ලෝකයේ කෙළවර කොතැනද ?

මිනිස්සුන්ගේ කුතුහලය දිනා ගත්ත යම් තාක් දේවල් තිබෙනවා නම් එ් සියල්ල අතරින් ‘ලෝකය’ බොහොම ජනප‍්‍රිය මාතෘකාවක්. ලෝකයේ සම්භවය ගැන, ලෝකයේ ස්වභාවය ගැන, ලෝකයේ පැවැත්ම ගැන, ලෝකයේ විනාශය ගැන තරම් මතවාද, සංකල්ප, කථන්දර, ජනප‍්‍රවාද අන් කිසිවක් ගැන බිහි වී නැහැ. අහස, පොළව, මුහුද, සක්වළ සෑම කල්හි ම ලෝකවාසීන්ගේ අවධානයට බඳුන් වුණා. කලින් කලට මේ එක් එක් දෙය කෙරෙහි එකිනෙකා දැරූ මතයන් වෙනස් වූවත්, සෑම කල්හි ම මේ දේවල් පිළිබඳ කවර හෝ මතයක තමයි හැමෝම සිටියේ සහ ඉන්නේ…

අති මහත් ලෝකවාසීන්ට අදටත් ලෝකය අබිරහසක්. ඔවුන්ගේ කාලය, ශ‍්‍රමය, දැනුම, කුසලතා අඛණ්ඩ ව වැය කරමින් එ් අය ලෝකය තේරුම් ගන්නට උත්සාහ ගන්නවා. එහෙත්… සැබැවින් ම ඔවුන්ට ලෝකය තේරුම් ගන්නට ඉඩකඩක් එ් උත්සාහයන් තුළ විවෘත වනවා ද? අද ‘මහාමේඝ පුවත්’ වෙන් කෙරෙන්නේ ලෝකය සොයා යන ලෝ තතු මැනැවින් වටහා ගැනීම උදෙසා වන මාර්ගය සිහි කර ගන්නටයි…

ජුපිටර් වෙත ගිය ජූනෝ

පසුගිය ජූලි මාසයේ මුල් සතියේ ලෝ ප‍්‍රකට ගූගල් සමාගම තම අන්තර්ජාල වෙබ් පිටුව ‘‘ජූනෝ ජුපිටර් වෙත ළඟා වූවා” ලෙසින් දක්වා තිබුණා. ඇමෙරිකාවේ නාසා ආයතනයේ අභ්‍යවකාශ ගවේෂණ යානයක් බ‍්‍රහස්පති ග‍්‍රහලෝකයේ කක්ෂයට ඇතුල් වීමේ ජයග‍්‍රහණය යි ඔවුන් එසේ සමරනු ලැබුවේ…

ග‍්‍රහලෝක අටකින් සමන්විත සෞරග‍්‍රහ මණ්ඩලයක තුන්වන ග‍්‍රහලෝකය ලෙස පෘථිවිය පිහිටා තිබෙන බවත්, එ් සියලූ ග‍්‍රහලෝක අතරින් ජීවත් වීමට හිතකර – ජීවය පවතින එක ම ග‍්‍රහලෝකය පෘථිවිය බවත් අප කුඩා කාලයේ දී ඉගෙන ගත්තා. එ් සෞරග‍්‍රහ මණ්ඩලයේ පස්වන ග‍්‍රහලෝකය වන්නේ ග‍්‍රහලොව දැවැන්තයා වන බ‍්‍රහස්පති. අභ්‍යවකාශ ගවේෂකයන්ගේ ඉමහත් අවධානයට ලක්වන ග‍්‍රහලෝකයක් ලෙසින් පිළිගැනෙන බ‍්‍රහස්පති වෙත අභ්‍යවකාශ ගවේෂණ යානයක් මෙසේ යොමු කෙරුණේ මෙයින් පස් වසරකට පෙරයි. අන් බාධාවක් නො වී බ‍්‍රහස්පතිගේ කක්ෂයට මෙම යානය ඇතුල් වීම බ‍්‍රහස්පති පිළිබඳ අලූත් ම දැනුම් සම්භාරයක් පෘථිවිය වෙත ළඟා කරවන්නට සමත් වනු ඇති බව තමයි නාසා විද්‍යාඥයන්ගේ මතය.

මේ යානය ගමන් අරඹා දින 1800කට වැඩි ප‍්‍රමාණයක් ගත වූවාට පසුවයි බ‍්‍රහස්පතිගේ කක්ෂයට ඇතුළු වන්නට එයට ඉඩ ලැබුණේ. එතරම් කාලසීමාවකට පසුව හෝ යානය එ් වෙත ඇතුළු වූවාට මිනිසෙකුට හෝ පෘථිවිවාසී වෙනත් ජීවියෙකුට හෝ එ් වෙත ඇතුළු වීමක් ගැන සිතන්නටවත් හැකියාවක් නැහැ. නමුත්, නූතන ලෝකය විසින් ‘තිබේ ය’ කියා සොයාගෙන නැති, අංශුමාත‍්‍ර වශයෙන් හෝ නූතන ලෝකය නො දන්නා ලෝකයන් ගැනත්, ඇසිල්ලකින් එ් වෙත ගිය ආශ්චර්යවත් මිනිසුන් ගැනත් අප නම් අසා තිබෙනවා නේ ද….!!!

මිළින්ද රජතුමා නාගසේන මහරහතන් වහන්සේගෙන් මේ ප‍්‍රශ්නය විමසනු ලැබුවා.

‘‘ස්වාමීනී නාගසේනයන් වහන්ස, මේ මිනිස් ලෝකයේ සිට බ‍්‍රහ්ම ලෝකයට කොපමණ දුර ද?”

‘‘කූටාගාරයක් වැනි සුවිශාල ගලක් බ‍්‍රහ්මලෝකයෙන් වැටුණොත් දිවා රාත‍්‍රී දෙකේ යොදුන් හතළිස් අට දහසක් පහළට වැටෙද්දී පොළවට ළං වෙන්නට හාර මාසයක් ගත වේවි.”

‘‘ස්වාමීනී නාගසේනයන් වහන්ස, එ් වුණාට ඔබ වහන්සේලා මෙහෙම කියනවා නෙව. බලවත් පුරුෂයෙක් හැකිළුෑ අතක් දිගහරින්නේ යම් සේ ද දික් කළ අතක් හකුළුවන්නේ යම් සේ ද එ් අයුරින් ඍද්ධිමත් චේතෝවශීප‍්‍රාප්ත භික්ෂුව දඹදිවින් අතුරුදන් ව සැණෙකින් බඹලොව පහළ වනවා ය කියා. ඔය වචනය මම විශ්වාස නො කරමි. එපමණ අති සීඝ‍්‍ර ව බොහෝ යොදුන් සිය ගණනක් එහෙම යන්නට පුළුවන් ද?”
නාගසේන මහරහතන් වහන්සේ මිළින්ද රජුගෙන් පෙරලා මෙසේ ප‍්‍රශ්න කරනවා.

‘‘මහරජාණෙනි, ඔබ උපන්න භූමිය තියෙන්නේ කොහේ ද?”
‘‘ස්වාමීනී, ඇලෙක්සැන්ඩි‍්‍රයාව කියා රටක් තිබෙනවා. එහෙ තමයි මං උපන්නේ…”
‘‘මහරජාණෙනි, මෙහෙ ඉඳලා ඇලෙක්සැන්ඩි‍්‍රයාවට කොපමණ දුර ඇද්ද?”
‘‘ස්වාමීනී, යොදුන් දෙසීයක් (කිලෝමීටර් දෙදහසක්) පමණ ඇති.”
‘‘මහරජාණෙනි, ඔබ එ් රටේ දී කරන ලද යම් කිසි දෙයක් මෙහි දී යළි සිහි කරද්දී එය මැනැවින් දන්නවා නේ ද?”
‘‘එසේ ය ස්වාමීනී, දනිමි.”
‘‘එතකොට මහරජාණෙනි, මෙතරම් ඉක්මනට එ් දෙසිය යොදුනක් දුර ඔබ ගියා නේ ද?”
‘‘ස්වාමීනී නාගසේනයන් වහන්ස, ඉතා දක්ෂ වන සේක.”
(මිළිඳු රාජ ප‍්‍රශ්නය – 1, අති පූජනීය කිරිබත්ගොඩ ඤණානන්ද ස්වාමීන් වහන්සේ)

ගැටලූව විසඳූ ආකාරය පවා විස්මිතයි නේ ද… එතරම් බලවත් වූ චිත්ත බලයක් උපදවා ගැනීම එතකොට මොන තරම් විස්මිතයි ද…! එසේ වූ කල්හි…. සිත තුළ උපදවා ගත හැකි සියලූ බලයන් උපදවා ගත්ත, එ් සිත මනා කොට දමනය කළ, සිත දමනය කරන්නට මඟ කියන ශාස්තෘන් වහන්සේ මොන තරම් ආශ්චර්යවත් ද…!!!

අප සරණ ගියේ එ් ශාස්තෘන් වහන්සේ ව යි… පැහැදිය යුතු තැන පැහැදෙන්නට, එ් පැහැදීම ගැන සතුටු වන්නට මේ පුවත අපට හොඳ අවස්ථාවක් විවර කළා නේ ද…!!!

ආලෝකය ගෙන එන ග‍්‍රහලෝක

ඇමෙරිකාවේ නාසා ආයතනය පසුගිය ජූලි මාසය වන විට බ‍්‍රහස්පති ග‍්‍රහලෝකය හා සම්බන්ධ ව තවත් සොයා ගැනීමක් සිදු කළා. එ්, හබල් අභ්‍යවකාශ දුරේක්ෂයක ආධාරයෙන්. එ් පරීක්ෂණයෙන් තහවුරු කෙරුණේ අරුණාලෝකය මුදා හරින එක ම ග‍්‍රහ වස්තුව පෘථිවිය නො වන බවයි. පෘථිවියෙන් නිකුත් වන රශ්මි දහරාවේ හෙවත් අවුරෝරාවේ තීව‍්‍රතාවයට වඩා දහස් ගුණයකින් ඉහළ තීව‍්‍රතාවයකින් බ‍්‍රහස්පති ග‍්‍රහලෝකයෙන් ආලෝකය මුදා හැරෙන බව තමයි මෙහි දී තහවුරු වී තිබෙන්නේ.

මෙය සිදුවන ආකාරයන් පිළිබඳ ව ද නාසා විද්‍යාඥයන් න්‍යායන් ද ඉදිරිපත් කර තිබුණා. ග‍්‍රහලෝකයේ චුම්බක ක්ෂේත‍්‍රය සමඟින් අවට වායුගෝලයේ සංඝටකවල අන්තර් ක‍්‍රියාකාරීත්වයේ ප‍්‍රතිඵලයක් ලෙසින් පෘථිවි ආලෝකය උත්පාදනය වූවාට බ‍්‍රහස්පතිගේ ආලෝකය නිපදවෙන්නේ බ‍්‍රහස්පතිගේ විශාල චන්ද්‍රයන් හතර දෙනාගේ සිදුවන ගිනිකඳු පිපිරීම්වල දී නිකුත් වන පරමාණු අංශු නිසා බව ඔවුන් පවසනවා. මේ ගැන තවදුරටත් පර්යේෂණ කි‍්‍රියාත්මකයි.

ග‍්‍රහලෝක ගැන කෙරෙන මේ අනාවරණයන්, හෙළිදරව්වන් විසින් සෑම කල්හි ම ලෝකය පුදුමයට පත් කරවනවා. යම් රටක්, යම් ජාතියක් මේ සොයා ගැනීම් සිදු කරනවා ද එ් පිරිස දියුණු දැනුමක් සහිත පිරිසක් ලෙසින් ලෝකයේ පිළිගැනීම ලබනවා. නමුත්, මේ ලෝකය එසේ සොයා ගැනීම් සිදු කිරීමෙන් සොයාගෙන අවසන් කළ හැකි ලෝකයක් නම් නො වෙයි. රෝහිතස්ස දිව්‍ය පුත‍්‍රයාට වදාළ දෙසුමේ දී මේ ලෝකය පා ගමනින් ගොස් කෙළවරක් දැකිය නො හැක්කක් බව සම්බුදුරජාණන් වහන්සේ දේශනා කොට වදාළා. කොතරම් සොයා බැලූවත් ලෝකයට ලැබෙන්නේ අසම්පූර්ණ දැනුමක් ම පමණයි. එ් විතරක් නෙවෙයි; අලූතින් ම සොයා ගත්තා කියා පවසනු ලැබෙනවා වූවත් මේ කිසිවක් අන් කිසිවෙකු කිසි කලක සොයා නො ගත්තක් ද නො වෙයි. එ් සියලූ දැනුම මින් පෙර ද ලෝකයට හමුවී තිබුණා. එ් කොහොම ද එ් කියලා ඔබට සිතුණ ද? එ් දැනුම ලැබුවා පමණක් නො වෙයි; එ් මහා ප‍්‍රඥවන්තයා සියලූ ලෝකයන් තම වසඟයේ ද පැවැත්වුවා.

‘‘පින්වත් මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත ලෝකයේ, දෙවි මිනිසුන් සහිත මේ සත්ව ප‍්‍රජාව යම් දෙයක් දැක්කා නම්, ඇහුවා නම්, කනෙන්, නාසයෙන්, කයෙන් යමක් දැනගත්තා නම්, සිතින් දැනගත්ත දේවල් තියෙනවා නම්, ලැබිච්ච, සොයා ගිහිල්ලා දැනගත්තු, සිතින් විමසලා සොයා ගත්තු එ් සියලූ ම දේවල් තථාගතයන් වහන්සේ විසින් ඉතා හොඳින් අවබෝධ කළා. එ් නිසා තමයි ‘තථාගත’ කියලා කියන්නේ.

පින්වත් මහණෙනි, දෙවියන් සහිත, මරුන් සහිත, බඹුන් සහිත, ශ‍්‍රමණ බ‍්‍රාහ්මණයන් සහිත ලෝකයේ, දෙවි මිනිසුන් සහිත මේ සත්ව ප‍්‍රජාවේ තථාගතයන් වහන්සේ තමයි සියල්ලම මැඩ පවත්වන්නේ. සියල්ල අභිභවා සිටින්නේ. ලෝකයේ කිසිවෙකුටවත් තථාගතයන් වහන්සේ ව ඉක්මවා යන්න බෑ. එ්කාන්තයෙන් සියල්ල දැකලා සියල්ල තමන් වහන්සේගේ වසඟයේ පවත්වනවා. එ් නිසාත් ‘තථාගත’ කියලා කියනවා.”
(ලෝකාවබෝධ සූත‍්‍රය – ඛු නි. 1)

ලෝකය ගැන මේ සා අවබෝධයක් අනාවරණ ප‍්‍රඥ ඇති තථාගතයන් වහන්සේනමකගෙන් ම මිස අන් කාගෙන් නම් බලාපොරොත්තු වන්න ද? ලොව සියලූ තාක්ෂණයන් එක මිටට ගත්ත ද සොයා ගන්නට බැරි මේ විස්මිත අවබෝධය දරාගෙන වැඩ සිටි ශාස්තෘන් වහන්සේනමකගේ සම්බුදු සසුනක පිළිවෙතෙහි හැසිරෙන්නට අපට ලැබුණ වාසනාව කොහොම නම් පමණ කරන්න ද…!

ජීවත් වෙන්න තවත් ලොවක්

නාසා ආයතනය අභ්‍යවකාශ සොයාගැනීම් සම්බන්ධයෙන් තවත් ඉදිරි පියවරක් ලෙයසි කෙප්ලර් දුරේක්ෂය හඳුන්වා දෙනු ලැබුවේ. එහි ප‍්‍රධාන අරමුණ වූයේ සියලූ ග‍්‍රහලෝක අතර අපට වාසයට සුදුසු, ජීවයට හිතකර තවත් ග‍්‍රහලෝක තිබේ ද යන්න සොයා ගැනීම යි. කෙප්ලර් දුරේක්ෂය භාවිතයෙන් සිදු කළ පර්යේෂණයන්ගෙන් අනාවරණය වී තිබෙන්නේ අප දිවි ගෙවන මන්දාකිණිය වන ක්ෂීරපථයේ පමණක් අප වැනි ම වූ ජීවත් වීමට සුදුසු යැයි සිතිය හැකි ග‍්‍රහලෝක බිලියන 10 – 80 ප‍්‍රමාණයක් පවතින බවයි. ප‍්‍රබලත්වයෙන් වැඩි තවත් දුරේක්ෂ ඉදිරියේ දී නිපදවුණහොත් මේ දත්තයන් තවදුරටත් වෙනස් වනවා. නවීන උපකරණ පිහිට කර ගත්තු ලෝකය මේ ගෙන හැර දක්වන දත්ත සියයට සියයක් ම නිවැරදි දත්ත නොවන්නට බොහෝ ඉඩ තිබෙනවා. අනුමාන වශයෙන් හැර ලෝකය පිළිබඳ සැක රහිත ව කරුණු ගෙනහැර දක්වන්නට මේ තාක්ෂණික මෙවලම් කිසිසේත් ම සමත් වී නැහැ. සමත් වන්නේ ද නැහැ. එ් සමත්කම ලැබෙන්නේ උපකරණයකට නො වෙයි; දියුණු කරන ලද හිතකට යි…

සම්බුදුරජුන්ගේ අග‍්‍ර උපස්ථායක ආනන්දයන් වහන්සේ භාග්‍යවතුන් වහන්සේගෙන් මෙසේ විමසා සිටියා.

‘‘ස්වාමීනී, මා විසින් භාග්‍යවතුන් වහන්සේ ඉදිරියේ ම යි මේ කරුණ අහලා තියෙන්නේ. ඉදිරියේ ම යි පිළිගෙන තියෙන්නේ. එ් කියන්නේ, ‘පින්වත් ආනන්ද, සිඛී නම් වූ සම්බුදුරජාණන් වහන්සේගේ ශ‍්‍රාවක වූ අභිභූ නම් භික්ෂුව බ‍්‍රහ්මලෝකයේ සිටිමින් සහස‍්‍රී ලෝක ධාතුවට කටහඬ අසන්නට සැලැස්වුවා.’ කියලා. ස්වාමීනී, අරහත් සම්මා සම්බුදු වූ භාග්‍යවතුන් වහන්සේ කොපමණ දුරකට කටහඬ පතුරුවා හරින්නට සමර්ථ වන සේක් ද?”

තථාගතයන් වහන්සේලා ප‍්‍රමාණ කළ නො හැකි බව සම්බුදුරජාණන් වහන්සේ පිළිතුරු ලෙස වදාරද්දී ආනන්දයන් වහන්සේ තුන්වරක් ම එය විමසා සිටියා. අන් කිසිවෙකුගේ සිතුවිලි මාත‍්‍රයකටවත් විෂය නොවන විස්මිත හෙළිදරව්වක් සම්බුදු මුව මඬලින් නිකුත් වුණේ එයට පිළිතුරු වශයෙනුයි.

‘‘එසේ වී නම් පින්වත් ආනන්ද, සවන් යොමා අසන්න… පින්වත් ආනන්ද, යම්තාක් සඳ හිරුගේ ගමන් මඟ තිබෙනවා නම්, දිශාවන් බබළවනවා නම්, එ්තාක් තැන් සහස‍්‍රී ලෝක ධාතුව යි. එ් සහස‍්‍රී ලෝකධාතුවෙහි දහසක් චන්ද්‍රයන් තිියෙනවා. දහසක් සූර්යයන් තියෙනවා. දහසක් සිනේරු පර්වත තියෙනවා. දහසක් දඹදිව් තියෙනවා. දහසක් අපරගෝයාන තියෙනවා. දහසක් උතුරුකුරු දිවයින් තියෙනවා. දහසක් පූර්ව විදේහයන් තියෙනවා. හාරදහසක් මහා සමුද්‍රයන් තියෙනවා. හාරදහසක් මහා රජුන් සිටිනවා. දහසක් චාතුම්මහාරාජික තියෙනවා. දහසක් තව්තිසාවන් තියෙනවා. දහසක් යාමයන් තියෙනවා. දහසක් තුසිත තියෙනවා. දහසක් නිම්මානරතීන් තියෙනවා. දහසක් පරනිම්මිතවසවත්තීන් තියෙනවා. දහසක් බ‍්‍රහ්මලෝක තියෙනවා. පින්වත් ආනන්ද, මේකට තමයි කියන්නේ ‘සහසී‍්‍ර චූලනිකා ලෝකධාතුව’ කියලා.

පින්වත් ආනන්ද, යම්තාක් සහස‍්‍රී චූලනිකා ලෝකධාතුවක් වෙයි ද එබඳු වූ ලෝකධාතුන් දහසක් ඇද්ද, පින්වත් ආනන්ද මේකට තමයි ‘ද්වීසහස‍්‍රී මජ්ක්‍ධිමා ලෝකධාතුව’ කියලා කියන්නේ.

පින්වත් ආනන්ද, යම්තාක් ද්වීසහස‍්‍රී මජ්ක්‍ධිමා ලෝකධාතුවක් වෙයි ද එබඳු වූ ලෝකධාතුන් දහසක් ඇද්ද, පින්වත් ආනන්ද මේකට තමයි ‘තිසහස‍්‍රී මහාසහස‍්‍රී ලෝකධාතුව’ කියලා කියන්නේ.

පින්වත් ආනන්දය, තථාගතයන් වහන්සේ කැමති වන සේක් නම් තිසහස‍්‍රී මහාසහස‍්‍රී ලෝකධාතුවට ම කටහඬ අසන්නට සලස්වන්න පුළුවනි. තවත් කැමති වනවා නම් එයටත් එහා කටහඬ අසන්නට සලස්වන්නට පුළුවනි.”
(අංගුත්තර නිකාය, තික නිපාතය)

ලෝකධාතූන්ගේ පිහිටීම ගැන මේ සා විස්මිත හෙළිදරව්වක් ස්වයංභූ ඤණයෙන් ලෝ තතු අවබෝධ කළ සම්බුදුරජාණන් වහන්සේනමකගේ මුවින් ම මිස අන් කාගේ මුවින් කියැවෙන්න ද… එ් සියලූ ලෝකයන් දකින, එ් සියල්ල ඉක්මවා හඬ පතුරුවන ශාස්තෘන් වහන්සේ මොන තරම් අසිරිමත් ද…!!!

සීමා සහිත වූ න්‍යායික දැනුම හෝ යන්ත්‍රෝපකරණවලින් මේ ලෝකය ලබන විජයග‍්‍රහණය එ් සම්බුදුරජුන්ගේ අවබෝධය ඉදිරිපිට පාදූවිල්ලක් වනවා. එ් අසමසමයන් වහන්සේගේ ප‍්‍රඥ මහිමයත් එ්කාන්තයෙන් ම අසමසමයි…! ආශ්චර්ය යි…!!!

ඇටකාමාවේ අඟහරු ජීවියා

චිලියේ ඇටකාමා කාන්තාරය පිළිබඳ, අප හැර සක්වළ ජීවයක් තිබේ ද කියා විමසන ජනයාගේ ඉමහත් අවධානය යොමු වූයේ මීට වසර දහතුනකට කලින්. දිනය 2013 ඔක්තෝබර් 19 වැනිදා. ඔස්කාර් මුනෝස් නමැත්තා විසින් ඇටකාමා කාන්තාරයේ දී සොයා ගත්, මිනිස් ඇටසැකිල්ලක ස්වරූපය ම ඇති අඟල් හයක් පමණ උස් වූ ඇටසැකිල්ල නිසාවෙනුයි මේ ගැන අවධානය යොමු වුණේ.

බොහෝ දෙනෙකුගේ සිත් පැහැර ගත් මෙම පුවත නැවත සිහිපත් කෙරුණේ පසුගිය ජූනි මස 29 වැනිදා නාසා ආයතනය වෙත ලැබුණු ඡුායාරූපයක් නිසයි. එකී ඡායාරූපය නාසා ආයතනය වෙත යොමු කෙරුණේ අඟහරු ග‍්‍රහලෝකය මත ගවේෂණ කටයුතු සිදු කරන ස්පිරිට් රෝවර් යානයෙන්. එහි දැක්වෙන්නේ නිවසක් යැයි පෙනී යන හැඩරුව සහිත වූ, අඟල් හයක පමණ ප‍්‍රමාණයේ ෙදාරක් වැනි අංගයක් සහිත දෙයක්.

පුවත් දෙක ගළපන්නට උත්සාහ කරන විශ්ලේෂකයන් පවසන්නේ ඇටකාමා කාන්තාරයෙන් හමු වුණු ඇටසැකිල්ල පෘථිවිය වෙත පැමිණ මරණයට පත් වූ අඟහරු ජීවියෙකුගේ විය හැකි බව. කොහොම වුණත්, මේ තාක් නම් ඇටසැකිලි කථන්දර සහ අද්භූත යානාවන්, ආලෝකයන් ගැන කථන්දර ම මිස පෘථිවියෙන් බැහැර ජීවයක් පවතින බව කියැවෙන අන් යමක් ලෝකයට මුණගැසී නැහැ.

නමුත් පෙළ දහමේ නම් පෘථිවියෙන් බැහැර ජීවය ගැන පමණක් නො වෙයි; ඔවුන් සිතන පතන ආකාරයන් ගැනත්, ඔවුන්ගේ ස්වරූපයන් ගැනත්, ඔවුන්ගේ ජීවිත ගත වන ආකාරයන් ගැනත් බොහෝ තතු පැවසෙනවා.

බලවත් පුරුෂයෙකු හැකිළුෑ අතක් දිගු කරනවාට වඩා වේගයෙන් දෙව්ලොව වඩිමින් චාරිකාවේ යෙදුණ මොග්ගල්ලාන මහරහතන් වහන්සේ දිව්‍යවිමානයන්ගේ ස්වරූපය පමණක් නො වෙයි; එ් දිව්‍ය පිරිස්වල යසස ද එවන් දිව්‍යශ්‍රීයක් ලබන්නට උපකාරක වූ පුණ්‍ය ශක්තිය ද විමසා දැනගත්තා. එ් එ් ලෝකවල දෙව් බඹ පිරිස් මිනිසුන් නිදි ගත් මධ්‍යම රාත‍්‍රියේ ආලෝක දහරා විහිදුවාගෙන දෙව් මිනිසුන්ගේ ශාස්තෘ වූ සම්බුදුරජාණන් වහන්සේ ව දැක වන්දනා කරන්නට පැමිණියා. එ් තථාගත ශ‍්‍රාවකයන් කෙලෙස් මඩින්නට වීර්යය කරද්දී සිව්දිශාවේ රැකවල් ලා සිටියා.

අඟල් හයක විවරයක් සහිත දෙය කුමක් ද කියා සොයා ගන්නට ප‍්‍රමාණවත් තාක්ෂණයක් නැති ලෝකයේ යොදුන් ගණන් උස ප‍්‍රාසාද, එ් වටා ඇති සොඳුරු ගෘහ නිර්මාණ, එ්වායේ වාසය කරනා පිරිස් ගැන දකින්නට – ඔවුන් හා කථාබස් කරන්නට සමත් වූ ශ‍්‍රාවකයන් සහිත වූ, ඔවුන්ගේ වන්දනාමාන, රැකවරණ ලබන්නට සුදුසු වූ ශ‍්‍රාවකයන් සහිත වූ ගුරුවරයා මොන තරම් අසිරිමත් ශිල්පයක් ද ලෝකයට බෙදා දෙන්නට ඇත්තේ…! එ්කාන්තයෙන් ම එ් තථාගතයන් වහන්සේ නම් අසහාය යි, අනුත්තරයි, අසමසමයි…!

ලෝකයේ කෙළවර

‘ලෝකය’ මොකක්ද කියලා නො දන්න එකේ ලෝකයේ කෙළවර ගැන කවුරු කොහොම නම් දැන ගන්න ද? හැමකාලෙ ම ලෝකවාසීන්ගේ කුතුහලය, ආකර්ෂණය දිනා ගත්තා වුණත් ලෝකය කියන්නේ අබිරහසක්. එ් අබිරහස ලෙහා, ලෝකයේ කෙළවර දකින්නට නම් ලෝකය අවබෝධ කරන්න ම වෙනවා.

මොන නමින් තිබුණත්, මොන වර්ණයෙන් තිබුණත්, මොන රසයෙන් තිබුණත්, කොතැන කොහොම තිබුණත් මේ දුටු – නො දුටු සියලූ දේ හේතු නිසාවෙන් හට ගත්ත දේවල් බව සම්බුදුරජාණන් වහන්සේගේ අවබෝධය පිළිගත්ත අප දරාගෙන සිටිනවා. නොයෙක් නම් ඇති ග‍්‍රහලෝක පමණක් නො වෙයි, ඇස කන ආදි ආයතන ලෝකත්, පඨවි ආපෝ ආදි ධාතු ලෝකත් යන සියල්ලමත් හේතූන් නිසාවෙනුයි හට ගත්තේ.
හේතුන්ගෙන් හටගත් ලෝකයේ කෙළවර කොතැන ද? සම්බුදුරජාණන් වහන්සේ එය මෙසේ පනවනවා.

‘‘යං කිංචි සමුදය ධම්මං සබ්බං තං නිරෝධ ධම්මං”

‘‘හේතු ප‍්‍රත්‍යයන්ගෙන් හටගන්නා ස්වභාවයෙන් යම් කිසිවක් ඇද්ද එ් සියල්ල නිරුද්ධ වන ස්වභාවයෙන් යුක්තයි.”

එ් හේතු නසන මඟ ධර්මයේ හැඳින්වෙන්නේ ආර්ය අෂ්ටාංගික මාර්ගය කියලයි…!!!

සියලූ ලෝක අවබෝධ කොටගෙන එ් සියලූ ලෝකවලින් නිදහස් ව අපගේ ශාස්තෘන් වහන්සේ ලෝකවිදූ වගට පත් වී වදාළ බව එ්කාන්ත සත්‍යයක්. එ් කෙරෙහි නොසෙල්වෙන පැහැදීම ඇති කරගෙන, සැක රහිත ව තිසරණයේ පිහිටා, පිරිසිදු සිල් ඇති බුදු සව්වන් වන්නට අපට හැකි වුවහොත් ලෝකයේ කෙළවර දකින්නට උපරිම වශයෙන් ගත වන්නේ ආත්මභාව හතක් පමණයි…!(Mahamega)

ඔබගේ අදහස අපට කියන්න

Close