අයි එස් ප්‍රකාශය ජාතිවාදය වෙනුවෙන් නොවේ / අධිකරණ ඇමති

ශ්‍රී ලාංකිකයන් පිරිසක් සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානය සමග එක් වී ඇතැයි තමන් විසින් සිදු කරන ලද ප්‍රකාශය පිටුපස ජාතිවාදය ඇවිස්සීමේ උවමනාවක් නොතිබුණු බව අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා ඊයේ ප්‍රකාශ කළා.
ඒ මහනුවර දී මල්වතු අස්ගිරි මහනායක හිමිවරුන් බැහැදැකීමට පැමිණී අවස්ථාවේ මාධ්‍ය වෙත අදහස් දක්වමින්.

ශ්‍රී ලංකාවේ මුස්ලිම් ප්‍රභූ පවුල් හතරකට අයත් 32 දෙදෙනකු සිරියාවට ගොස් ඉස්ලාමීය රාජ්‍ය සංවිධානයට බැඳී ඇතැයි අධිකරණ කටයුතු පිළිබඳ අමාත්‍ය විජේදාස රාජපක්ෂ විසින් පසුගියදා පාර්ලිමේන්තුවේදී සිදු කරන ලද ප්‍රකාශය සම්බන්ධයෙන් මුස්ලිම් ප්‍රජාව නියෝජනය කරනු ලබන නායකයන්ගේ සහ දේශපාලනඥයන් කීප දෙනෙකුගේ විරෝධය පල වුණා.

ඇමතිවරයා පාර්ලිමේන්තුවේදී සඳහන් කළේ මීට වසරකට පෙර පළවූ මාධ්‍ය වාර්තාවකට අදාළ කරුණු බව පෙන්වා දෙන ශ්‍රී ලංකා මුස්ලිම් සභාව විසින් එම ප්‍රකාශය හඳුන්වනු ලැබුවේ ජාතිවාදීන්ට අනුබල ලබා දෙන ප්‍රකාශයක් ලෙසයි.

කරුණු සඟවා සිටීමෙන් ඇතිවිය හැකි භයානක තත්වය පිළිබඳ අවධානය යොමු කොට අයිඑස් කැරලිකරුවන් හා සම්බන්ධ කරුණු හෙළිදරව් කිරීමට පියවර ගත් බවයි ඇමතිවරයා සදහන් කළේ.

 ත්‍රස්ත ක්‍රියා මර්දනය කිරීමේ අරමුණින් විදෙස් රටවලට අයත් ජාත්‍යන්තර මට්ටමේ මාධ්‍ය පවා අයිඑස් සංවිධානයට බැඳුනු පුද්ගලයන්ගේ තොරතුරු ප්‍රසිද්ධියට පත් කරන කරන බවද විජේදාස රාජපක්ෂ මහතා සදහන් කළා.

කෙසේවෙතත් ශ්‍රී ලංකාව සම්බන්ධයෙන් වාර්තා කරන ඇතැම් වෙබ් අඩවි මගින් සිදු කරනු ලබන අසත්‍යය ප්‍රචාර හේතුවෙන් අධිකරණයේ ස්වාධීනත්වයට මෙන්ම අධිකරණය පිළිබඳ පවතින ජනතා විශ්වාසයට ද හානි සිදුවන බවයි ඔහු පෙන්වා දුන්නේ.

එම තත්වය ප්‍රයෝජනයට ගන්නා මාධ්‍යවේදීන් සුළු පිරිසක් පුවත් නිර්මාණය කරමින් මාධ්‍ය මාෆියාවක් ක්‍රියාත්මක කරන බවට ද අධිකරණ අමත්‍යවරයා එහිදී චෝදනා එල්ල කළා.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close