දුවන ලෝකය තුල නොදුවන රහතන් වහන්සේලා

කාලය නැවතිලා තිබෙන්නේ. ඉර, හඳ, තාරකා දුවන පස්‌සේ, මනුෂ්‍යයා අතීත, අනාගත, වර්තමාන වශයෙන් බෙදාගෙන දුවනවා. නමුත් රහතන්වහන්සේ නැවතිලයි සිටින්නේ. ඒ නිසා උන්වහන්සේට මේ වේගය හොඳින් දැනෙනවා. දුවන ලෝකය තුළ නොදුවන චරිතයක්‌ බවට රහතන්වහන්සේ පත්වෙන්නේ එහෙමයි.

රූපය කෙරෙහි ඇති තෘෂ්ණාවයි අපිව මේ දිවීමේ තරගයට ඇද දමන්නේ. අවිද්‍යාව කියන ජවය, හඹායැමේ ශක්‌තිය අපට ලබාදෙනවා. දැන් ඉතින් දුවන්නයි තිබෙන්නේ. මේ දිවීමේදී ජය සහ පරාජය කියන කාරණාවන් දෙකම ලැබෙනවා. මේ ජය පරාජය කියන කාරණා දෙකත් රූපය අයිතිකොට ගැනීමේ තරගයේදී අපිම අයිතිකොටගන්නා සම්මුතීන් දෙකක්‌. අයිතිකරගත් තැනදී ‘ජය’ කියලා යොදනවා. අයිති නොකරගත් තැනදී ‘පරාජය’ කියලා යොදනවා. රහතන්වහන්සේ රූපය අයිතිකරගැනීමේ තරගයෙන් මිදිලයි සිටින්නේ. ඒ නිසා උන්වහන්සේ ජය පරාජයෙන් මිදිලයි සිටින්නේ. ජය පරාජයෙන් මිදුන තැන උන්වහන්සේලා විසින් මතුකොටගන්නේ සංසාර බිය නුවනින් මෙනෙහි කිරීම තුළින්මයි. ඒ නිසා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා දස දහස්‌ ගණනින් වියදම්කර, මාසයක්‌ ගානේ අවුරුදු සියයක්‌ යාග සිදුකරත්, සිත දමනය කරගත් රහතන්වහන්සේ එක මොහොතකට කරන පූජාව අවුරුදු සියයකට වැඩිය සිදුකළ යාගයන්ට වඩා ශේ්‍රෂ්ඨයි කියලා.

ආමිස දානයයි, ධර්ම දානයයි කියලා දෙකක්‌ තිබෙනවා. මේ දෙක අතරින් ධර්මදානයයි අග්‍රවෙන්නේ.

කෙනෙක්‌ තවත් කෙනෙකුට කරන අනුග්‍රහයන් දෙකක්‌ තිබෙනවා. එකක්‌ තමයි ආමිසයෙන් කරන අනුග්‍රහය. අනෙක තමයි ධර්මයෙන් කෙරෙන අනුග්‍රහය. මේ අනුග්‍රහයන් දෙකෙන්, ධර්මයෙන් කරන අනුග්‍රහයයි අග්‍රවෙන්නේ. ආමිසයෙන් කෙරෙන උපකාරයයි, ධර්මයෙන් කරන උපකාරයයි අතරින් ධර්මයෙන් කරන උපකාරයයි අග්‍රවෙන්නේ කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා.

ඊයේ සවස්‌ කාලයේ භික්‍ෂුව මුණගැහෙන්න තරුණ ස්‌වාමීන්වහන්සේනමක්‌ පැමිණියා. උන්වහන්සේ බොහෝම වීර්යවන්ත ස්‌වාමීන්වහන්සේ නමක්‌. නමුත් උන්වහන්සේ ඒ බවක්‌ හැඟවූයේ නැහැ. මේ වෙලාවේ උන්වහන්සේව සිහිපත්වෙනකොට, බුදුරජාණන්වහන්සේ උතුම් පැවිද්ද ගැන කියා තිබෙන දේශනාවක්‌ මතකයට පැමිණියා.

දෙවියන් අතර තුන් ආකාරයක කථාබහක්‌ ඇතිවෙනවා. යමෙක්‌ ගිහිගෙදරින් නික්‌මී, පැවිදි ජීවිතයකට පත්වීමට සිතනවානම්, ඒ වෙලාවේ දෙවියන් අතර දිව්‍ය කථාබහක්‌ ඇතිවෙනවා. මේ පුද්ගලයා මාරයා සමග යුද්ධ කරන්න සිතනවාය කියලා. මෙහෙම වෙලා, පැවිදිවුණාට පස්‌සේ දෙවියන් අතර කථා බහක්‌ ඇතිවෙනවාලු මේ භික්‍ෂුව මාරයා සමග යුද්ධ කරනවාය කියලා. තුන්වැනිව එම භික්‍ෂුව ප්‍රඥා විමුක්‌තිය සාක්‍ෂාත් කරගන්න වෙලාවේ දෙවියන් අතර දිව්‍ය කථාබහක්‌ ඇතිවෙනවාලු මේ භික්‍ෂුව මාර යුද්ධයෙන් දිනුවාය කියලා. උත්තරීතර නිවන් මාර්ගය තරණය කරන අවංක භික්‍ෂුවට දෙවියන් නමස්‌කාර කරනවාය කියලා බුදුරජාණන්වහන්සේ දේශනා කරනවා. පැවිද්දට සහ පැවිද්දේ උතුම් අර්ථයන්ට දෙවියන් නිරතුරවම වන්දනාකරනවා කියලා දේශනා කරනවා.

තමා තුළ ඇති උතුම් ශක්‌තිය මතුකොටගන්න අපි දක්‍ෂ වෙන්න ඕනේ.

භික්‍ෂුවක්‌ උතුම් සමාධියෙන් පසුවෙනකොට සවස 2 ට පමණ ආකාශය තුළ තමාට මීටර 150 ක්‌ පමණ උසින් තමා දෙස බලා සිටින බ්‍රහ්මයෙක්‌ දර්ශනය වෙලා තිබෙනවා. ආකාශය මත පලසක්‌ එලාගෙන එම පලස මත තමයි ඒ බ්‍රහ්මයා වැඩසිටියේ. පළස මත සිටගෙන සිටින ස්‌වභාවයෙන් බොහොම තැන්පත්ව භික්‍ෂුව දෙස බලාගෙන සිට තිබෙනවා. ඉනෙන් පහළට බොහොම ප්‍රභාශ්වර සුදු පැහැති වේට්‌ටියක්‌, උඩු කයට ප්‍රභාශ්වර සුදු පැහැති උතුරු සළුවක්‌ පැළඳගෙන සිටියේ බොහොම තැන්පත් ආකාරයෙන්. වැඩුණු සුදු හිසකෙස්‌වලින් යුක්‌ත වුනා. ආකාශයේ සිටගෙනම විනාඩි දෙකකට පමණ පසු උතුම් සමාධියෙන් දර්ශනය වූ මේ බ්‍රහ්මයා නොපෙනීගොස්‌ තිබෙනවා. මේ බ්‍රහ්මයාගේ ස්‌වරූපය මනුෂ්‍ය ස්‌වරූපයක්‌මයි. මේ බ්‍රහ්මයාට රූපාවචර, අරූපාවචර බ්‍රහ්මතලයක බ්‍රහ්මයකුගේ ලක්‍ෂණ නෙමෙයි තිබිලා තියෙන්නේ. භික්‍ෂුව මේ බ්‍රහ්මයා තුළින් දැක ඇත්තේ මාර්ගඵල ලාභී බ්‍රහ්මයකුගේ ස්‌වභාවයයි. එම භික්‍ෂුව උතුම් සමාධිය තුළින් මේ බ්‍රහ්මයාව දකිනකොට, එම දැක්‌කාවූ බ්‍රහ්ම රූපය දැක්‌කාය කියන තැනින් නතරකොට දැමීමයි සිදුකර තිබෙන්නේ. ඒ බ්‍රහ්ම රූපයත් ඒ මොහොතේම අට්‌ඨක සංඥාවෙන් දකින්න එම භික්‍ෂුව කටයුතුකොට තිබෙනවා. බ්‍රහ්මයාගේ රූපය තුළිනුත් ධර්මයමයි දැක්‌කේ.

ඊයේ සවස්‌ කාලයේ භික්‍ෂුව මුණගැසීමට පැමිණි තරුණ ස්‌වාමීන්වහන්සේනමක්‌ භික්‍ෂුවගෙන් ප්‍රශ්නයක්‌ විමසුවා. තමා තුළින් හොඳින් සමාධිය වැඩෙනවා. නමුත් විදර්ශනාව දෙසට හිත යොමුවෙන්නේ නැහැ කියලා. එම නිසා විදර්ශනාව ඇතිකොටගන්න හැටි පහදලා දෙන්න කියලා. දැන් බලන්න පෙර සඳහන් කළ බ්‍රහ්මයාගේ රූපය, භික්‍ෂුවක්‌ විසින් උතුම් සමාධියෙන් දකිනකොට එම භික්‍ෂුව සමාධිය තුළයි සිටියේ. නමුත් සමාධිය තුළින් බ්‍රහ්මයාගේ රූපය දකින මොහොතේම එම බ්‍රහ්මයාගේ රූපය දැක්‌කාය කියන තැනින් නතරකරගැනීමට දක්‍ෂවුණා. එම බ්‍රහ්මයාගේ රූපය ඒ මොහොතේම අට්‌ඨක සංඥාවෙන් දකින්න දක්‍ෂ වුණා. විදර්ශනාත්මක සිතක්‌ කියලා දෙයක්‌ නැහැ. විදර්ශනාත්මක සිතක්‌ සකස්‌වෙන්නේ අවම වශයෙන් සෝවාන් ඵලයට පත්වීමෙන් අනතුරුවයි. එතෙක්‌ අපි සිත විදර්ශනාවට යොමුකර ගත යුතුයි. පංච උපදානස්‌කන්ධය සකස්‌වෙන්නෙත් තමා තුළින්මයි. එම පංච උපාදානස්‌කන්ධය අනිත්‍ය වශයෙන් දැකිය යුත්තෙත් තමාමයි. ඒ කියන්නේ තමා තුළ තිබෙන දෙයක්‌ තමයි අපි ලෝකය තුළ සොයන්නේ. බ්‍රහ්මයා කියන රූපය තුළින් විදර්ශනා නුවන ඇතිකරගත්තේ තමාමයි. එහෙම නම් විදර්ශනා නුවන ඇතිකරගැනීමේ ශක්‌තිය තමා තුළයි තිබෙන්නේ. ඒ නිසා ලෝකය තුළ සොයලා වැඩක්‌ නැහැ.(maharahathunwadimagaosse)

ඔබගේ අදහස අපට කියන්න

Close