මෛත්‍රීගේ මල් වැස්ස හා වික්ටර්ගේ පොද වැස්ස

සිංහල, දමිළ හා මුස්ලිම් ජනතාව අතරේ තිබෙන සංහිඳියාව විනාශ කිරීමේ උත්සාහයක් මේ වන විට ක්‍රියාත්මක වෙමින් පවතින බව ජනාධිපති මෛත්‍රීපාල සිරිසේන මහතා ප්‍රකාශ කළා.
ඒ රාවය පුවත්පතට වසර 30ක් ගතවීම වෙනුවෙන් පැවැති උත්සවයේදීයි.
නව රජය ගෙනයන වැඩපිළිවෙළට බාධා කරමින් රජයට එරෙහිව දේශපාලන කුමන්ත්‍රණයක් ද පවතින බව පැවැසූ ජනාධිපතිවරයා එම කිසිදු කුමන්ත්‍රණයකට රට ගොඩනැගීමේ තම අරමුණ හා ධෛර්ය යටපත් කළ නොහැකි බවයි සදහන් කළේ.
පැවැති පාලනය පෙරළා දැමීමට නොබියව මුහුණ දුන්නේ තමන් බවත් ඉදිරියටත් රට ගොඩනැගීම සඳහා සහ ජනතාවට යහපත් සමාජ පරිසරයක් උරුම කර දීමට නොබියව පියවර ගන්නා බවත් මෛත්‍රීපාල සිරිසේන මහතා කියා සිටියා.
මෙහිදී අදහස් දක්වමින් රාවය උපදේශක කර්තෘ වික්ටර් අයිවන් මහතා පසුගිය  ජනාධිපතිවරණයෙන් පසු ජනතාව බලාරොත්තු වූයේ මහ වැස්සක් වුවත් ජනතාවට ලැබුණේ ‍පොද  වැස්සක් බව සදහන් කළා.
පිළිතුරු දෙමින් අදහස් දැක්වූ මෛත්‍රීපාල සිරිසේන මහතා ජනතාවට ලැබුණේ මල් වැස්සක් බවයි කියා සිටියේ.
19 වැනි ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා සංශෝධනය ඇතුළු රටට අවශ්‍ය දේශපාලන පරිවර්තන රැසක් ඇති කරමින් රටේ සියලු දෙනාගේ ප්‍රජාතන්ත්‍රවාදී අයිතිය තහවුරු කිරීමට ද කටයුතු කළ බව ජනාධිපතිවරයා සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close