ඩොනල්ඩ් ට්‍රම්ප්ට සුබ පතන්න හැදූ මහින්දගේ උත්සාහය වරදී

අලුත් දේශපාලන පක්ෂය පිහිටුවීම ගැන ඒකාබද්ධ විපක්ෂය නියෝජනය කරන ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ ඇතැම් මන්ත්‍රීවරු පවා දැනසිටියේ නැත. ඩලස් අලහප්පෙරුම මන්ත්‍රීවරයා අලුත් දේශපාලන පක්ෂය පිහිටුවීම ගැන දැනගෙන තිබුණේ එම පක්ෂය පිහිටුවීමෙන් පසුවය.
මහින්දගෙන් ට්‍රම්ප්ට සුබපැතුම් මහින්ද පසුගිය සතිඅන්තය ගතකළේ තංගල්‍ලේය. මැදමුලන ඩී.ඒ. රාජපක්ෂ පිළිරුව අසල පුෂ්‍පෝපහාර උත්සවයක් සංවිධානය කර තිබූ අතර එයට සහභාගි වීමට මහින්ද උදෑසනම මැදමුලන නිවසට ගියේය. එහිදී ඔහු එහි සිටි තරුණ පිරිස සමග කතාබහ කරමින් සිටින අතරවාරයේදී මැදමුලන නිවසේ අයෙකු මහින්දට කලින් දින ලැබුණ ලිපියක් අතට දුන්නේය. ලිපිය අතට ගත් මහින්දගේ මුහුණ වෙනස් විය.
“මොකක්ද සර් ලියුමේ තියෙන්නේ” මහින්දගේ මුහුණ වෙනස්වනු දුටු එතැන සිටි හිතවතෙක් මහින්දගෙන් ඇසුවේය.
“ඩී.ඒ. රාජපක්ෂට අයත් ඉඩමක් රජයට පවරා ගන්නවා කියලා තමයි ලියුමේ තියෙන්නේ. මේක නම් පුදුම පලිගැනීමක් නේ” මහින්ද කීවේ බැරෑරුම් බවක් මුහුණට ආරූඪ කරගනිමිනි.
ඒකාබද්ධ විපක්ෂයේ නායකයෝ මහින්දගේ විජේරාම නිවසට පසුගිය අඟහරුවාදා රැස්වුණේ ඉදිරි දේශපාලන කටයුතු සාකච්ඡා කිරීමටය. මහින්දානන්ද අලුත්ගමගේ මන්ත්‍රීවරයා මේ රැස්වීමට ආවේ ලොකු ලිපිගොනුවක්ද රැගෙනය. “මේකේ තියෙන්නේ මේ ආණ්ඩුවේ ඇමැතිවරු දහ දෙනෙක්ට විරුද්ධ මූල්‍ය අක්‍රමිකතා පිළිබඳ චෝදනා. මේවා එකිනෙක හෙළිකරන්න අපි සූදානම්” මහින්දානන්ද කීවේය.
“කෝප් කමිටුවේ වාර්තාවත් එක්ක ආණ්ඩුවේ පස්ස බිම ඇනුණා. අගමැතිවරයා බේරාගන්න මේ අය දන්න දහන්ගැට සේරම ගහනවා. හැබැයි වැඩක් නෑ” ප්‍රසන්න කීවේය.
මේ අතර ඇමෙරිකානු ජනාධිපතිවරණයෙන් ඩොනල්ඩ් ට්‍රම්ප් ජයගැනීමත් සමග මහින්ද ඔහුට දුරකථනයෙන් සුබ පැතීමට උත්සාහ ගත්තේය.
“මට ඇමෙරිකාවේ අලුත් ජනාධිපතිතුමා දුරකථනයෙන් සම්බන්ධ කරගන්න පුළුවන් ක්‍රමයක් සොයලා දෙන්න. මට සුබපතන්න ඕන” මහින්දගේ කීම අනුව ඔහුගේ හිතවතුන් ඩොනල්ඩ් ට්‍රම්ප් දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තේය. පැයක් පමණ දුරකථනයෙන් සම්බන්ධ කරගැනීමට උත්සාහ ගත්තද එය සාර්ථක වූයේ නැත. අවසානයේදී මහින්ද ෆේස් බුක් ඔස්සේ ට්‍රම්ප්ට සුබපැතුවේය.

ඔබගේ අදහස අපට කියන්න

Close