ඩෝල් සුපුරුදු සෙල්ලම් පෙන්නා ගොවිපලත් වහලා

ඩොල් සමාගම ත්‍රීකුණාමලයේ පවත්වාගෙන ගිය කෙසෙල් ගොවිපල වසා දමා හොර රහසේම පලා ගොස් ඇති බවට තොරතුරු වාර්තාවනවා.  ඊට එරෙහිව එහි කම්කරුවන් මේ විට විරෝධතාවයක් ආරම්භ කර ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.

කම්කරුවන්ට වන්දියක් ගෙවීමට හෝ කටයුතු නොකළ ඩෝල් සමාගම කිසිඳු දැණුම්දීමක් නොකර එම ගොවිපලෙන් ඉවත්ව යාමට කටයුතු කර ඇති නමුත් එහි තිබූ ලක්ෂ 80ත් කෝටියත් අතරේ වටිනාකමකින් යුත් යන්ත්‍රෝපකරණ තොගයක් හොර රහසේ ඉවත් කර ගැනීමට තැත් කර තිබුණා.එය දැනගත් කම්කරුවන් ගොවිපලේ ප්‍රධාන දොරටුවට අගුලු දමා එම යන්ත්‍ර රැගෙන යාමට ආ ලොරි රථය කොටු කර ගෙන තිබුණා. ඒ හේතුවෙන් ලොරි රථයට ඉන් පිටතට යාමට නොහැකි වී ඇති අතර කම්කරුවෝ ඊයේ සිට අඛණ්ඩව විරෝධතා පලකරමින් සිටිනවා.

මේ වනවිට සේවකයින් 100කට ආසන්න පිරිසක් මේ හේතුවෙන් අර්බුධයට ලක්ව සිටිනවා. ඔවුන් පිනර්කල් ඉංජිනියරින් සමාගමේ මිනිස්බල (මෑන්පවර්) සේවකයින් ලෙස කටයුතු කර තිබුණා. එහෙත් ඔවුන් සියලු දෙනාම පාහේ එම ගොවිපලේ දින 180ක් ඉක්මවා සේවය කර ඇති අතර ඔවුන්ගේ 80කට වැඩි පිරිසක් අවුරුද්දත් අවුරුදු තුනත් අතර කාලයක් සේවයේ නිරතව සිට තිබුණා.

ඩෝල් සමාගම මේ වනවිට එහි සියළු වගාවන් විනාශ කිරීම කටයුතු කර ඇති අතර එහි තිබූ යන්ත්‍රෝපකරණ ප්‍රමාණයක් රැගෙන ගොස් තිඛෙනවා.

මෙම අසාධාරණය සම්බන්ධයෙන් ත්‍රීකුණාමලය කම්කරු කාර්යාලයේ පැමිණිල්ලක් කිරීමටද එම කම්කරුවන් කටයුතු කර ඇති අතර ඩෝල් සමාගමේ මුදල් බලයට යට වූ පොලිස් නිලධාරීන් විටින් විට දුරකථන ඇමතුම් ලබාදෙමින් විරෝධතාවයේ නිරත සේවකයන්ව බියගැන්වීමට කටයුතු කරමින් සිටින බවයි වාර්තාවන්නේ.
අදාළ බහුජාතික සමාගම වෙනත් රටවල ක්‍රියාත්මක වන අවස්ථාවලද මෙවන් කටයුතු සිදුකර ඇති අතර ඒ හේතුවෙන් එම සමාගම මෙරටට පැමිණෙන අවස්ථාවේදීද පාර්ශව රැසක් ඊට විරෝධය පල කළා.
කෙසේ වෙතත් රටේ අවාසනාවට එවන් කණ්ඩායම්වලට මෙරටට ඇතුලුවීමට බලධාරීන් විසින් පහසුකම් සැපයීම කණගාටුදායක තත්ත්වයක් බවට පත්ව තිඛෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close