රාවය 30 වන සංවත්සරයේදී ප්‍රවීන මාධ්‍යවේදී වික්ටර් අයිවන් කළ සම්පූර්ණ කතාව

ලංකාව නිදහස ලබාගත්තේ පුනරුදය උදාකර ගැනීමකින් තොරවයි. නිදහස වෙනුවෙන් පෙනී සිටි අපේ නායකයන්ට ජාතික රාජ්‍යයේ හා ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩු ක්‍රමයේ යහපැවැත්මට අවශ්‍ය ජාතිය හා දියුණු සමාජයක් ගොඩනගා ගැනීමේ අවශ්‍යතාව පිළිබඳ නිරවුල් අවබෝධයක් තිබුණේ නැහැ. එහෙත් අපේ නායකයන්ට වෙනස්ව ඉන්දියානු නායකයන්ට එම අවශ්‍යතා දෙක පිළිබඳව හොඳ අවබෝධයක් තිබුණා. ඔවුන් තමන්ගේ නිදහස් අරගල ව්‍යාපාරය තුළ ජාතික රාජ්‍යය සඳහා අවශ්‍ය ජාතියක්, ප්‍රජාතන්ත්‍රවාදී ආණ්ඩුක්‍රමය සඳහා අවශ්‍ය නවීන සමාජයක් ගොඩනගා ගැනීමට සමත් වුණා.

අභ්‍යන්තර ගැටලු
ලංකාවට නිදහස ලබා දෙනවාට සුළු ජාතික නායකයන් කැමති වුණේ නැහැ. සිංහල, දෙමළ පීඩිත කුලවල නායකයන්ද නිදහස දෙනවාට කැමති වුණේ නැහැ. මේ දෙපිරිසම තමන්ගේ දුක්ගැනවිලි පළමුව ඩොනමෝර් කොමිසම වෙතත්, දෙවනුව සෝල්බරි කොමිසම වෙතත් ඉදිරිපත් කළා. ලංකාවට ඒ මොහොතේදී නිදහස ලබාදුනහොත් සිංහල මහ ජාතියේ ආධිපත්‍යයක් ඇතිවී සුළු ජාතීන් පීඩාවට පත්කරන තත්ත්වයක් ඇතිවිය හැකි බව සුළු ජාතික නායකයන් කියාසිටියා.
ලංකාවට නිදහස ලබාදුනහොත් ගොවිගම හා වෙල්ලාල ආධිපත්‍යයක් ඇතිවී තමන් පීඩාවට පත් කරන තත්ත්වයක් ඇතිවිය හැකි බව සිංහල, දෙමළ පීඩිත කුලවල නායකයන් කියාසිටියා. ජාතිය ගොඩනගා ගැනීමට අසමත්වීම තුළ ඒ වනවිටත් පුපුරනසුලු ප්‍රශ්න ඇතිවෙමින් තිබුණු බව ඉන් පෙනෙනවා.
ලංකාව නිදහස ලබාගත්තේ ඉන්දියාවට වෙනස්ව බහුජන සටන් ක්‍රියාමාර්ගයකින් තොරවයි. නිදහස ලබාගැනීමෙන් පසුද ජාතිය ගොඩනගා ගැනීමක් සිදුවුණේ නැහැ. ඒ නිසා ලංකා රාජ්‍යයේත්, ලංකා සමාජයේත් රෝද කැරකෙමින් තිබුණේ අවුල්සහගත ආකාරයකටයි. නිදහස ලැබී අවුරුදු 30කට පසුව, විටෙක කලින් කලද, තවත් විටෙක එක දිගටද ලංකාව ලේ හලන රටක් බවට පත්වුණා. මරණයට පත් නොවී ජීවත්වීමේ වාසනාව හිමිකරගත් මිනිසුන්ද ආධ්‍යාත්මික වශයෙන් මරණයට පත්වූ මිනිසුන් බවට පත්වුණා. එම අශීලාචාර චණ්ඩ මාරුතයට හසුවූ බොහෝ දේවල් විනාශ වුණා. විනාශ නොවී ඉතිරි වූ හැම දෙයක්මත් විනාශ නොවී ඉතිරි වූ හැම දෙයක්මත් විකෘති වූ හා ජරාජීර්ණ වූ දේවල් බවට පත්වුණා.
ප්‍රචණ්ඩ පැනනැඟීම් ආරම්භ වූයේ සිංහල දකුණෙන්. අවසන් වූයේ දෙමළ උතුරෙන්. එම ප්‍රචණ්ඩ රළ පහර අවසන් වන අවස්ථාව වන විට සමාජය පමණක් නොව රාජ්‍යයද, ආයතන ක්‍රමද ඒවාහි ප්‍රකෘති ස්වභාව අහිමි කරගනිමින් ජරාජීරණ තත්ත්වයකට පත්ව තිබුණා. ඒ තත්ත්වයෙහි ගැඹුරු වෙනසක් ඇති නොකොට ඉදිරියට යා නොහැකි තත්ත්වයකට ලංකාව පත්ව තිබුණා.

25 වන සංවත්සරය
රාවය සිය 25 වැනි සංවත්සරය පවත්වන ලද්දේ ලැබූ යුද ජයග්‍රහණයේ උද්දාමයෙන් සමාජය සිය ප්‍රකෘති සිහිය අහිමි කරගෙන සිටි අවස්ථාවකදී. එම සංවත්සර සභාවේ ප්‍රධාන අරමුණ වූයේ සමාජයේත් රාජ්‍යයේත් ඇතිවී තිබුණු ගරාහැලීම අවධාරණය කරමින් නව රටක් සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ ගැන කතා කිරීමයි. ජනාධිපති මහින්ද රාජපක්ෂ මහතාත් එම සංවත්සර කථිකාවට සහභාගි වුණා. විරුද්ධ පක්ෂයේ නායකයා වශයෙන් රනිල් වික්‍රමසිංහ මහතාත්, දෙමළ සන්ධානයේ නායකයා වශයෙන් සම්බන්දන් මහතාත් එම කථිකාවට සහභාගි වුණා. කථිකයන් වශයෙන් සම්බන්ධ වුණේ නැතත් එකල සෞඛ්‍ය ඇමතිව සිටි මෛත්‍රීපාල සිරිසේන මහතාත් මාදුළුවාවේ සෝභිත හිමියනුත් ඒ අවස්ථාවට සහභාගි වුණා.
ඉන් වසර 5කට පසුව පවත්වනු ලබන 30 වැනි සංවත්සරයේදීත් අපට කතා කරන්නට සිදුවී තිබෙන්නේ සම්පූර්ණ කරන්නට අසමත් වූ එම මාතෘකාව ගැනයි. රාජපක්ෂ ජනාධිපතිවරයා අභ්‍යන්තර යුද්ධය ජයගැනීමට සමත් වුවත් ජරපත් තත්ත්වයකට පත්ව තිබූ සමාජය හා රාජ්‍යය එම තත්ත්වයෙන් ගොඩගැනීමේ අවශ්‍යතාව මුළුමනින් නොසලකා ක්‍රියාකිරීම නිසා ලංකාවේ අර්බුදය උග්‍රවී පසුගිය ජනාධිපතිවරණයෙන් පරාජයට පත්වුණා.
යහපාලන ආණ්ඩුව බලයට පත්වන්නේ එහි ප්‍රතිඵලයක් වශයෙන්. රාජපක්ෂ පාලනය පරාජය කිරීමට දායක වූ දේශපාලන බලවේගයන් අතර රාජපක්ෂ පාලනය පරාජය කිරීමේ සීමිත අරමුණ සඳහා ශක්තිමත් පොදු එකඟතාවක්ද, ඒ සඳහා වන ලොකු අධිෂ්ඨානයක් හා සමඟියක්ද තිබුණා.
එහෙත් මහින්ද රාජපක්ෂ පරාජය කිරීමේ අරමුණ ජයගැනීමෙන් පසු ජයග්‍රාහකයාට ලංකාවේ අර්බුදය ජයගැනීම සඳහා වන පිළිගත් ශක්තිමත් දර්ශනයක් තිබුණේ නැහැ. සීමිත අරමුණ ජයගැනීමෙන් පසුව එතෙක් පැවති සමඟිය හා ඒකාග්‍රතාව විශාල ප්‍රමාණයකට බිඳවැටී අභ්‍යන්තර වශයෙන් කුළල් කාගන්නා ව්‍යාපාරයක් බවට පත්වුණා. එම තත්ත්වය ආණ්ඩුවේ ශක්තිය දුර්වල කළා. ආණ්ඩුව බලයට පත්කිරීමට දායක වූ ජනතාව අතර පැවති උද්යෝගය හා ප්‍රබෝධයද මලානික කළා. එම තත්ත්වය පරාජිත බලවේගයන් ශක්තිමත් කිරීමට හේතුවුණා.

අපේක්ෂා බිඳවැටීම
ජනතාව බලාපොරොත්තු වුණේ ලොකු මොර සූරන වැස්සක්. එහෙත් ආණ්ඩුවට ලබාදීමට හැකිවී තිබෙන්නේ පොද වැස්සක් පමණයි. ආණ්ඩුව බලයට පත් කළ ජනතාව අතර ප්‍රබෝධයක් වෙනුවට ඇත්තේ ලොකු කලකිරීමක්. මහජනයාගේ කරපිට උපරිම බර පටවන අතර මැති ඇමතිවරුන් හා පාර්ලිමේන්තු මන්ත්‍රීවරුන් සඳහා උපරිම මට්ටමකින් වරදාන ලබාදෙන ප්‍රතිපත්තිය මහජන කලකිරීම කෙරෙහි බලපා තිබෙන ලොකුම සාධකය ලෙස සලකන්න පුළුවන්. යහපාලන ආණ්ඩුවේ නායකයන් පාර්ලිමේන්තු නියෝජිතයන්ගේ කෑදරකම පාලනය කිරීමට අසමත්ව තිබෙන බව ඉන් පෙනීයනවා.
පරණ ආණ්ඩු කාලයේ සිදුවූ වංචා දූෂණ හා සාහසික අපරාධ ගැන සොයාබලන පිළිවෙත මුලදී මහජනයාගේ උද්යෝගයට හේතුවී තිබුණා. දැන් එයද මලානික දෙයක් බවට පත්වෙලා. සංහිඳියාව තිබෙන්නේද ප්‍රබෝධමත් ගමනක නොව එක තැන පල්වෙන තත්ත්වයකයි. යුද්ධයකදී හෝ ප්‍රචණ්ඩ සටනකදී මිනිසුන් උත්තේජනය කිරීම සඳහා වෛරය සමඟ ලේ අවශ්‍ය වෙනවා. එහෙත් සංහිඳියාවේදී උත්තේජන බලය ලෙස ක්‍රියාකරන්නේ පශ්චාත්තාපය සමඟ කඳුළුයි. සංහිඳියාව පිළිබඳ විෂයයේදී රාජපක්ෂ ආණ්ඩුවට තිබුණේ ගොරෝසු රළු පරලු ආකල්පයක්. ඊට වෙනස්ව යහපාලන ආණ්ඩුවට මටසිලිටු ආකල්පයක් ඇතත්, ආණ්ඩුවේ සංහිඳියා වැඩසටහන්වල පශ්චත්තාපය සමඟ කඳුළු තිබෙන බවක් නම් පෙනෙන්නට නැහැ. යහපාලන ආණ්ඩුව කිසිවක් කර නැති ආණ්ඩුවක් බව ඉන් අදහස් වන්නේ නැහැ. වැදගත් දේවල් කර ඇතත්, එය ප්‍රමාණවත් නැහැ. ලංකාව මුහුණ දී තිබෙන්නේ පුංචි අර්බුදයකට නොව දැවැන්ත අර්බුදයකටයි.
දුර්වල තත්ත්වයකට වැටී සිටින ආණ්ඩුවට නැවත ශක්තිමත් තත්ත්වයක් හිමිකරගත හැකිවනු ඇත්තේ තමන්ගේ අතීත ක්‍රියා දෙස අවංකව හා විවේචනාත්මකව ආපසු හැරීබලන තැනකට යමින් මහජනයා අතර ලොකු ප්‍රබෝධයක් ඇතිකිරීමට හේතුවන ප්‍රාතිහාර්යයක් බඳු දෙයක් කිරීමට සමත් වේ නම් පමණයි.
ඕනෑම ප්‍රතිසංස්කරණ වැඩසටහනක් තුළ අධිකරණයටද සුවිශේෂ වැදගත්කමක් හිමිවෙනවා. නව අණපනත් සඳහා සේ ම නව ව්‍යවස්ථාවක් සඳහා ද අධිකරණ අනුමැතිය අවශ්‍ය වෙනවා. ප්‍රතිසංස්කරණ වැඩසටහන් පවත්වාගෙන යෑමේදීද අධිකරණය වැදගත් කාර්යභාරයක් ඉටුකරනවා. අපේ අධිකරණය තිබෙන්නේ ඒ වගකීම් ඉටුකළ හැකි තැනකද? අශීලාචාරත්වයේ චණ්ඩ මාරුතයට හසුවී බොහෝ දේ විනාශ වූ බව හා ඉතිරි වූ හැම දෙයක්මත් ජරපත් වූ බව මා මීට කලින් සඳහන් කළා. ඒ තත්ත්වය අධිකරණය කෙරෙහිද බලපෑවා. මහජනයාගේ විශ්වාසයට හා ගෞරවයට හේතුවූ හොඳ අධිකරණයක් අතීතයේදී අපට තිබුණා. ඒ තත්ත්වය වෙනස් වී අධිකරණයද දේශපාලන අතකොළුවක් බවට පත්වුණා. ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කළයුතු අධිකරණය ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව උල්ලංඝනය කරන තත්ත්වයකට පත්වුණා.
ප්‍රවීණ සිනමාකරුවකු වූ ප්‍රසන්න විතානගේ ‘උසාවිය නිහඬයි’ යන තේමාව යටතේ නිපදවන ලද චිත්‍රපටයක් දැන් සිනමාශාලවල ප්‍රදර්ශනය කෙරෙනවා. එම චිත්‍රපටය මගින් ප්‍රසන්න අධිකරණ පරිපාලනය විසින් යුක්තිය ඉටුකිරීමකින් තොරව වළදමා තිබූ මහා අපරාධයක් මහජනයාගේ දැනගැනීම සඳහා ගොඩදමා තිබෙනවා. එය ප්‍රබන්ධයක් නොවෙයි, සත්‍ය කතාවක්. රාවයේ කතාවක්. මෙම නිශ්චිත සිද්ධියේදී රාවයට අධිකරණ පරිපාලනය සමඟ ලොකු ගැටුමක් ඇතිකර ගන්නට සිදුවුණා. මෙම කතාවේ එන මහේස්ත්‍රාත්වරයා තමන් ඉදිරියේ ඇසෙන නඩු දෙකකට සම්බන්ධ කාන්තාවන් දෙදෙනෙක් අවස්ථා දෙකකදී දූෂණය කර තිබුණා. ඔහු අධිකරණ සේවයට එකතු වී තිබුණේ තමන්ගේ වංචනික ඉතිහාසය වසන් කරමින්. ඔහු ශ්‍රී ලංකා රක්ෂණ සංස්ථාවේ සේවය කරමින් සිටියදී, තුන්වැනි පාර්ශ්වයේ හිමිකම් වංචා කිරීමේ සිද්ධියක් මත සංස්ථා සේවයෙන් පහ කරනු ලැබූ පුද්ගලයෙක්.

ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්
මෙම මහේස්ත්‍රාත්වරයාගේ පළමු ස්ත්‍රී දූෂණ සිද්ධිය ගැන රාවය වාර්තා කිරීමෙන් පසුව නීතිපතිගේ උපදෙස් මත මහේස්ත්‍රාත්වරයා කරන ලද පැමිණිල්ලකට අනුව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව පරීක්ෂණයක් ආරම්භ කළා. ඒ සඳහා මගෙන්ද කටඋත්තරයක් ලබාගත්තා. දූෂණයට ලක්වූ කාන්තාවන්ගෙන්ද කටඋත්තර ලබාගත්තා. මෙම මහේස්ත්‍රාත්වරයා රක්ෂණ සංස්ථාවේ සේවයේ යෙදී සිටියදී හිමිකම් වංචාවක් මත සේවයෙන් පහකරන ලද පුද්ගලයකු බවට මා කර තිබූ චෝදනාව සත්‍යයක් බව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණයේදී සොයාගනු ලැබුවා. අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව එම පරීක්ෂණය අවසන් කිරීමෙන් පසුව වැඩිදුර උපදෙස් ලබාගැනීම පිණිස පරීක්ෂණ වාර්තාව නීතිපති වෙත යවනු ලැබුවා.
ඒ කාලයේ නීතිපති ධුරයේ සිටියේ සරත් සිල්වා මහතායි. නීතිපති හා මෙම මහේස්ත්‍රාත් අතර ළඟ සම්බන්ධයක් තිබුණා. ඒ නිසා නීතිපති මෙම පරීක්ෂණ වාර්තාව යටපත් කළා. මා ඒ ගැන එවකට සිටි අධිකරණ ඇමතිවරයාට පැමිණිලි කළා. අධිකරණ ඇමති ඒ ගැන නීතිපතිගෙන් කරුණු විමසීමක් කළා. නීතිපති එම වාර්තාවේ එන සත්‍ය කරුණු වසන් කෙරෙන ආකාරයට සකස් කළ රහස්‍ය වාර්තාවක් අධිකරණ ඇමතිට ලබා දුන්නා. ඉන්පසු එම මහේස්ත්‍රාත්වරයාට එරෙහිව පමණක් නොව නීතිපතිට එරෙහිවද නීතිපතිට සම්බන්ධ නඩුවක් ඇසූ තවත් දිසා විනිසුරුවරයකුට එරෙහිවද ප්‍රසිද්ධ චෝදනා කරන තැනකට ගියා.
මාගේ එම හඬනැගීම නොකඩවා කෙරෙන හඬනැගීමක් වීම නිසා නීතිඥ සංගමයට ඒ ගැන අවධානය යොමුකරන්නට සිදුවුණා. ඒ කාලයේදී නීතිඥ සංගමයේ සභාපති ලෙස ක්‍රියාකළේ රොමේෂ් ද සිල්වා මහතා. මේ තිදෙනාට එරෙහිව මා එල්ලකරන ප්‍රසිද්ධ චෝදනා සම්බන්ධයෙන් කුමක් කළයුතුදැයි උපදෙස් ලබාගැනීම සඳහා සංගමයේ සභාපතිවරයා සංගමයේ හිටපු සභාපතිවරුන්ගේ රැස්වීමක් කැඳවූවා. එම සභාපතිවරුන්ගේ සම්මේලනය ප්‍රශ්නය සාකච්ඡාවට ලක්කිරීමෙන් පසුව නිර්දේශ තුනක් අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කළා. මා චෝදනා කරන විනිසුරුවරුන් දෙදෙනා පිළිබඳව පළමුවෙන් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත්, එම චෝදනා සනාථ වුවහොත් නීතිපති පිළිබඳවත් පරීක්ෂණයක් පැවැත්විය යුතු බවත් ඔවුන් අගවිනිසුරුට නිර්දේශ කළා.
එම සම්මේලනය අගවිනිසුරුවරයා වෙත ඉදිරිපත් කරන ලද තවත් නිර්දේශයක් වූයේ විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ලකර තිබෙන චෝදනා සනාථ කිරීමට මා අසමත් වෙතොත් මට එරෙහිව දැඩි දඬුවම් දෙන ප්‍රතිපත්තියක් අනුගමනය කළ යුතු බවයි.
එහි ප්‍රතිඵලයක් වශයෙන් විනිසුරුවරුන් දෙදෙනාට එරෙහිව මා එල්ලකර තිබෙන චෝදනා පරීක්ෂා කිරීම සඳහා අභියාචනාධිකරණ විනිසුරුවරුන්ගෙන් සමන්විත පරීක්ෂණ කමිටු දෙකක් අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා මහතා පත්කරනු ලැබුවා.
ස්ත්‍රී දූෂණ චෝදනා එල්ලවී තිබුණු මහේස්ත්‍රාත් පිළිබඳ පරීක්ෂණ කමිටුව සමන්විත වූයේ, හෙක්ටර් යාපා, අශෝක ද සිල්වා හා ටී.බී. වීරසූරිය යන විනිසුරුවරුන්ගෙන්. ආරම්භක සාක්ෂිකාරයා වූයේ මම. ඉන්පසු දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනාද ඔවුන්ගේ ස්වාමිපුරුෂයන් දෙදෙනාද සාක්ෂි දුන්නා. මහේස්ත්‍රාත්වරයා වෙනුවෙන් පෙනීසිටි ජනාධිපති නීතිඥවරයා එම සාක්ෂිකරුවන්ගෙන් දීර්ඝ ලෙස හරස් ප්‍රශ්න ඇසුවා. රක්ෂණ සංස්ථාවේ සිදුවී තිබුණු මුදල් වංචාව හා ඒ ගැන පැවති පරීක්ෂණය ගැනද සංස්ථාවේ නිලධාරීන් සාක්ෂි දුන්නා. මූලික සාක්ෂි විභාගය අවසන් කිරීමෙන් පසු පරීක්ෂණ කමිටුවේ සභාපතිවරයා මහේස්ත්‍රාත්වරයාට එරෙහිව චෝදනා හතරක් සකස් කොට එය ප්‍රකාශයට පත් කළා.
එම චෝදනා හතරට ස්ත්‍රී දූෂණ චෝදනා දෙක හා කරුණු වසන් කොට සේවයට එකතුවීම යන චෝදනා තුනද ඇතුළත්ව තිබුණා. මහේස්ත්‍රාත්වරයාද දින හතරක් සාක්ෂි දුන්නා. එහෙත් හරස් ප්‍රශ්නවලට මුහුණ නොදී එතැන් සිට පරීක්ෂණයට සහභාගිවීමෙන් වැළකී සිටියා. පරීක්ෂණ කමිටුව මහේස්ත්‍රාත්වරයා චෝදනා හතරටම වරදකරු කරනු ලැබුවා. එම පරීක්ෂණය අවසන්වීමෙන් පසුව මම නීතිපති සරත් සිල්වාට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයට පැමිණිලි කළා.

නීතිපතිට එරෙහිව
පරීක්ෂණ කමිටුව විසින් වරදකරු කරනු ලැබ සිටි මහේස්ත්‍රාත්වරයා පිළිබඳව අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තු වාර්තාවේ එන සත්‍ය කරුණු වසන් කෙරෙන ආකාරයේ රහස්‍ය වාර්තාවක් අධිකරණ ඇමතිට ලබාදීම මගින් නීතිපති බරපතළ වරදක් කර ඇති බැවින් ඒ ගැන පරීක්ෂා කොට ඔහුගේ නම නීතිඥ නාමලේඛනයෙන් කපාහරින ලෙස මා එම පැමිණිල්ලෙන් ඉල්ලා සිටියා. අගවිනිසුරුවරයා මාගේ පැමිණිල්ලේ පිටපත් සියලු විනිසුරුවරුන් වෙත යවා ඔවුන්ගෙන් ඒ ගැන කරුණු විමසීමක් කළා. නීතිපතිවරයාට එරෙහිව පරීක්ෂණයක් පවත්වනවාට විනිසුරුවරුන් තිදෙනෙක් විරුද්ධ වුණා. ශ්‍රේෂ්ඨාධිකරණයේ අන් සියලු විනිසුරුවරුන් පරීක්ෂණයක් පවත්වනවාට එකඟත්වය පළ කළා.
ඉන්පසු පරීක්ෂණය භාර නිලධාරියා ලෙස ශ්‍රේෂ්ඨාධිකරණ විනිසුරු අමීර් ඉස්මයිල් මහතා පත්කරනු ලැබුවා. පරීක්ෂණයේ අධීක්ෂණ නිලධාරියා වශයෙන් විනිසුරු මාර්ක් ප්‍රනාන්දු මහතා පත් කළා. අගවිනිසුරු ජී.පී.එස්. ද සිල්වා මහතා විශ්‍රාම යන අවස්ථාව වනවිට අමීර් ඉස්මයිල් මහතා නීතිපතිට එරෙහිව චෝදනා පත්‍රයක් සකස් කොට නිදහසට කරුණු ඉදිරිපත් කරන ලෙස දැනුම්දීමක්ද කර තිබුණා.
ජනාධිපතිනිය චෝදනාලාභී තත්ත්වයක සිටි සරත් සිල්වා අගවිනිසුරුකමට පත්කළේ එම අවස්ථාවේදී. ශ්‍රේෂ්ඨාධිකරණයේ පරීක්ෂණයක් තිබියදී සරත් සිල්වා අගවිනිසුරු ධුරයට පත්කරනවාට ජනාධිපතිනියගේ නීති උපදේශකයන් ලෙස ක්‍රියාකළ එච්.එල්. ද සිල්වා, ආර්.කේ.ඩබ්ලිව්. ගුණසේකර හා ඊ.ඩී. වික්‍රමනායක යන අය විරුද්ධ වුණා. එක්සත් ජාතීන්ගේ සංවිධානයේ අධිකරණ විෂය භාර ප්‍රධාන නිලධාරියා ලෙස ක්‍රියා කළ ඩාටෝ පරම්කුමාරස්වාමි මහතාද එම පත්කිරීම ගැන සිය විරෝධය පළකළා.
ඒ මගින් මට සිදුවූ බලවත් අසාධාරණයට විරෝධය පළකිරීම සඳහා ජනාධිපතිනිය ඉදිරියේ නව අගවිනිසුරුවරයා දිවුරුම් දෙන ඡායාරූපය උඩ යට හරවා රාවය කළු කලාපයක් වශයෙන් පළකිරීමට මට සිදුවුණා. සරත් සිල්වා අගවිනිසුරු වූ පසුව සියලු දේ ආපසු හැරවූවා. තමන්ට එරෙහිව ශ්‍රේෂ්ඨාධිකරණයේ පැවති පරීක්ෂණය යටපත් කිරීමෙන් නොනැවතී ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුව වරදකරු කරනු ලැබූ මහේස්ත්‍රාත්වරයාට එරෙහිව නීතිපති මගින් නඩු පැවරීමට අධිකරණ සේවා කොමිසම ගෙන තිබූ තීරණය ඉවත දමමින් කිසිදු දඬුවමක් නැතිව එම මහේස්ත්‍රාත්වරයාට ඉල්ලා අස්වීමට අවස්ථාව ලබා දුන්නා.
ජනාධිපතිවරයාද, අගමැතිවරයාද සහභාගි වන මෙම සභාව ඉදිරියේ මා මේ කතාව කියන්නට තීරණය කළේ එතුමන්ලාගේ අවධානය අධිකරණය වෙත යොමු කිරීමේ වැදගත්කම පෙන්වා දීම සඳහා පමණක් නොව, සිදුවී තිබෙන මෙම බලවත් වරද නිවැරදි කිරීමේ අවශ්‍යතාව පෙන්වාදීම සඳහායි.

සොයාබැලීමේ වැදගත්කම
මෙම කතාවේදී දූෂණයට ලක්වන්නේ අධිකරණ දේවාලයට වඳින්නට ගිය අහිංසක කාන්තාවන් දෙදෙනෙක්. ඔවුන් දූෂණයට ලක්වන්නේ අධිකරණ දේවාලයේ කපුවා ලෙස සැලකිය හැකි විනිසුරුවරයා අතින්. ඉන්පසුව එම ස්ත්‍රී දූෂක මහේස්ත්‍රාත්වරයාව ආරක්ෂා කරන්නේ රටේ මානව හිමිකම් භාරකාරයා හා ආණ්ඩුවේ ප්‍රධාන නීති උපදේශකයා ලෙස ක්‍රියාකරන නීතිපතිවරයා හා ඉන්පසු අගවිනිසුරුකමට පත්වන රටේ අධිකරණ නායකයායි.
සංකේතාත්මක වැදගත්කමක් ඇති මෙම සිද්ධිය පිළිබඳව පරීක්ෂණයක් පවත්වා යුක්තිය ඉටුකරන ලෙස මා මේ සභාව ඉදිරියේ ජනාධිපතිවරයාගෙන්ද අගමැතිවරයාගෙන්ද ඉල්ලා සිටිනවා. මහේස්ත්‍රාත්වරයා පිළිබඳව ත්‍රිපුද්ගල පරීක්ෂණ කමිටුවක් කරුණු සොයාබලා ඇති නිසාත්, නීතිපතිව සිටි සරත් සිල්වාට එරෙහිව එල්ලවී තිබුණු චෝදනා ගැනද ශ්‍රේෂ්ඨාධිකරණය විසින් කරුණු සොයා බලා ඇති නිසාත් එවැනි පරීක්ෂණයක් දින කිහිපයකින් අවසන් කිරීමේ හැකියාව තිබෙනවා. ඒ මගින් දූෂණයට ලක්වූ කාන්තාවන් දෙදෙනාට යුක්තිය ඉටුකරන අතර එම අපරාධයට වගකිවයුත්තන්ට එරෙහිව නීතිය ක්‍රියාත්මක කරවන ලෙස ඉල්ලා සිටිනවා. අධිකරණයේ ඉන්න සියලු විනිසුරුවරුන් දූෂිතයන් බව ඉන් අදහස්වන්නේ නැහැ.
ඉතා යහපත් හා සාධාරණව ක්‍රියාකරන විනිසුරුවරුන් අධිකරණයේ ඉන්නවා. එහෙත් එවැනි අයට වැඩ කරන්න සිදුවී තිබෙන්නේ අතෘප්තිමත් හා පීඩාකාරී පරිසරයක. සමාජයේ විශ්වාසයට හා ගෞරවයට හේතුවන ස්වාධීන අධිකරණයක් නැතිව රටට එක අඩියක්වත් ඉදිරියට යන්න බැහැ. දූෂිත තත්ත්වයක තිබූ අධිකරණයට නව අගවිනිසුරුවරයෙකු පත්කළ පමණින් හෝ ස්වාධීන කොමිෂන් සභා ඇතිකළ පමණින් පරණ අධිකරණය යහපත් අධිකරණයක් බවට පත්වන්නේ නැහැ. අධිකරණයටද ප්‍රතිසංස්කරණ අවශ්‍ය වී තිබෙනවා.
අධිකරණයට අවශ්‍ය ප්‍රතිසංස්කරණ හඳුනාගැනීමට හැකිවනු ඇත්තේ අධිකරණයේ ඇතිවූ පිරිහීම් කෙරෙහි බලපෑ හේතු සොයාබලන තැනකට යෑමෙන්. අධිකරණයේ ඇතිවී තිබෙන පිරිහීම කෙරෙහි බලපා තිබෙන හේතු සොයා බලා බාහිර ඇඟිලි ගැසීම්වලට ඉඩක් නැති සාධාරණව හා ස්වාධීනව ක්‍රියාකරන අධිකරණයක් ඇතිකර ගැනීම සඳහා අවශ්‍ය ප්‍රතිසංස්කරණ නිර්දේශ කිරීම සඳහා කොමිෂන් සභාවක් පත්කරන ලෙස මා ජනාධිපතිතුමාගෙන්ද අගමැතිතුමාගෙන්ද ගෞරවයෙන් ඉල්ලා සිටිනවා.
මේ ආණ්ඩුව හෝ වෙනත් ආණ්ඩුවක් විසින් ජාතිය ගොඩනගන තෙක් බලා නොසිට ඒ වගකීම දැනුවත් පුරවැසියන් අතට ගැනීම වැදගත්. ඒ අරමුණ සපුරා ගැනීමට පුරවැසියන් සමත් වේ නම් ඒ මගින් පමණක් රටේ ගමන් මගෙහි ලොකු වෙනසක් ඇති කරගත හැකියි.
ස්තුතියි.

ඔබගේ අදහස අපට කියන්න

Close