ට්‍රම්ප් ලෝකයටම යහපතක් කරනු ඇතැයි ජ්‍යොතිෂ්‍ය කියයි

1946 ජුනි මස 14 දා පෙරවරු 10: 54 වන විට සිංහ ලග්නයේ අවසන් අංශකය උදා වී තිබිණ. ඒ බටහිර ප්ලැසිඩස් භාව කේන්දරය අනුව ය. මේ කේන්දරයේ රවි ග්‍රහයා වායු රාශියක් වූ මිථුනයේ සිටියදී එයින් 7 වැන්න වූ තේජෝ රාශියක් වූ ධනුවේ සඳු තැන්පත්ව සිටියේ ය. ඒ අනුව ශ්‍රී ලංකාවට නම් මෙදින පුර පසළොස්වක පොහෝ දිනයකි. ප්ලැසිඩස් භාව කේන්දරය අනුව ම ගත්විට මේ මොහොතේ උපන් පුද්ගලයාගේ කේන්දරයේ ගිනි සහ වායු රාශි ඉතා බලවත් ය.

එහෙයින් ඔහු ඉතා ක්‍රියාශීලී වේගවත් සහ අන් අය අභිබවා යන ජීවන ශෛලියකට උරුම කියයි. මොහු යුරේනියන් කාණ්ඩයට අයත්වන හෙයින් උන්නතිකාමියෙකි. දැඩි සිත් ඇත්තෙකි. යටත් නොවන්නෙකි. ආඥාදායකයෙකි. ඔහු උපන් ලග්නය තේජෝ බලයෙන් යුත් සිංහ රාශිය වන අතර එහි ගිනි කාරක සටන්කාමී කුජ තැන්පත්ව සිටී. අහස මුදුනේ රවි සහ යුරේනස් ය.

මොහු විසින් යම් දෙයක පෙරළියකට මුල පුරන්නේ නම් එය දැවැන්තව මහා පරිමාණයෙන් ම සිදු කරයි. එහෙත් ඔහු නම්‍යශීලීව කටයුතු කිරීමට ද අන් අයට සීමාසහිතව සවන් දීමට ද අත ගැසූ කටයුත්ත අවසානය දක්වා ම අත නො හැරීමට ද හපනෙකි. මොහුගේ කේන්දරයේ තේජෝ බලය 42. 7 % ක් වන අතර වායූ බලය 30.1 % කි. එනම් සමස්ථයක් වශයෙන් ඔහුගේ චරිතයේ 72. 8 % ක් ම වෙන් වන්නේ අධි ක්‍රියාකාරීත්වය සහ සටන්කාමීත්වය උද්දීපනය කිරීම සඳහා ය.

එකී ස්වභාවය පාලනය කිරීම සඳහා ඇති ජල සහ පඨවි බලය ඒ දෙකෙහිම එකතුවක් ලෙස ගත් විට 27.2 % කි. මොහු කෙබදු පුද්ගලයෙක් ද යන බව මෙයින් මොනවට පෙනේ. රවි – කුජ – යුරේනස් යන ග්‍රහයන් සමඟ රාහු ග්‍රහයාගේ ඇති සම්බන්ධය දකින විට තරමක් තැති ගන්වන සුළු ය. මේ ඔබ කියවමින් සිටින්නේ අමෙරිකා එක්සත් ජනපදයේ නව ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්ගේ කේන්දරයෙන් කියැවෙන ඔහුගේ චරිතයේ ස්වභාවය යි.

කෙනෙකු උපන් කේන්දරයෙන් කුමක් නිවේදනය කෙරුණත් ඒවා ප්‍රායෝගික වීමට නම් ඒ සඳහා උචිත ගෝචර ග්‍රහචාරය සකස් වීම අනිවාර්‍ය වේ. ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපතිවරයා ලෙස වැඩ බාර ගන්නා විට නිර්මාණය වන ග්‍රහචාරය කෙසේ දැයි බලමු. 2017 ජනවාරි 27 දා වන විට සෙනසුරු තම තිස් වසරක දුෂ්ට චක්‍රය හමාර කරමින් වෘශ්චිකයෙන් ධනු රාශියට පිවිසීම ලෝකයට ඉතා සුබදායක පරිවර්තනයකි.

එහෙත් වසර 7 ක කාලයක් මීන රාශියේ තැන්පත්ව සිටි යුරේනස් 2017 අප්‍රේල් 09 දා වන විට ගිනි කාරක මේෂ රාශියට පිවිසෙයි. මේ සිද්ධිය හට ගන්නේ ආසන්න වශයෙන් වසර 84 කට පසුවයි. මේෂය විශ්ව කේන්දරයේ ලග්නය වේ. එනම් මීට පෙර අවසන් වරට යුරේනස් මේෂයට පැමිණියේ 1932 වසරේදී ය.

ජර්මනියේ නාසිවාදය බලවත්ව ඉස්මතු වන්නට ගත්තේ 1932 දී වන අතර 1933 වන විට හිට්ලර් ජර්මනියේ ආඥාදායකයා ලෙස බලයට පත්විය. යුදෙව් සංහාරයට පසුබිම සකස් වූ අතර අයින්ස්ටයින් පරමාණු බෝම්බය පිළිබඳව මූලික ශක්‍යතා අධ්‍යයන ආරම්භ කෙළේ ද යුරේනස් මේෂ රාශියේ සිටියදී ය. යුරෝපය පුරා යුදමය පරිසරයක් නිර්මාණය වූ අතර ඒ ඉතිහාසය නිර්මාණය කිරීමට මූලික වූයේ මේෂයට පැමිණි යුරේනස් ය.

ඩොනල්ඩ් ට්‍රම්ප් අමෙරිකාවේ ජනාධිපති ධූරයට පත් වන්නේ යුරේනස් නැවත වරක් මේෂ රාශියට පැමිණෙමින් සිටියදී ය. ජ්‍යොතිෂය අනුව ඩොනල්ඩ් ට්‍රම්ප් ද යුරේනියන් කාණ්ඩයේ බලවත් පුද්ගලයෙකි. මෙබඳු පසුබිමක දෛවය විසින් එවැන්නෙකු ලොව සුපිරි බලවත් රාජ්‍යයේ නායකත්වයට ඔසවා තැබුවේ ඇයි? හිට්ලර්ගේ නාසිවාදයට එරෙහිව රුසියාව සහ අමෙරිකාව අත්වැල් බැඳ ගත්තේ ය. ඩොනල්ඩ් ට්‍රම්ප් ද රුසියාව වෙත සුහද හස්තය දිගු කරමින් සිටී. ඉතිහාසය පුදුමාකාර ය. යුරේනස් මේෂ රාශියේ ගත කරන වසර හතක කාලය ගිනි අවි පුපුරණ ද්‍රව්‍ය සහ මහ පරිමාණ යුදමය සූදානමක් පිළිබඳ ප්‍රබල නිමිත්තකි. එහෙත් එය සමස්ථ ලෝකයේ සුබ සිද්ධිය පිණිස සිදු වන්නකි.

මානව ශිෂ්ටාචාරයේ යහ පැවැත්ම විනාශ කරන්නා වූ අති අමානුෂික අන්තවාදය මූලධර්මවාදය කුමන ස්වරූපයකින් හිස ඔසවනු ලැබූවත් ශිෂ්ට සම්පන්න ලෝකය ඊට එරෙහිව අත්වැල් බැඳ ගනී. ඉතිහාසයේ දෛවය විසින් ඒ සඳහා උචිත ම පුද්ගලයන් තෝරා ගනී. ඩොනල්ඩ් ට්‍රම්ප් ද එසේ තෝරා ගත් ලෝක නායකයෙක් බව ජ්‍යොතිෂය අනුව ඉතා පැහැදිලිව ඔප්පු කෙරේ. ඔහු පිළිබඳව කුමන අදහස් පැතිර තිබුණ ද ඉතිහාසයේ දෛවය විසින් යථාවාදී තථාකාරී නියාමය අනුව සියල්ල පැහැදිලි කර දෙනු ලැබේ.

ඔබගේ අදහස අපට කියන්න

Close