ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටු වාර්තා 6ක් පාර්ලිමේන්තුවට

නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සම්පාදනය කිරීම සදහා  ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයේ මෙහෙයුම් කමිටුව විසින් පත්කරන ලද අනුකාරක සභා 6ක වාර්තා 6ක් අද (19) ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කෙරුනා.

ඒ එම මෙහෙයුම් මණ්ඩලයේ සභාපති අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා විසින්.

ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලය කථානායක කරු ජයසූරිය මහතාගේ ප්‍රධානත්වයෙන් අද පෙරවරු 9.00 පාර්ලිමේන්තු සංකීර්ණයේදී රැස්වූ අතර එහිදී අනුකාරක සභා 6ක් විසින් සැකසූ වාර්තා අගමැතිවරයා විසින් ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා මණ්ඩලයට ඉදිරිපත් කර තිබුණා.

එහිදී ඉදිරිපත් කරනු ලැබුවේ පහත කමිටුවලට අදාළ වාර්තායි.මූලික අයිතිවාසිකම්  පිළිබඳ අනුකාරක කමිටුව,
අධිකරණය  පිළිබඳ අනුකාරක කමිටුව,
මූදල් පිළිබඳ අනුකාරක කමිටුව,
මහජන ආරක්ෂාව  පොලීසිය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ  අනුකාරක කමිටුව,
රාජ්‍ය සේවය ප්‍රතිසංස්කරණය කිරීමේ  අනුකාරක කමිටුව,
මධ්‍යම රජය හා පළාත් අතර සබඳතාවය පිළිබඳ අනුකාරක කමිටුවයි

ඉහත කාරණා සම්බන්ධයෙන් සොයාබැලීමට පත්කළ අනුකාරක සභා 6ට සියලු පක්ෂ නියෝජනය කරමින් මන්ත්‍රීවරුන් පත් කර තිබුණා.

‍අනුකාරක සභාවල වාර්තා ඉදිරිපත් කිරීමෙන් පසුව මේ ගැන අදහස් පළ කළ විපක්ෂනායක ආර්. සම්බන්ධන් මහතා පැවසුවේ නව ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාවක් සැකසීම සම්බන්ධයෙන් සකසන මූලික කෙටුම්පත පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක බහුතරයකින් සම්මත කළ  යුතු බවයි.

එසේම එය ජනමත විචාරණයකින්ද සම්මත කර ගත යුතු බව ඔහු එහිදී කියා සිටි අතර එම අවස්ථාවේ අදහස් දක්වමින් අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා ද විපක්ෂනායකවරයාගේ ප්‍රකාශය අනුමත කර තිබෙනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close