මල් පොහොට්ටුව නොපිපෙන බවට ජ්‍යොතිෂ්‍යයෙන් අනාවැකි

අප රටට නිදහස ලැබීමෙන් පසු ප්‍රධාන පක්ෂ දෙක වන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයටත්, එක්සත් ජාතික පක්ෂයටත් අමතර විවිධ ආකාරයේ දේශපාලන පක්ෂ රාශියක් බිහි විය. ඒවායින් අතළොස්සක් හැර අනෙකුත් ඒවා උපන් ගෙයිම මිය ගොසිනි.

එම පක්ෂ මියගියේ නිකන්ම නොවේ. ඒවායේ නිර්මාතෘවරුන්ද වළපල්ලට යවමින් වීම විශේෂත්වයකි. උදාහරණයක් ලෙස එක්සත් ජාතික පක්ෂයෙන් වෙන් වී නව පක්ෂයක් නිර්මාණය කරගත් ලලිත් ඇතුලත්මුදලි මහතාත් ගාමිණී දිසානායක මහතාත් දේශපාලන කරළියෙන් මැකී ගියේ තමන් විසින් පිහිටුවාගත් පක්ෂය පළමු මැතිවරණයට ඉදිරිපත් වීමටත් පෙරය.

එහෙත් එජාපයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් 1948න් පසුව අද වනතුරුත් මාරුවෙන් මාරුවට අප රට පාලනය කරයි. අනිකුත් විපක්ෂ කෙටි කලකින් දේශපාලන ක්ෂේත්‍රය තුළ නිවී යද්දී ඉහත කී ප්‍රධාන පක්ෂ දෙක පමණක් දේශපාලනය තුළ දැල්වෙමින් තවදුරටත් රැඳී සිටීමේ රහස කුමක්ද? ජේ‍යාතිෂයට අනුව බලන විට එම පක්ෂ දෙක ආරම්භ කරන ලද දිනයන් හි බලවත්කම මෙන්ම නමෙහි ඇති වාග් විද්‍යාත්මක බලයද පෙන්වා දිය හැක.

පක්ෂයේ නායකයාගේ හෝ නිර්මාතෘවරයාගේ ප්‍රධාන නාම අක්ෂරයට සීහුම් වන ආකාරයට පක්ෂයේ ප්‍රධාන නාම අක්ෂරය ගැළපීම හේතුවෙන් එජාපයත්, ශ්‍රී ලංකා නිදහස් පක්ෂයත් අප රටේ ප්‍රධාන පක්ෂ දෙක ලෙස තව දුරටත් බැබළෙමින් විරාජමානව සිටින බව පෙනේ. 2015 ජනවාරි 8 වැනිදායින් පසුව බිහිවූ දෙමුහුන් ආණ්ඩුව මඟින් ඒ බව මනා ලෙස තහවුරු කරවීය. එසේ නම් ප්‍රධාන පක්ෂ දෙක හැර වරින් වර බිහිවූ අලුත් පක්ෂ කෙටි කාලයක් තුළ දේශපාලන භූමියෙන් අතු ගෑවී ගියේ ඇයි? දරුවකුට නමක් තබනවාට වෙනස් පිළිවෙතක් පක්ෂයට නමක් තැබීමේදී අනුගමනය කළ යුතුය. මෙහිදී ඉතාම වැදගත් සාධකය වන්නේ පක්ෂයේ නායකයා ලෙස කටයුතු කරන පුද්ගලයාගේ දර්ශනයයි. දරුවකු හදනවාට වඩා පක්ෂයක් නිර්මාණය කරන්නාගේ පරම්පරාව නොහොත් පැටිකිරිය මෙහිදී ඉතාම වැදගත් වේ.

සමාජයට පරිත්‍යාගශීලීව තම ශ්‍රමය, ධනය දන් දී අතීතයේ සිටම ජනතා දුක හඳුනා කටයුතු කළ දේශ හිතෛෂී, ජාතිමාමක පරම්පරාවන්ගෙන් පැවැත එන්නන් නිර්මාණය කරන ලද පක්ෂ අකාලයේ මියැදෙන්නේ නැත. එසේත් නැතිව ජනතාව වෙනුවෙන් කැප නොවී ජනතාවගේ බදු මුදලින් යැපෙමින් අලුත් පක්ෂ පිහිටුවා ගත්තද ඒවාට වැඩි ආයුෂක් ඇතැයි සිතීමට නොහැක. ඒවා හරියට තාරුකා වැනිය. අහසේ තාරුකා, මන්දාකිණි අනන්තය. ඒත් ඒවා අතර පිහිටන ලද රවි, චන්ද්‍ර, කුජ, ගුරු, බුධ, ශනි හා සිකුරු යන ග්‍රහයන් සදා බැබළෙන අතර අනිකුත් තරු හිරු දුටු කොඳ මල් සේ වියැකී අකාලයේ මිලින වන බව බුද්ධිමත්හු දනිති.

ජේ‍යාතිෂවේදී ඩග්ලස් ගුණවර්ධන

පොදුජන පෙරමුණ නමින් නව පක්ෂයක් ජී.එල්. පීරිස් මහතාගේ සභාපතිත්වයෙන් පිහිටුවිණි. මේ වන විට මැතිවරණ කොමසාරිස්වරයා විසින් එය
පිළිගෙන ඇත. එය මහින්ද රාජපක්ෂ මහතා වෙනුවෙන් හැදූ පක්ෂයක් බව සාමාන්‍ය පිළිගැනීමයි.

කෙසේ නමුත් අභිධානය අනුව මහින්ද මහතාට පක්ෂයේ නමට යොදාගත් අක්ෂරය සාමාන්‍ය සිද්ධි චක්‍රය අනුව යහපත් වුවත් සූක්ෂ්ම සිද්ධි චක්‍රය අනුව නම් යහපත් නොවේ. කෙසේ නමුත් ගණ පිහිටුවීමේදී ද එතරම් සැලකිල්ලක් දක්වා නොමැත. කොහොම නමුත් නරකම නැත. වර්ණය මහින්ද මහත්තයාට යහපත්ය.

ලාංඡනය ගැන සැලකීමේදී මල් පොහොට්ටුව යොදා ගැනීමෙන් සංකේතවත් කර ඇත්තේ පිබිදීමක් බව වියයුතුය. නමුත් එහෙම දේශපාලන පක්ෂයක හෝ මොනයම් ව්‍යාපාරයක් සඳහා හෝ නාමය, වර්ණ හෝ ලාංඡනය යොදා ගැනීමේදී වඩාත් සැලකිලිමත් වියයුතුය. හේතුව පක්ෂ නමට වඩා ජනතාව ආකර්ෂණය කර ගන්නේ ලාංඡනය වීමය.

එජාප අලියා තෝරාගැනීමත් ශ්‍රී ලනි පක්ෂය අත ලකුණ තෝරා ගැනීමත් පක්ෂයේ නාමය බැබළවීමටද හේතු වී ඇත.

පොදුජන පෙරමුණේ ලාංඡනය ගැන මීට වඩා සැලකිල්ලක් දැක්වූවා නම් යහපත් බව මට හැඟේ. හැමදාම පිබිදීමක් බලාපොරොත්තු වන බව පෙනේ. සමහර විට මල යොදා නොගත්තේ ඉක්මනින් පරවන නිසාය. නමුත් ලෝකයේ පවතින කිසිම දෙයක් ස්ථීර නොමැත. මල් පොහොට්ටුව පිබිදීමක් නොමැතිව උපන් ගෙයි පරවෙයිද යන්න සැක සහිතය. එසේ නොවේවායි ප්‍රාර්ථනා කරමි.

නව පක්ෂයේ නව ලාංඡනය ගැන මෙයට වඩා සූක්ෂ්ම විදියට සොයා බැලුවොත් යහපත්ය.

මහින්ද රාජපක්ෂ මහත්තයාට හදපු පක්ෂයක් නම් මීට වඩා සැලකිලිමත් විය යුතුය. ගණ පිහිටුවීමේදී පවා එතරම් සැලකිල්ලක් නොදක්වා ඇත. මහජනතාවට ඉක්මනින් ආකර්ෂණය වන ලාංඡනයක් තෝරා ගත්තානම් වඩාත් යහපතකි. අලියා, අත වැනි ප්‍රතාපවත් ලකුණක් යොදා ගත්තා නම් මල් පොහොට්ටුවට වඩා යහපත්ය.

 ජේ‍යාතිෂවේදී එස්.ජේ. සමරකෝන්

ඔබගේ අදහස අපට කියන්න

Close