ඉන්දියාවේ සල්ලි තහනමෙන් වන්දනාවේ ගිය ලාංකිකයින් 500ක් අර්බුධයේ

ඉහළ අගයකින් යුතු පැරණි මුදල් නෝට්ටු අවලංගු කර නව මුදල් නෝට්ටු නිකුත් කිරීමට ඉන්දීය ආණ්ඩුව ගත් තීරණය හේතුවෙන් ශ්‍රී ලාංකික වන්දනාකරුවන් විශාල පිරිසක් ඉන්දියාව තුල කොටුවී සිටිනවා.

විශේෂයෙන්ම මුදල් නෝට්ටු අවලංගු කිරීම නිවේදනය කරන අවස්ථාවේ ඉන්දියාවට පැමිණ සිටි විදේශිකයන් වෙනුවෙන් කිසිදු විශේෂ පහසුකමක් ඉන්දීය ආණ්ඩුව සම්පාදනය නොකිරීම හේතුවෙන් ඔවුන් සතු සියලු මුදල් අහිමි වන තත්ත්වයකුයි මේ වන විට නිර්මාණයවී ඇත්තේ.

මෙසේ ඉන්දියාවේ වන්දනා චාරිකාවල යෙදෙන බොහෝ දෙනා ඉතා දිළිඳු පවුල්වල සාමාජිකයන් වන අතර, ඇතැම් විට ඔවුන් එම චාරිකාවට එක්වන්නේ සිය දේපොළ පවා උකස් තබමින් බව රහසක් නොවේ.

කලු මුදල් වැලැක්වීමේ අරමුණින් ඉන්දීය රජයේ තීරණයට අනුව රුපියල් පන්සියයේ සහ දහසේ මුදල් නෝට්ටු විශාල ප්‍රමාණයක් සංසරණය වීම මේ වන විට සීමා කර තිඛෙනවා.

ඉන් අනතුරුව මතු වූ අර්බුදය හමුවේ ගනුදෙනුකරුවන් විසින් බැංකුවලින් ඉවත් කරගනු ලබන මුදල් ප්‍රමාණය සීමා කිරීමට දිල්ලි බලධාරීන් පියවර ගනු ලැබුවා.

දිනකට ඉන්දීය රුපියල් 2500 ක් දක්වා වූ මුදලක් පමණක් බැංකුවලින් හුවමාරු කෙරෙන අතර ස්වයංක්‍රීය මුදල් හුවමාරු යන්ත්‍රවලින් (ATM) ලබා ගත හැක්කේ රුපියල් 4500 දක්වා වූ මුදලක් පමණි.

ඒ සඳහා බැංකු සහ ATM යන්ත්‍ර අසල දිනපතාම පෝලිම් ගැසී සිටින නමුත් බැංකුවල සහ ATM යන්ත්‍රවල මුදල් ඉතා ඉක්මනින්ම අවසන් වීම ජනතාව මුහුණදෙන බරපතල ගැටලුවකි.

වන්දනා චාරිකාවක යෙදී සිට බදාදා දිල්ලි නුවරට ලඟා වූ ශ්‍රී ලාංකිකයන් 90 කින් සමන්විත නඩයක් මුදල් මාරු කරගැනීම පිණිස මහ කොමසාරිස් කාර්යාලයේ පිහිට පතා සිටියත්, ඔවුන්ට උපකාර කිරීමට තමන්ට ද  හැකියාවක් නොමැති බව තානාපති අංශ සදහන් කර තිබුණා.

ශ්‍රී ලාංකික වන්දනාකරුවන්ට සීමාවකින් තොරව සිය මුදල් හුවමාරු කරගැනීමට අවස්ථාව සලසා දෙන මෙන් දිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය ඉන්දීය ආණ්ඩුවේ ඉල්ලීමක් කර ඇති අතර, ඒ සම්බන්ධයෙන් ලබන සතිය වන විට ක්‍රියාමාර්ගයක් ගැනීමට හැකිවනු ඇතැයි ඉන්දීය ආණ්ඩුව දැනුම් දී තිඛෙනවා.

දිල්ලි නුවර පිහිටි ශ්‍රී ලංකා මහ කොමසාරිස් කාර්යාලය යටතේ පවතින විශ්‍රාම ශාලාවේ 225 දෙනකුට පහසුකම් තිබෙන අතර මේ වනවිට එම විශ්‍රාම ශාලාව වන්දනාකරුවන්ගෙන් පිරී ගොස් තිඛෙනවා.

දිල්ලි නුවර පමණක් මේ වනවිට 500 කට ආසන්න ශ්‍රී ලාංකික වන්දනාකරුවන් පිරිසක් දුෂ්කරතාවයන්ට මුහුණ දී සිටින බවයි බී බී සී ය වාර්තා කළේ. (BBC)

ඔබගේ අදහස අපට කියන්න

Close