විනිසුරුගේ නිවස මුරකළ භූතයා අනද මෙත් හිමියන් හදුනාගනී

මගේ බිරියගේ පියා මියගොස් අවුරුදු විස්සකට කිට්ටුය. වත්තේගම සිට විහිදෙන ඇල්කඩුව පාරේ කඳුහෙල් – දියදහරා – තේවතු ගහන රමණීය පරිසරයක පිහිටි ඉඹුල්පිටිය ගම්මානයේ ඔහු ජීවත් විය. ඔහු රැකියාවෙන් සමූපකාර කළමනාකරුවෙකි. කමිසය හැඳ ගමනක දී කබාය අඳින ඔහු ගැමියන් හැඳින්වූයේ ලියන මහත්තයා නමිනි.

ඔහු නිතර පුවත්පත් කියවයි. ඔහුගේ අත්අකුරු මුද්‍රණය කරන අත්අකුරුවලට වඩා ලස්සනය. මා ඉඹුල්පිටිය ගිය විට අතීතයේ රසමුසු කතන්දර ජීවිතයේ ලද විවිධ අත්දැකීම් ඇසු දුටු සිද්ධි පැය ගණනක් විස්තර කරයි. ඉන් වැදගත් සමහර සිද්ධි සටහන් කර තැබීමට මම පුරුදු වූයෙමි.

පැරැණි පන්නයේ රටඋළු වැසු නිවසේ පුටුවක වාඩි වී සුරුට්ටුවක් දල්වාගෙන දුම් ගුලි පිට කරමින් ඔහු මා හා කතාවට වැටෙයි.

“මහත්තයා, අහල තියෙනවද අක්බාර් නඩුකාර තුමා ගැන?”

ඔහු කතාවකට මුල පුරයි.

“ටිකක් අහලා තියෙනවා. විස්තර දන්නෑ.”

“දැන් කාලෙකට ඉස්සර රටේ බොහොම ප්‍රසිද්ධ නඩුකාරතුමෙක් තමා අක්බාර් කියන්නෙ. බොහොම වැදගත් මුස්ලිම් කෙනෙක්. බොහොම පොහොසත් ප්‍රභූ පවුලකින් තමා පැවත ආවේ. සල්ලි බාගේ ඉඩකඩම් වස්තුව හරියට තිබුණා. පරම්පරා කීපයක පොහොසත්තු. ඒ වගේම පිටරට ගිහින් ඉගෙන ගෙන හොඳ දැනුමක් තිබුණු සමාජ සේවය, හොඳ වැඩ කරපු කෙනෙක් තමා එයා. උගත්කම වගේ ම ඒ කාලේ හිටපු බෞද්ධ, ක්‍රිස්තියානි, හින්දු, වගේ උගත් වැදගත් අයත් එයා ආශ්‍රය කළා. ලංකාව වගේ රටවල පාරම්පරිකව පිළිගෙන තිබුණු ආයුර්වේදය – නක්ෂත්‍රය – පැරැණි සිරිත් විරිත්වලට ගුරු කළා. ඒ අංශ දිහා උගත්කමෙන් කරුණු හෙව්වා. උගත්තුත් එක්ක ඒවා ගැන සාකච්ඡා කළා. තර්ක විතර්ක කළා. ඔය කාලේ බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ බොහොම උගත් – සිල්වත් – තැන්පත් නායක හාමුදුරු කෙනෙක් විදිහට මේ ප්‍රසිද්ධ වෙලා හිටියා. ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ පිරිසුදු බුද්ධාගම හොඳින් දැනගෙන හිටපු හින්දු ඉගැන්වීම් – වේද ග්‍රන්ථ – නක්ෂත්‍රය – නාඩි ශාස්ත්‍රය හොඳින් හදාරපු කෙනෙක්. උන්වහන්සේ කොළඹ වැඩිය ම අක්බාර් නඩුකාරතුමා හමුවෙන්න එනවා. දෙන්නා සතුටු සාමීචියේ යෙදිලා අදහස් හුවමාරු කරගන්නවා. නඩුකාරතුමා ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවන්ට දාන – මාන – ගිලන්පස පිරිනමනවා. දෙන්නගේ කතාබහ නොයෙක් මාතෘකා උඩ පැය ගණන් කෙරෙනවා.

“ඉතින්, මොකද වුණේ?” මම ඇසුවෙමි.

“අක්බාර් පරම්පරාව බොහොම පොහොසත් වගේ ම පරණ වංශවත්තු. ඒ අය සිටුවරු වගේ තමා ජීවත්වුණේ. පරම්පරාවෙන් ලැබුණු වස්තු පොත්පත් මැණික් යම් යම් තවත් ගුප්ත වස්තු නිවාඩු වේලාවල ඇද බැලීම අක්බාර් තුමාගේ සිරිතක් වුණා. එවැනි දෙයක් හමුවුණාම පැය ගානක් හරව හරවා සෝදිසි කිරීම පුරුද්දක් වුණා. එක නිවාඩු දවසක නඩුකාර තුමා උදේ තේ බීලා පුස්තකාල කාමරේ අද්දර තිබුණු නිතර ම වහල තිබුණු කාමරයක් අරගෙන ඇතුළු වුණා. ඒකේ වැඩි හරිය තිබුණේ පරම්පරාවෙන් ආපු වටිනා පුරා වස්තු. ඒවා සමහරක් පරම්පරා පහ හයක් පරණයි. අක්බාර් පරපුරේ ආරක්ෂකයා විදිහට රැකවල් කරන ආරක්ෂක භූතයෙක් ඉන්න බව අක්බාර් නඩුකාර තුමාට එයාගේ සීයා කියලා තිබුණු බව එයාට මතක් වුණා. අරාබි නිසොල්ලාසය කතාවේ එන විදියට ඒවා බොහොම පරණ අද්භූත අරාබි ගුරුකම්. අක්බාර් නඩුකාරයා අල්මාරියක ලාච්චුවක් ඇරියම ඒකේ රිදී තහඩුවක ලියලා තිබුණු අරාබි මන්ත්‍රයක් එක්ක මුද්දක් හමුවුණා. සීයා කියපු ගුප්ත මන්ත්‍රය අත්හදා බලන්න එතුමා හිතුවා. මුද්ද අල්ල මැදට අරගෙන රිදී තහඩුවේ තිබුණු අරාබි මන්ත්‍රය කීප වරක් කිව්වා. හිටපු ගමන් පරිසරය වෙනස් වෙන්න පටන් ගත්තා. හොඳට පායලා තිබ්බ ඉර අඳුරු වෙලා වැහි අන්ධකාරය වගේ දැනුණා. බාගෙට වහල තිබුණු කාමරයේ දොර – ජනෙල් තද හුළඟට අහුවෙලා ගස් ඇඹරෙනවා වගේ සටසට ගා ඇරෙන්න වැහෙන්න ඉහළට නැග්ගා. අද්භූත නුහුරු කටහඬක් දුමාරය මැදින් නඩුකාරතුමාට කතා කරනවා ඇහැව්වා.

“උඹ කවුද?” නඩුකාරයා තදින් ඇහුවා.

“මම ඔබතුමාලගේ පරම්පරාවේ ආරක්ෂකයා. ඔබතුමාගේ පරපුරේ ඉස්සර අය ආරක්ෂා කළේ මම. කාලෙකින් මට කතා කළේ නෑ. ඔබතුමාට ඕනෑ වේලාවක ආරක්ෂාව – රැකවරණය දෙන්න පුළුවන්. මට කතා කරන්න” දුම මැදින් ආපු කටහඬ කිව්වා.

“හොඳයි. අපේ පරම්පරාවේ ඉස්සර අය ආරක්ෂා කළා වගේ උඹ මාවත් ආරක්ෂා කරන්න ඕනෑ. මම ළඟදීම උඹට කතා කරලා රාජකාරියක් පවරනවා. ඒක අකුරට ඉෂ්ට කරන්ට ඕනෑ.” නඩුකාරයා කිව්වා.

“හොඳයි, මම ඒ ඉෂ්ට කරන්ට පොරොන්දු වෙනවා.” ඒත් එක්කම අද්භූත කටහඬ නැතුව ගියා.

නඩුකාරතුමා ගල් ගැහිලා ඔළුට අත තියාගෙන තනියම කල්පනා කරන්ට පටන් ගත්තා.

“එයාගේ සීයාගේ කාලෙන් පස්සෙ මේ පවුලේ ආරක්ෂක භූතයාගෙන් පරම්පරාවේ කවුරුත් උදවුවක් අරගෙන නෑ. අර අවට වෙනස් වෙච්චි පරිසරය ආයෙත් අලුත් වුණා. අඳුර මැකිලා ගිහින් ආලෝකය ආවා.”

“ඉතින්, සතියකට විතර පස්සෙ හොඳ සුබ වෙලාවක නිවාඩු දවසක නඩුකාරතුමා අර කාමරය ඇරලා අල්මාරියේ තිබුණු මුද්ද අතට අරගෙන රිදී තහඩුව බලාගෙන වාර ගණනක් මතුරලා ආයෙත් එදා වගේ ම මුළු පරිසරයම ආලෝකය මැකිලා අඳුරු ගතියක් වැටුණා. සුළි සුළඟකට අහුවුණා වගේ මිදුලේ ගස්වැල් – ගෙදර දොර – ජනෙල් වෙව්ලන්න පටන් ගත්තා. අල්මාරිය පිටුපස්සෙන් දුම් කඳක් ඉහළට නැඟුණා. දුමාරය මැදින් මිනිස් රූපයක් මැවුණා.

“ඔබතුමා මට කතා කළේ ඇයි?” ආරක්ෂක භූතයා ඇහුවා.

“උඹට අද කතා කළේ ඉස්තීරවම මට ආරක්ෂාවක් ලබාගන්ට…” “මොකද්ද මගෙන් කෙරෙන්න ඕනෑ ආරක්ෂාව?” භූතයා ඇහුවා.

“අද දැන් ඉඳලා උඹ මගේ ගේ ගේට්ටුව ළඟ රෑ දවල් මුර කරන්න ඕනෑ. මුරකාරයෙක් විදිහට රෑ දවල් ගේට්ටුව මුර කරලා මට බංගලාවට ආරක්ෂාව දෙන්න ඕනෑ.”

භූතයා එකඟ වුණා. එදා ඉඳලා තරුණ කොලු ගැටයෙක් විදිහට එයා වෙස් මවාගෙන ගේට්ටුව මුර කරනවා. නඩුකාර තුමා එනකොට ඒ පරම්පරාවේ කෙනෙක් එනකොට මුරකාරයා විශේෂ සැලකිලි – ආචාර සමාචාර විධි කරන්න පටන් ගත්තා. ඔහොම මාසයක් දෙකක් ගෙවිලා ගියහම දවසක් බළන්ගොඩ ආනන්ද මෛත්‍රෙය හාමුදුරුවෝ නඩුකාර බංගලාවට වැඩියා. කොලු ගැටයෙක් ගේට්ටුවේ මුර කරනවා. හාමුදුරුවෝ විනාඩි කීපයක් මුරකාරයා දිහාවේ බලාගෙන හිටියා. මොනවත් කතා කළේ නෑ. නඩුකාරතුමා හාමුදුරුවන්ට වැඳලා ආචාර සමාචාර කරලා කතාවට වැටුණා. මේ මුරට ඉන්න ඉලන්දාරියා ටිකක් අමුතු පාටයි… හාමුදුරුවෝ කටට හිනාවක් මවාගෙන කිව්වා… “ඔබ වහන්සේට ඒක තේරුණා ද?” නඩුකාරයා ඇහුවා. මොකද නැත්තෙ? මේ ඉලන්දාරියා මනුස්සයෙක් නෙමෙයි. ඇහිපිය ගහන්නෙත් නෑ. හෙවණැල්ලත් නෑ. වැඩි කතාබහක් නෑ”. හාමුදුරුවෝ කීවා. “ඇත්ත තමා අපෙ හාමුදුරුවනේ. අපේ පරම්පරාවේ තිබුණු රිදී තහඩුවක ලියපු පරණ මන්ත්‍රයක් මට ලැබිලා අත්හදා බැලුවා. මෙයා අපේ පවුලේ පරම්පරා කීපයක් ආරක්ෂා කරපු අරාබි භූත ආත්මයක්. මම තහඩුව අත්හදා බලපුවාම එයා ආවා. ඔබ වහන්සේට දැනුම තියෙන හින්දා අඳුනා ගත්තා. වෙන කාටවත් වෙනසක් පේන්නෑ…”

ලියන මහත්තයා කතාව අවසන් කළේය.(Silumina)

ඔබගේ අදහස අපට කියන්න

Close