විමල් කුමාරද කොස්තා දිවි ගමන නිම කරයි

ප්‍රතිභාපූර්ණ ප්‍රවීන රංගන ශිල්පියකුවූ විමල් කුමාරද කොස්තා මහතා අද අභාවප්‍රාප්ත වුණා. ඒ මහතා මිය යන විට 68 වන වියේ පසුවුණා. මේ ඒ මහතා පිළිබද ලංකා ඒ නිවුස් තබන සටහනක්.

මෙරට අභිරූපණ රංග කලාවේ  (ART of MIME) පුරෝගාමියා විමල් කුමාර ද කොස්තා ලෙස හඳුන්වා දිය හැකි යැයි මම සිතමි. ‘පෙම්වතා’, ‘ඡායාරූප ශිල්පියා’, ‘චාලි චැප්ලින්’, ‘ඉණිමඟ’, ‘මඟියෙක්’, ‘ආදරේ වේදනා’ යන අභිරූපණ රංග ඔහුගේ විශිෂ්ට නිර්මාණ අතර වෙයි. ගාමිණී හත්තොටුවේගම, ආචාර්ය ධර්මසේන පතිරාජ, සරත් කැල්ලපත, බන්දුල විතානගේ විසින් මේ අභිරූපණ රංග රචනා කොට නිෂ්පාදනය කරන ලදී.

1948 දී කැලණියේ උපන් කොස්තා මූලික අධ්‍යාපනය ලැබුවේ කැලණිය ගුරුකුලයෙනි. ඔහු සමඟ එහි උගත් බොහෝ දෙනෙක් පසු කලෙක කලා ලෝකයේ දැවැන්තයෝ වූහ. මාලිනී ෆොන්සේකා, එච්. ඩී. ප්‍රේමරත්න, පතිරාජ එල්. එස්. දයානන්ද, ඩෙනල්ඩ් කරුණාරත්න, කුසුම් පීරිස්, ප්‍රේමවීර ගුණසේකර ඊට නිදසුන්ය.

‘අන්දරේ’, ‘යකාගේ කම්භල’, ‘සිත් පෙරළිය, ‘දියසේන’ වැනි ප්‍රාදේශීය මට්ටමේ නාට්‍යවල මුලින් රඟපෑ කොස්තා ප්‍රථම වතාවට ප්‍රසිද්ධ වේදිකාවට ආවේ ඒ. ජේ. සෙල්වදොරේගේ ‘ගොඩෝ එනකං’ නාට්‍යයෙනි. එය විකාර රූපී නාට්‍ය කලාවේ පුරෝගාමියකු වූ සැමුවෙල් බෙකට්ගේ ‘වේටිං ෆෝ ගොඩෝ’ නාට්‍යයේ පරිවර්තනයක් විය.

ඉන් පසු කොස්තා, සුගතපාල ද සිල්වාගේ ‘හිත හොඳ අම්මණ්ඩි’, නාමෙල් වීරමුණිගේ ‘නැට්ටුක්කාරි’, කරුණාරත්න ඩී. පිලිප්ගේ ‘පෙත්තප්පු රූං රූං’, එස්. කරුණාරත්නගේ ‘මළ කෝලං’, ධම්ම ජාගොඩගේ ‘කොරා සහ අන්ධයා’ (පිටපත ආචාර්ය ධර්මසේන පතිරාජ) පතිරාජ එල්. එස්. දයානන්දගේ ‘කවුරුත් එන්නේ නැහැ’, ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘පුටු’, සුගතපාල ද සිල්වාගේ ‘දුන්න දුනු ගමුවේ’ වැනි නාට්‍යවල විවිධ චරිත රඟපෑවේය. මෙයින් ‘කවුරුත් එන්නේ නැහැ’ හා ‘පුටු’ වැනි නාට්‍යවල ඔහු රඟපෑවේ මහලු චරිත වීම විශේෂත්වයක් විය.

එසේම මෙම නාට්‍ය දෙකේත් ‘කොරා සහ අන්ධයා’ වැනි නාට්‍යයකත් චරිත තිබුණේ දෙක තුනක් පමණක් බැවින් මුළු නාට්‍යයේම බර එහි නළු නිළියන් මත පැට වී තිබිණි. එහෙයින් එය එම නළු නිළියන්ට මහත් අභියෝගයක් වූ බව නිසැකය. දයා තෙන්නකෝන්, මානෙල් වීරමුණි වැනි නළු නිළියන් මෙන්ම කොස්තා ද ඉතාම සාර්ථකව එම අභියෝගය ජය ගත් බව කිව යුතුය.

‘දුන්න දුනු ගමුවේ’ නාට්‍යය කොස්තා ගේ රංග කලා ජීවිතයේ අතිශය වැදගත් අවස්ථාවකි. ඔහු 1973 වසරේ පැවති රාජ්‍ය නාට්‍ය උළෙලේ හොඳම නළුවා වූයේ මේ නාට්‍යයේ කළ චරිතාංග නිරූපණය වෙනුවෙනි.

‘අහස් ගව්වේ’ රඟපෑම් උදෙසා 1974 දී පැවති හත්වැනි විචාරක සම්මාන උළෙලේදී කොස්තාට ගෞරව සහතිකයක් හිමි වූයේය. එහි හේතු පාඨයේ මෙසේ සඳහන් කර තිබිණි.

‘රඟපෑමෙහිලා ප්‍රකට කර ඇති අසමසම ජීව ශක්තිය හා රංගන කුසලතාවයත් සැහැල්ලු බව හා බැරෑරුම් බව සංයෝජනයෙහිලා දක්වා ඇති සහජ හපන්කමත් හේතු කොට ගෙන ‘අහස් ගව්ව’ චිත්‍රපටයේ විමල් කුමාර ද කොස්තා ට පිරිනැමේ.’

කොස්තා සිනමාවට පිවිසියේ කෙටි චිත්‍රපට ඔස්සේය. ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘සතුරෝ’, ඇන්ඩෲ ජයමාන්නගේ ‘සිගරට් කොටය’ ඔහු රඟපෑ ප්‍රකට කෙටි චිත්‍රපට දෙකකි.

සිරිල් වික්‍රමගේගේ ‘සිහින ලොවක්’ කොස්තා රඟපෑ මුල්ම වෘත්තාන්ත චිත්‍රපටය වුවත් මුලින් තිරගත වූයේ ආචාර්ය ධර්මසේන පතිරාජගේ ‘අහස් ගව්ව’ යැයි මම සිතමි. මෙහි රැකියා නොමැති නන්නත්තාර තරුණයන් දෙදෙනාගෙන් එකකු (ගුණේ) ලෙසය, කොස්තා රඟපෑවේ. (අනිත් තරුණයා – විජේ ලෙස රඟපෑවේ අමරසිරි කලංසූරියය).

කොස්තා විශිෂ්ට චරිතාංග නිරූපණ ඉදිරිපත් කළේ ආචාර්ය පතිරාගේ සිනමාපටවලදීය. ‘අහස් ගව්ව’ හැරුණු කොට ‘එයා දැන් ලොකු ළමයෙක්’ (සිරිපාල), ‘බඹරු ඇවිත්’ (වීරසේන), ඊට උදාහරණය. ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ ඔහු රඟපෑවේ දුෂ්ට චරිතයක් වීම සුවිශේෂත්වයකි. ‘බඹරු ඇවිත්’ චිත්‍රපටයේ වීරසේන ඕනෑම නළුවකුට අභියෝගාත්මක චරිතයකි. එය අරාජික විප්ලවවාදියකුගේ චරිතයකි. කොස්තා ප්‍රගුණ කර තිබූ අභිරූපණ රංග ඔහු මෙහිදී ඉතාම උචිතාකාරයට යොදා ගත් බවක් පෙනෙන්ට තිබිණි.

සෙසු චිත්‍රපටවලදී ද කොස්තාට විවිධාකාර චරිත රඟපෑමේ අවස්ථාව ලැබිණි. ‘සාගරිකා’ හී කාරුණික ගම්පතියා, ‘මරුවා සමඟ වාසේ’ හී ලයනල්, ‘සරුංගලේ’ හී සයිමන් නමැති බේබදු ජාතිවාදියා, ‘ජීවිතයෙන් ජීවිතයක්’ හී සිරිදියෙස් නම් වූ සර්කස්කාරයා ඊට උදාහරණ කීපයකි.

කොස්තා ’සතර දිගන්තය’ චිත්‍රපටයේ රඟපෑවේ පදික වේදිකා අභිරූපණ ශිල්පියකුගේ චරිතයක් වීම විශේෂත්වයකි. ඊට හේතුව ඔහු අභිරූපණ රංග කලාවේ නිපුණයකු වීමයි. සනී නම් වූ මේ චරිතය පදික වේදිකාවේ චාලි චැප්ලින්, ක්ලින්ට් ඊස්ට්වුඩ් වැනි චරිත අනුකරණය කරමින් ජීවිකාව ගෙන යන්නෙකි.

කොස්තා දක්ෂ විකට නළුවෙක් ද වෙයි. එහෙත් පසු කලෙක ඔහු වාණිජ චිත්‍රපටවලදී යොදා ගැනුණේ හුදු කවටයකු ලෙස වීම කනගාටුදායකය.

කොස්තා ටෙලි නාට්‍ය කීපයක ද රඟපා ඇත. ‘හංස දඩයම’, ‘ගිගිරි වළලු’, ‘සඳලු තලයේ ගීතිකාව’ ඉන් කීපයකි.

‘අහස් ගව්ව’ චිත්‍රපටයට ලැබුණු ගෞරව සහතිකයට අමතරව කොස්තාට සම්මාන කීපයක්ම ලැබී ඇත. ‘සරුංගලේ’ හා ‘සතර දිගන්තය’ යන චිත්‍රපටවල රඟපෑම් සඳහා ජනාධිපති සම්මාන උළෙලේදී කුසලතා පදක්කම් දිනා ගත් ඔහු ‘එයා දැන් ලොකු ළමයෙක්’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා ඕ. සී. අයි. සී. සම්මාන උළෙලේ සජීවී සිනමාත්මක කුසලතා සහභාගිත්ව සම්මානයත් ‘උමයංගනා’ චිත්‍රපටයේ රඟපෑම් සඳහා ස්වර්ණ සංඛ සම්මාන උළෙලේ හොඳම සහාය නළුවා සඳහා වන සම්මානයත් දිනා ගත්තේය

ඔබගේ අදහස අපට කියන්න

Close