වකුගඩු ජාවාරමට සම්බන්ධ ප්‍රමුඛ පෙලේ වෛද්‍යවරුන් දෙදෙනා හෙළිවෙයි

වකුගඩු ජාවාරමට සම්බන්ධ ඉන්දීය ජාතිකයින් පස්දෙනා මන්නාරමේ පෙසාලේ පොලීසිය මගින් අත් අඩංගුවට ගෙන ප්‍රශ්න කිරීම්වලදී එම ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ පලමු පෙලේ වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධයෙන් වැදගත් තොරතුරු රැසක් හෙළි වී ඇතැයි මන්නාරම පොලීසියේ ජ්‍යෙෂ්ට නිලධාරියකු අනාවරණ කර තිබෙනවා.
මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයේ රදවා සිටියදී මෙම ඉන්දීය ජාතික සැකකරුවන් පස්දෙනා ඉන් පලාගොස් මන්නාරමේදී බෝට්ටුවක ආධාරයෙන් ඉන්දියාවට යාමට කටයුතු සලසුම් කොට තිබියදී ඔවුන්ව පොලිස් අත් අඩංගුවට පත්වූයේ පසුගිය නොවම්බර 10 වනදායි.
ඔවුන් පස්දෙනා පොලීසියට පවසා ඇති තොරතුරුවලට අනුව ඔවුන්ට මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයෙන් පලායාමට උදවු කොට ඇත්තේද වකුගඩු ජාවාරමට සම්බන්ධ ශ්‍රී ලංකාවේ වෛද්‍යවරූන් දෙදෙනා බවයි හෙළිවන්නේ.
ඉන්දියාවේ සිට මෙම වකුගඩු ජාවාරම මෙහෙයැවූ සුරේෂ් ප්‍රජාපතී නැමැත්තා සමග එක්වී වකුගඩු ජාවාරමට සම්බන්ධව අත් අඩංගුවට ගැණුනු ඉන්දීය ජාතිකයින් අට දෙනාම මිරිහාන රැදවුම් මධ්‍යස්ථානයෙන් පලායාම සදහා උදවු කළ එම වෛද්‍යවරුන් දෙදෙනා රැදවුම් මධ්‍යස්ථානයට ජංගම දුරකතනයක්ද යවා ඇතැයි හෙළිව තිබෙනවා.
ඉන්දීය ජාතිකයින්ට පලායාමටත් ඉන් පසුව අවශ්‍යතාවයන් වෙණුවෙන් මුදල් ලබාදීමටත් කටයුතු කොට ඇත්තේද එම වෛද්‍යවරුන් දෙදෙනා බව සැකකරුවන් පොලිසියට හෙළිකර තිබුණා.
පසුගිය 10 වෙනිදා මන්නාරම පේසාලේ පොලීසිය මගින් අත් අඩංගුවට ගත් ඉන්දීය ජාතිකයින් පස්දෙනාට කොළඹ සිට මන්නාරමට යාමටත් මන්නාරමේ සිට ධීවර බෝට්ටු හිමි ව්‍යාපාරිඅකයෙකු හරහා ඉන්දියාවට යැවීමට බෝට්ටු ගාස්තු ගෙවීමටත් මෙම වෛද්‍යවරුන් දෙදෙනා තැරැවුකාරයෙකු යොදමින් කටයුතු කර තිබෙනවා.
වෛද්‍යවරුන් දෙදෙනා මේ අන්දමට විශාල මුදල් ප්‍රමාණයක් වියදම් කරමින් ඉන්දීය සැකකරුවන් එරටට යැවීමට උත්සහ කරන්නේ එම වෛද්‍යවරුන් දෙදෙනා සම්බන්ධ වූ වකුගඩු ජාවාරමේ සියළු සාක්කි සගවා ගැනීමට යැයි පොලීසිය විශ්වාසය පල කලා.
නමුත් ඉන්දියාවේ නාගොන්දා පොලීසිය මගින් මේ සියළු විස්තර අනාවාරණය කරගෙන මෙම වෛද්‍යවරුන් දෙදෙනා ඇතුළුව ශ්‍රී ලංකාවේ වෛද්‍යවරුන් හය දෙනෙකුට එරෙහිව නඩු පැවරීමට ශ්‍රී ලංකා රජයෙන් සහාය ඉල්ලා තිබුණා.
මන්නාරමේ පොලිස් නිලධාරියා කියා සිටියේ සැකකරුවන් පස්දෙනා විසින් පොලීසියට ලබාදුන් තොරතුරු පොලිස් මුලස්ථානය වෙත යැවූ පසුව ඉන්දියානු පොලීසියෙන් ලැබී ඇති තොරතුරුද සමග සසදා බලා මෙම ජාවාරමට සම්බන්ධ වෛද්‍යවරුන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කිරීමට නියමිතව තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close