇත්තේ අධිකරණ ක්‍රියාවලිය සහ නීතිය ක්‍රියාත්මක වීම බරපතළ අනතුරකට ගොදුරු වීමය.”නැගෙනහිර ප්‍රාන්තවලට අමතරව ඉන්දියාවේ කාශ්මීර සානුව මේ කාලයේ බරපතළම ගැටුම් ඇති කලාපය බවට පත්ව ඇත. පසුගිය සැප්තැම්බර් 07 වන දින හින්දුස්ථාන් ටයිම්ස් පුවත්පතට ඒ ගැන විස්තරයක් ලියූ සුෂිල් ආරොන් කියූවේ “පවතින තත්ත්වය ගැන මෝදි ආණ්ඩුවේ කියැවීම් සියලු අතුරු කතා අතහැර අර්බුදයේ මුළු වගකීම පාකිස්තානයට බාර දෙන්නේය. දැනුවත්ව හෝ නොදැනුවත්ව එය බි.ජේ.පී. දේශපාලනයට හා මතවාදයට කදිමට ගැළපෙන්නකි. මේ මොහොතේ කාශ්මීරයට අවශ්‍ය කිසිවක් බි.ජේ.පී.යට දේශපාලන වශයෙන් කළ නොහැක.” යනුවෙන්ය.
කාශ්මීර සානුවෙහි ඔක්තෝබරය වනවිට තුවාල ලැබූ සංඛ්‍යාව 15,000 ඉක්මවා  තිබූ අතර ඉන් 12,344 දෙනෙකු රෝහල්ගත කෙරින. පාසල් සිසුන්ද ඇතුළුව 300 ට අධික සංඛ්‍යාවක් පතොරම්  වැදීමෙන් අන්ධව  ඇත්තාහ. 8,000ක් පමණ අත්අඩංගුවට ගෙන ඇත. ඉන් 1,000 ක්ම ශ්‍රී නගර් නුවරින්ය. (පී.යූ.සී.එල්. ක්‍ෂේත්‍ර අධ්‍යනයකිනි) හින්දුත්වා ජාතිකත්වය මග ජාතික ආරක්ෂාව සිය ප්‍රධාන දේශපාලන වේදිකාව කරගත් අගමැති මෝදිට එය ඉහවහා ගිය අර්බුදයකි. ප්‍රචණ්ඩ  අසල්වැසියකු ලෙස පාකිස්තානය “වරදකරු” යැයි කියන්නා වූ ඉන්දියාවට ජාත්‍යන්තර  ප්‍රජාව කාශ්මීර ගැටුමට අත පෙවීම වළකා ගැනීම අත්‍යවශ්‍ය වී ඇත. ඒ හේතු නිසා මෝදිගේ ඉන්දියාවට  චීන ආධාර  සහිත ශ්‍රී ලංකාවට වඩා කාශ්මීරය වැදගත්ය.
චීනය ඒ සියල්ල අපට වඩා හොඳින්  කියවා ඇති සෙයකි. එබැවින් ඔවුහු මේ හවුල් නායකත්වයේ චීන විරෝධී ප්‍රකාශ සම්බන්ධයෙන් කිසිදු ප්‍රතිචාරයක් නොදැක්වූහ. චීන සමාගමට දිනපතා ඩොලර්  මිලියනයක පාඩුවක් සිදුවිනැයි කියූ කොළඹ වරාය නගරයේ ඉදිකිරීම් සියල්ල නතර කළ විටද ඔවුහු නිහඬව සිටියහ.  මේ හවුල් ආණ්ඩුවට නැවත චීනය වෙත හැරෙන්නට ගත වන්නේ අවුරුද්දක පමණ කාලයකැයි ඔවුන් ගණන් හදන්නට ඇත. එය එසේම සිදුවිය. ගෙවුණු මාස 18ක කාලයේ ජනාධිපති සහ අගමැති තෙවරක් නිල වශයෙන් චීනයට ගියහ.
ඒවායේ ප්‍රතිඵල කවරේද? රාජපක්ෂ යුගයේ ආරම්භ කළ සියලු චීන ව්‍යාපෘති  තමන්ගේ හවුල් ආණ්ඩුව විසින් සම්පූර්ණ කරනු ලබන බවට දැන් අගමැති වික්‍රමසිංහ  ප්‍රකාශ කරන්නේය. අක්කර ප්‍රමාණයද වැඩි කෙරුණු කොළඹ වරාය නගර ව්‍යාපෘතිය දැන් නම සංශෝධනය වී ආරම්භ කර ඇත. මේ ආණ්ඩුව වී ගබඩා කිරීමට යොදාගත් මත්තල ගුවන් තොටුපළද දැන් චීන සමාගමක් හා හවු‍ලේ ජාත්‍යන්තර ගුවන් තොටුපළක් ලෙස වර්ධනය කෙරෙන්නේය. විපක්ෂයේ සිටියදී එ.ජා.ප. මන්ත්‍රී කණ්ඩායමක්  දූෂණ සෙවීමට ක්‍ෂේත්‍ර අධ්‍යනයක යෙදුණු හම්බන්තොට වරායද එවැනිම සැලකිල්ලක් දැන් ලබන්නේය. හම්බන්තොට වරායට යාබද අක්කර 1,600ක  කර්මාන්ත පුරයක් ආරම්භ කිරීමට වික්‍රමසිංහ ආණ්ඩුව  චීන සමාගමක් හා එකඟව ඇත. එයද අලුත් ව්‍යාපෘතියක් නොවේ. එය මුල් සැලැස්මෙහිද කතා වූවකි. වෙනසක් වූවොත් එයද කොළඹ වරාය නගරය සම්බන්ධයෙන් මෙන් භූමියට හා ආයෝජනවලට සීමා වන්නක් විය හැක.
යළි විවෘතව චීනයට ගිය මේ ගමන බටහිර බලවතුන්ගේ කැමැත්තට හේතු නොවන බව පැහැදිලිය. රාජපක්ෂ සමගද ඔවුන්ට තිබූ බරපතළම කාරණාව චීනය සම්බන්ධයය. එහෙත් ඔවුන්ට  චීනය හා දුරස්ථ වූ මේ හවුල් ආණ්ඩුව ඒ ආකාරයෙන් නඩත්තු කරගත නොහැකි විය. එනිසා දැන්  ඔවුන්ට  ඇත්තේ බාල තේරීමකි. ජනාධිපති   ඉතා මෑතක  කියූ අයුරු දැන් ජාත්‍යන්තර ප්‍රජාව යුද අපරාධ පිරික්සීම වෙනුවෙන් ස්වාධීන  ජාත්‍යන්තර  මැදිහත්වීමක් නොඉල්ලීම එක සම්මුතියකි. අනෙක යුරෝපා සංගමය නැවත ජී.එස්.පී. “අධි සහන” ලබාදීමට සූදානම් වීමය. එමගින් හෝ ඔවුන්ට  මේ ආණ්ඩුව ඔවුන්ගේ තේරීම් සමග නතර කරගත හැකිදැයි බලන්නට ඔවුහු උත්සාහ කරති.
එහෙත් කිසිවකු විකල්ප කතා නොකරන ජයවර්ධන ජනාධිපති ස්ථාපිත කළ මේ විවෘත ආර්ථිකය සඳහා වික්‍රමසිංහ ආණ්ඩුව සොයා යන විශාල ආයෝජන වෙනුවෙන් චීන ආධාර මිස වෙනත් ආදේශක නැත. ඊළඟ මැතිවරණය දක්වා කාලයේ කවර ආණ්ඩු අර්බුද ඇතිවුවත් වත්මන් හවුල් ආණ්ඩුව චීන ආධාරවල ගොදුරක් බවට පත්ව සිටින්නෙකි. චීනයට දැන් ආණ්ඩු මාරුවක අවශ්‍යතාවක් තිබිය හැකිද? ආණ්ඩු මාරුවක් අවශ්‍ය වුවහොත් එය රටේ ජනතාවට  මිස චීනයට නොවේ. එයද තවමත් දුර ඈත කතාවකි. (Lakbima)

ඔබගේ අදහස අපට කියන්න

Close