රට ගිනි තියන කුමන්ත්‍රණයක් ගැන රජයේ අවධානය

රට දේශපාලනිකව හා ආර්ථික වශයෙන් අස්ථාවර කිරීම අරමුණු කර ගත් වර්ගවාදී සිවිල් ගැටුම්කාරිත්වයක් රට තුළ ඇති කිරීමේ සැලසුම් සහගත කුමන්ත්‍රණයක් දියත් වෙමින් පවතින බව යුධ හමුදා බුද්ධි අංශය විසින් හෙළිදරව් කර තිබෙන බව දේශපාලන ආරංචි මාර්ග පවසයි. මෙසේ හෙළිදරව් වී තිබෙන තොරතුරු වල බරපතළකම හේතුවෙන් ජනාධිපතිවරයා ද අගමැතිවරයා ද මේ සම්බන්ධයෙන් අවධානය යොමුකර ඇති බව ද ඒ අනුව නුදුරේම මෙම තත්ත්වය වැළැක්වීම සඳහා දැඩි ක්‍රියාමාර්ග ගැනීම සිදුවනු ඇති බවත් එම ආරංචි මාර්ග වැඩි දුරටත් පෙන්වා දෙයි.

මෙරට සිටින ජාතිවාදී හා ආගම්වාදී සංවිධාන නායකයන් හා සම්බන්ධ රාජපක්ෂවාදී දේශපාලන නායකයන් කිහිපදෙනකු මෙම සැලසුම මේ වන විටත් පියවරෙන් පියවර ක්‍රියාවට නගමින් සිටින බවත් අනාවරණය වී තිබේ. එමෙන්ම මෙරට සිටින ප්‍රකට ව්‍යාපාරිකයන් කිහිපදෙනකු ද මෙම කුමන්ත්‍රණකාරී සැලසුම වෙනුවෙන් මූල්‍යමය සහාය දක්වන බව ද හෙළි වී ඇති අතර ජාත්‍යන්තර සම්බන්ධතා ජාලයක් ගැන ද තොරතුරු හෙළි වී ඇති බවත් එම ආරංචි මාර්ග සඳහන් කරයි.
ඒ අනුව ජාතිකත්ව සහ ආගමික මතවාද මූලික කර ගත් ගැටුම් රට පුරා ඇතිකර වත්මන් සම්මුතික ආණ්ඩුව අපේක්ෂා කරන දේශපාලන සහ ආර්ථික ප්‍රතිසංස්කරණ කඩාකප්පල් කර රාජ්‍ය පාලනයෙහි ජනාධිපතිවරයාත් අගමැතිවරයාත් අසමත් බව සමාජය තුළ තහවුරු කිරීම මෙහි මූලිකම අරමුණ වී ඇත. ඉදිරි 2020 ජනාධිපතිවරණය හා මහ මැතිවරණයේ දී බලය අත්පත් කර ගැනීම සඳහා රාජපක්ෂවාදීන් ගෙන යන වැඩපිළිවෙළෙහි ප්‍රධානතම මෙහෙයුම වී ඇත්තේ මෙලෙස රට අරාජික කිරීමය. එමෙන්ම ආණ්ඩුවට එරෙහිව දිගින් දිගටම දූෂණ වංචා චෝදනා එල්ල කිරීම ද ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයන් ලබා දීම මඟින් ආණ්ඩුව අස්ථාවර කළ හැකි බව පසුගිය කාලයේ සිදු වූ බැඳුම්කර සිදුවීමට අදාළව වූ ක්‍රියාවලිය මඟින් තහවුරු වීම නිසා ඉදිරියේ දී පදනම් විරහිත චෝදනා රැසක් ද නිර්මාණය කිරීමේ කටයුතු මේ වන විට ආරම්භ කෙරී ඇත. කෙසේ නමුත් වත්මන් ආණ්ඩුවේ සිටින දූෂිත ඇමැතිවරු කිහිප පොළකගේ ක්‍රියාකාරිත්වය රාජපක්ෂවාදීන්ට මහත් රුකුලක්ව ඇති බව ද පැවසේ.

මේ අතර සිංහල මුස්ලිම් ගැටුමක් වර්ධනය කිරීම සඳහා සමාජ මනෝභාවයන් නිර්මාණය කිරීම මේ වන විටත් විපක්ෂයේ දේශපාලකයන් කිහිප දෙනෙකුම ක්‍රියා කරමින් තිබේ. පසුගිය දා මුස්ලිම් විවාහ නීතිය වත්මන් ශිෂ්ට සම්පන්න සමාජ භාවිතයට ගැළපෙන සේ වෙනස් කිරීම සඳහා ආණ්ඩුව ගත් තීරණයට එරෙහිව තවුෆික් ජමාත් නම් ඉස්ලාමීය අන්තවාදී සංවිධානයක් මඟින් විරෝධතාවක් මතු කිරීමත් ඊට විශාල මාධ්‍ය ප්‍රචාරයක් ලබා දීම හා ඊට එරෙහිව සිංහල ජාතිවාදී කොටස් උසි ගැන්වීම ද සැලසුම්සහගතව සිදු කර තිබෙන බව ද අනාවරණය වී ඇත. ආබාධිත සෙබළුන් ලවා ජනාධිපති කාර්යාලය වැටලීම, උතුරේ කලබලකාරී වතාවරණයක් ඇති කිරීම, ආදිය ද මෙම මෙහෙයුමට අනුව සිදු වූවක් බවටත් තොරතුරු හෙළිව ඇත.

විශේෂයෙන්ම පසුගිය රාජපක්ෂ පාලන සමයේ දී මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ලෙස කටයුතු කළ බොදු බල සේනා, සිංහල රාවය, රාවණ බලය, හා මේ වන විට නිර්මාණය කර තිබෙන එවැනිම තවත් සංවිධාන කිහිපයක් හරහා මුස්ලිම් විරෝධය බරපතළ ලෙස මතු කිරීම නුදුරේදීම සිදුවිය හැකි බව ද බුද්ධි අංශ විසින් අනාවරණය කරගෙන තිබේ. මුස්ලිම්වරුන්ට එරෙහිව ප්‍රචණ්ඩකාරී ක්‍රියාවන් සිදු කිරීම මඟින් සාමකාමී මුස්ලිම් ජනතාව ද ගැටුමකට පොලඹවා ගැනීම මූලික අරමුණක්ව ඇත. නමුත් මේ වන විට මුස්ලිම් ජනතාව අතරින් ද මෙම ආගම්වාදී ව්‍යාපාරයන්ට එරෙහිව හඬක් නැඟීම මෙම උත්සාහය අඩපණ කිරීමට සමත්ව තිබුණ ද දිගින් දිගටම මුස්ලිම් විරෝධය ඇවිල වීම මඟින් කෙසේ හෝ ගැටුකාරිත්වයක් අවුළුවා ගැනීම මෙම කණ්ඩායම් හී උත්සාහය වී තිබේ. විශේෂයෙන්ම ඉදිරි මහ මැතිවරණය ආසන්න කාලය වන විට සිංහල-මුස්ලිම්, සිංහල-දෙමළ ගැටුමක් රට තුළ නිර්මණය කර රට අරාජිකත්වයට පත් කර අන් ජාතිකත්වයන් ත්‍රස්තවාදීන්ය, ඔවුන්ව මර්දනය කළ යුතුය, සිංහල බෞද්ධ නායකත්වයකට රට බාර දිය යුතු බවට වන මතයක් නිර්මාණය කිරීම මෙහි අවසන් අරමුණ ව තිබෙන බව මෙම බුද්ධි අංශ වාර්තා පෙන්වා දී ඇතැයි එම ආරංචි මාර්ග වැඩිදුරටත් පවසයි.

එමෙන්ම මෙරට තුළ අයි. එස්. අයි. එස් ත්‍රස්තයන් ද සිටින බවට තොරතුරු ප්‍රචාරය වූ අතර පසුගිය සිකුරාදා අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුවේ දී පවසා සිටියේ ශ්‍රී ලංකාවේ පවුල් 4ට අයත් පුද්ගලයන් 32 ක් සිරියාව බලා ගොස් අයි.එස් ත්‍රස්ත සංවිධානයට එකතු වී ඇති බවට තොරතුරු ඇති බවය. කෙසේ නමුත් මෙම හෙළිදරව් කිරීම ද සිංහල ජාතිවාදීන් උසි ගැන්වීමට හේතුවක් විය හැකි අතර එම සංවිධාන සාමාජිකයන් මෙරට තුළ ක්‍රියාත්මක වීම වැළැක්වීම සඳහා ආණ්ඩුව ගන්නා ක්‍රියාමාර්ග ආණ්ඩුව විසින් පැහැදිලි කළ යුතුව ඇත.

මෙරට සිංහල මුස්ලිම් ජනවර්ග අතර මීට වසර සියයකට පෙර එනම් 1915 දී ඇති වූ කෝලහලයෙන් පසුව බරපතළ ගැටුම්කාරිත්වයක් නොපැවතිණි. උතුරු නැගෙනහිර යුද්ධයෙන් පසුව රාජපක්ෂ පාලන සමයේ දී සිංහල-මුස්ලිම් ගැටුමක් නිර්මාණය කිරීම සඳහා ගත් උත්සාහය එම ජාතිවාදී සහ ආගම්වාදී කොටස්වලට අවශ්‍ය ජනතා සහයෝගය නොලැබී යාම මත ව්‍යර්ත වූ නමුදු මේ වන විට වඩාත් සංවිධානාත්මකව සාමාන්‍ය ජනතාව තුළ එකිනෙකා කෙරෙහි වෛරය ඇති කරවීම සඳහා මතවාද මෙහෙයුමක් දියත් කර ඇත.

මෙම කුමන්ත්‍රණකාරී ක්‍රියාවලිය සම්බන්ධයෙන් මේ වන විට ජනාධිපතිවරයා හා අගමැතිවරයා ද පූර්ණ දැනුම්වත්භාවයක සිටින බව ද ආණ්ඩුවේ දේශපාලන ආරංචි මාර්ග පෙන්වා දෙයි. ඒ අනුව ජාතිය හා ආගම පදනම් කරගෙන අන්තවාදී ලෙස ක්‍රියා කරන සියලු දෙනා තරාතිරම නොබලා වහාම අත්අඩංගුවට ගන්නැයි ජනාධිපතිවරයා හා අගමැතිවරයා පොලීසියට උපදෙස් දී ඇත. පසුගිය දා පොළොන්නරුවේ සිංහල අන්තවාදියකුත් තවුෆික් ජමාත් සංවිධානයේ අන්තවාදියකුත් අත්අඩංගුවට ගත්තේ ඒ අනුව බව පොලිස් ආරංචි මාර්ග පවසයි.

එසේම නුදුරේම මෙම ජාතිවාදී කොටස්වල ක්‍රියාකාරිත්වය අඩපණ කිරීම සඳහා නෛතිකමය ක්‍රියාමාර්ග කිහිපයක් ගැනීමට ද නියමිතය. ඒ අනුව ජාතිවාදයට හා ආගම්වාදයට එරෙහිව නව පනතක් ගෙන ඒමට ද මේ වන විටත් සූදානමක් ඇති බවත් 2007 අංක 56 දරණ සිවිල් හා දේශපාලන අයිතිවාසිකම් පිළිබඳ අන්තර්ජාතික පනත අනුව යමින් මෙම කුමන්ත්‍රණකරුවන්ට එරෙහිව පැමිණිලි ගොනු කර නීතිය ක්‍රියාත්මක කිරීමට ද තීන්දු කර තිබේ
සුභාෂ් ජයවර්ධන(Sathhanda)

ඔබගේ අදහස අපට කියන්න

Close