දඹුල්ලේ විදුහලකට අරක්කැමියන් 4ක් හා කම්කරුවන් 25ක් පත් කරලා

අධ්‍යාපන අමාත්‍යාංශය මගින් දඹුල්ල මධ්‍ය මහා විද්‍යාලයට  අරක්කැමියන් හතර දෙනකු සහ කම්කරු පත්වීම් සදහා 25 දෙනකු එවා තිබෙන බව වාර්තාවනවා.

නේවාසිකාගාර පහසුකම් කිසිවක් නොමැති මෙම විද්‍යාලයට ලබාදී ඇති පත්වීම් පිළිබඳව විදුහල්පති රංජිත් දිසානායක මහතාගෙන් විමසීමේදී ඔහු පවසා සිටියේ එවැනි පත්වීම් තම විද්‍යාලයට ලබාදී ඇති බවයි.

විශාල කම්කරුවන් පිරිසක් සීමිත සිසුන් පිරිසක් සිටින පාසලකට එවීම හා මුළුතැන්ගෙයක් හෝ නොමැති පාසලකට අරක්කැමියන් හතර දෙනකු සේවයට එවීම පිළිබඳව විද්‍යාලයේ ගුරුවරු මවිතයට පත්වී සිටිනවා.

මෙසේ එවා ඇති කම්කරුවන් 25 දෙනාගෙන් 23 දෙනකුම කුලියාපිටිය ප්‍රදේශයේ පදිංචිකරුවෝ බව දැනගන්නට ඇති අතර සෙසු දෙදෙනා දඹුල්ල ප්‍රදේශයේ ප්‍රාදේශීය දේශපාලනය කරන අයකුගේ බිරිඳක් හා නෑදෑයකු බව ගුරුවරු අනාවරණ කළා.  අරක්කැමි තනතුර සඳහා කාන්තාවන් හා පිරිමින් දෙදෙනෙකු බැගින් පත්කර එවා ඇති බවද සදහන්.

මුළුතැන්ගෙයක් පවා නොමැති පාසලකට අරක්කැමි තනතුරු හතරක් හා විශාල කම්කරු පත්වීම් ලබාදීම පිළිබඳව අධ්‍යාපන ඇමති අකිල විරාජ් කාරියවසම් මහතාගෙන් විමසීමට ඔහුගේ ජංගම දුරකථනයට ඇමතුමක් ලබාගත් විට ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් බව කියූ රන්ජන් බණ්ඩාර මහතා කීවේ ඇමතිවරයා විශේෂ රැස්වීමක බවය.

 මේ සිද්ධිය ගැන දැනගැනීමට අවැසි බව දැන්වීමේදී කීවේ පත්වීම් පිළිබඳව ඇමතිවරයාගේ සම්බන්ධීකරණ ලේකම් දීප්ති පෙරේරා මහතාට කතා කර දැනගැනීමට හැකි බවයි.

ඉන් අනතුරුව ඒ මහතාගෙන් කළ විමසීමේදී කියා සිටියේ විද්‍යාලයේ ඉල්ලීම පරිදි විධිමත් ලෙස සම්මුඛ පරීක්ෂණ පවත්වා මේ පිරිස බඳවාගෙන ඇති බවයි. අරක්කැමියන් ඒවා ඇත්තේ ඉදිරියේදී මේ පාසල්වල නේවාසිකාගාර ඉදිකිරීමේ සැලසුම් කර ඇති නිසා බවයි.

 පත්වීමේ ලබාදීමේදී කුලියාපිටිය ප්‍රදේශයට විශේෂත්වයක් සිදුකර ඇද්ද යන්න පිළිබඳව ඔහුගෙන් කළ විමසීමේදී කියා සිටියේ එසේ විශේෂ වෙනසක් කර නැති බවත් සියල්ල බෙදී යන ආකාරයට පත්වීම් සිදුකර ඇති බවත්ය.(Ada)

ඔබගේ අදහස අපට කියන්න

Close