සමනොළ අඩවියේ මැණික් සහ තවත් විස්මිත කතා

සිරිපා අඩවියේ මැණික් ගැරීමට යන අය පලා පිළි ගෙන යාමෙන් වැළකී සිටිති. ගමන යෑමට දින තුනක්වත් පලා පිළියෙන් වැළකී සිටීම සිරිතය. කිලිවලට හසු නොවී පිරිසුදුව සමන් දෙවියන්ගේ අඩවියට යා යුතු යැයි විශ්වාසයක් පවතින නිසා ඒ පිළිවෙත් අකුරටම පිළිපදිමින් සිටිති. මේ සිරිත් විරිත් නොපිළිපදින්නෝ ද නැත්තේ නොවේ. ඔවුනට ලැබෙන ප්‍රතිඵල ද එසේ ම ය. මේ එසේ කරවල සහ හාල් මැස්‍සන් ආහාරයට ගැනීමට රැගෙන ගිය මැණික් ගරන්නෝ නඩයකට වූ අකරතැබ්බයකි.

එම නඩය පස් දෙනෙකුගෙන් යුක්ත විය. වෙනත් නඩ මෙන් නොව මෙම පිරිස ගමනට පෙර පේවී පිරිසුදුවී‍මකින් තොර වූවා මෙන් ම ආහාරයට හාල්මැස්සන් සහ කරවල ද ගෙන ගියහ. ඔවුහු දහවල් ඉර මුදුන් වනවිට මහ පාඩිය නමැති ප්‍රදේශයට ගියෝ ය.‍ ඔවුහු ආරක්ෂාව ගැන සිතා ගහක් උඩ වාඩිය තැනීමට සූදානම් වූහ. ඒ අනුව පස් දෙනාට සිටීමට හැකි ආකාරයට වාඩිය තනන්නට පටන්ගති. එදින සුළුවෙන් සාදාගෙන රාත්‍රිය ගත කළ ඔවුහු පසුවදා වාඩිය තනා නිම කළහ. ගහ උඩ වාඩිය වෙත නැගීමට ඉණිමඟක්ද සාදා තිබුණි. බිම කෑම උයා පිහා ගහ උඩ වාඩියට ගැනීම කළහ. ගහ උඩ මැස්ස මත උයන පිහන වැඩ කිරීමට ඉඩ මදි විය. ඒත් තේ කහට ටිකක් සාදා ගැනීමට වතුර ටින් එක ළිප තැබීම සඳහා මැස්ස මත මැටි අතුරා තැනක් සකස් කර තිබුණි. මෙසේ සාදා ගත් මැස්සේ මුල් දවස් දෙකේ සිට තුන් වනදා පතලක් කැපීමට යෑමට සූදානම් විය.

ඔවුහු උදේ ආහාරය ගෙන දොළ අයිනේ වළක් කැපූහ.

වැඩි ගැඹුරක් නැති නිසා දහවල් වීමටත් පෙර ඉල්ලමට පෑදීමට හැකි විය. දහවල් ආහාරයෙන් පසු ඉල්ලම ගොඩ දැමීමට තීරණය කළ ඔවුන් වාඩිය වෙත ගියේ දිවා ආහාරය සකස් කර ගැනීමට අවශ්‍යව තිබූ බැවිනි. ගහ උඩ වාඩිය සකස් කළ ද ඔවුන් උයා පිහා ගැනීමට‍ බිම සූදානම් කර තිබුණි. එනිසා ඔවුන් එතැනට විත් බත උයා කරවල කෑල්ලක් තෙල් දමා ගත්හ. බිම සකස්කර තිබූ මැස්ස මත වාඩි වී කරවල බැඳුමක් සමඟ බත් අනුභව කර පැයක පමණ කාලයක් ගත වෙන්නට ඇත. වටින් පිටින් ගස්වල අතු බිඳන හඬක් ඇසෙන්නට විය. වට පිට බලන විට අලි රංචුවක් එන ආකාරය පෙනුණි. නඩය ගහ උඩ වාඩියට ගොඩ වූහ. අලි රංචුව වාඩිය යට සහ දොළ ළඟ සෙල්ලම් කරමින් දිය නාන්නට විය. හවස් වන තෙක් අලි එතැන ගැවසුණු බැවින් පතල් නඩයට අත පය සෝදා ගැනීමටවත් නොහැකි විය. ගහෙන් බිමට බැසීමට අලි රංචුව ඉඩ දුන්නේම නැත. රාත්‍රි ආහාරය සකස් කිරීමටවත් නොහැකිව එදින වාඩියට වී සිටි ඔවුන් උදේ ගසෙන් බැසීමට සූදානම් වන විට ඒ ළඟම අලියෙකු ශබ්ද කිරීම නිසා ගහ උඩම සිටීමට සිදු විය.

එදින දහවල් ද ඒ කිට්ටුවම අලි ගැවසීම නිසා පතල් නඩයට ගහෙන් බිමට බැසීමට නොහැකි බැවින් රාත්‍රියේත් ගහ උඩම සිටීමට සිදුවිය. ආහාර පිසීමක් ද නොකෙරුණි‍. පෙර වාසනාවකට මෙන් වාඩිය තුළ තේ සකස් කිරීමට වතුර උණුකර ගැනීමට හැකි විය. මෙසේ දින තුනක් ගහෙන් බිමට බැසීමටවත් ආහාර පිසීමටවත් නොහැකිව ගහ උඩ සිටි පතල් නඩයට විශාල අකරතැබ්බයකට මුහුණ දීමට සිදුවිය. දින තුනකට පසු ගහෙන් බැසීමට ඔවුනට හැකි විය. බිම තනා තිබූ මැස්ස මත වූ බත් මුට්ටියට පණුවන් ගසා සිටින බව ඔවුන්ට දකින්නට ලැබුණි. කරවල හා හාල්මැස්සන් ද කුණු වී පණුවන් ගසා තිබිණි. තවත් එහි සිටීමට අපහසු වූ එම පතල් නඩය එවෙලේම ඉතිරි බඩු මුට්ටු පොදි බැඳගෙන ගමට පැමිණියහ.

සිරිපා අඩවියේ හාස්කම් ගැන කතා කිරී‍මේදී මෙම පතල් නඩය පලා පිළි ගෙන ගිය නිසා ඔවුනට හිමයේ සිටීම නොහැකි වන ලෙසට වැඩ සිදු කෙරුණ බවත් මුට්ටි හට්ටිවල පණුවන් ගැසුවේ එනිසාම බවත් කුරුවිට හල්පේ එච්.ජී. රත්නසේකර මහතා කීවේ ය. මොන තරම් නුසුදුසු දෙයක් කළත් සබරගමුවේ මිනිසුන්ට සමාව දෙන සමන් දෙවියන් දරුණු දඬුවම් නොදෙන බවත් ඔහු කීවේ ය.

නඩයට ආපසු යෑමට ඉඟියක්

ඇහැළියගොඩ සහ කුරුවිට ප්‍රදේශවල අය සිරිපා අඩවියේ මැණික් ගැරීමට යෑමට පුරුදු වී සිටියෝ ය. වැසි නොපවතින කාලවල කැලෑවේ සිටීමට පහසු නිසාත් කූඩැල්ලන් ගෙන් වන කරදරය අවම නිසාත් එම කාලයේ පතල් කැපීමට හේතුව විය. රත්නපුර සිට දෙහෙනකන්දට ගොස් එතැනින් හිමයට රිංගන පතල් නඩ කැලෑවේ වාඩි තනාගෙන උයා පිහා කමින් සතියක් හෝ දෙකක් විසීම සිරිතකි. සතියක් පසු වීමට පෙර ලැබෙන මැණික ගෙන ගමට ඒම සිරිපා අඩවිය ගැන දන්නා අය කරති. එසේ නොදන්නා අය තවත් මැණික් ලබා ගැනීමට ගොස් අමාරුවේ වැටුණු අවස්ථා තිබේ.

අප ගම් ප්‍රදේශයේ නඩයක් සිරිපා අඩවිය තුළට වැදී මැණික් ගැරීම කළහ. ඔවුන් සිටිය ඉසව්ව හීන් පාඩිය නම් විය. ඊට තරමක් දුරින් මහ පාඩිය නමින් ප්‍රදේශයක් ද විය. මෙම ප්‍රදේශවලට නම් තැබුවේ කවුද කවදාද යන්න කිසිවෙක් නොදනිති. හීන් පාඩියේ කැලෑවට වැදුණු නඩය දොළ පාරට මදක් කැලෑවට වන්නට වාඩිය තනා ගති. බිම නිදා ගැනීමට වඩා සුදුසු බැවින් ලී කෝටු යොදා මැස්සක් තනා ගත්තේ නඩේ හතර දෙනාට නිදා ගැනීමට ප්‍රමාණවත් ලෙසට ය. මැස්සට ආසන්නයේ ම ගිනි මැලය දල්වන්නේ රාත්‍රියේ පවතින සීතලෙන් මිදීමට මෙන් ම වන සතුන්ගෙන් වන කරදර අඩු වීමට ය. හීන් පාඩියේ වාඩි තනාගෙන පතලක් හාරා ඉල්ලම් ගොඩ දමා ගැරීමට මෙම පිරිසට දින තුනක් ගත විය. තුන් වන දිනයේ දී ඉල්ලම ගරා නාම්බුව බලන විට රතු කැටයක් අතට ආවේ ය. මැණික් අතට ගත් නඩේ ගුරා වටපිට බැලුවේ කවුරුන් හෝ බලා සිටිනවා දැයි දැන ගැනීමට ය. එසේ කිසිවෙක් නැති බව දැනගත් ඔහු මැණික අහසට අල්ලා පරීක්ෂා කර බැලුවේ දෝෂ පළුදු ඇති දැයි දැන ගැනීමට ය. කිසිම දෝෂයක් නැති හොඳ රතු කැටයක් බව තේරුම් ගත් නඩේ ගුරාට සතුටුදායක සිනාවක් නැඟුණේ ය. නඩේ සියලු දෙනාගේ ම මුහුණු සතුටින් පිරී ගියේ ය. ඉල්ලම් සියල්ල ගරා ලැබුණු මැණික ගෙන වාඩියට ගොස් ඔවුන් කතිකා කෙරුවේ තව සතියකට වඩා හාල් තුන පහ බඩු තිබෙන බැවින් මෙම ඉල්ලමේ තව ටික දවසක් වැඩ කිරීමට ය. එසේ කතිකා කර ගත් ඔවුහු එදින රාත්‍රිය වෙනදා මෙන් ගත කළහ.

පසුවදා වෙනදා මෙන් ලොකු පතලක් හාරා ඉල්ලම් විශාල ප්‍රමාණයක් ගොඩ දැමීමට පටන් ගත් හ. දින දෙකක් තිස්සේ ඉල්ලම් ගොඩ දැමුවේ තවත් හොඳ මැණිකක් ලබා ගැනීමට ය. ඔවුන් දොළ පාර අයිනේ හෑරුව පතලේ ඉල්ලම් දොළ පාර අයිනේ ම ගොඩ ගසා තැබූහ. පසුවදා ඉල්ලම් ගැරීමට බලාපොරොත්තුව ඔවුන් නින්දට ගියේ වෙනදා මෙන් ගිනි මැලය හොඳට දල්වා තබමින් ය. රාත්‍රියේ දී කන්දක් නාය යනවා සේ ශබ්දයක් ඇහෙන්නට විය. නඩයේ හතර දෙනාම ශබ්දයට සවන් දුන්හ. එම ඝෝෂාව එන්න එන්නම වැඩි වී ළඟ ළඟම වගේ ඇසෙන්නට විය. එය ගල් ගස් පෙරළා ගෙන එන්නාක් වැනි ශබ්දයකි. ඔවුහු සැකයට විදුලි පන්දම දල්වා දොළ දෙසැ බැලූහ. ගල් පෙරළමින් විශාල ජල කඳක් දොළ දිගේ ගලා බසින ආකාරය පෙනුණි. ඔවුන් සිටිය ප්‍රදේශයට වැසි පොදක්වත් නොතිබුණි. ඒත් දොළ දෙගොඩ තලා යන ලෙසට වතුර ගැලුවේ ය.

පසුවදා උදයෙන් ම පෙර දින ගොඩ දැමූ ඉල්ලම් තිබුණු තැනට ගිය ඔවුන්ට ඉල්ලම් ගොඩ දැමූ තැනවත් සොයා ගැනීමට අපහසු විය. රාත්‍රියේ ගැලූ පිටාරය නිසා ඉල්ලම් ගොඩ සෝදා ගොස් තිබුණි. හාරා තිබූ පතල වැසී ගොසිනි. මේ නිසා තවත් පතල් කැපීමට සුදුසු නැති බව තේරුම් ගත් ඔවුහු ලැබුණු මැණිකෙන් සැනසී ගමට පැමිණියහ.

මෙම පතල් නඩය සමඟ කතා බහ කරමින් සිටියදී ඔවුන්ට තව දින දෙක තුනක් සිට පතලක් කපා ඉල්ලම් ගරා ඒමට තිබුණනේ යැයි මම කී විට සිරිපා අඩවියේ හාස්කම් හා අත්භූත බලවේග පිළිබඳව මනා දැනුමක් ඇති හල්පේ එච්.ජී. රත්නසේකර මහතා පැවසුවේ දොළ ගලා ඉල්ලම් සෝදා හැරියේ පතල් නඩයට ගමට ඒමට ඉඟියක් දෙමින් බවත් එය නොපිළිගෙන තවත් හිමයේ සිටියා නම් ඊට වඩා බරපතළ දඬුවමකට මුහුණ දීමට සිදුවන බවත් ය.

සෝමපාල මෙනේරිපිටිය

ඔබගේ අදහස අපට කියන්න

Close