වසර 1000 ක් පැරණී වායු සමීකරණ තාක්ෂණය රජගලින් හෙලිවේ

‘පුරාවිද්‍යා දෙපාර්තමේන්තුව මගින් රජගල පුරාවිද්‍යා භූමියේ ගවේෂණ, පර්යේෂණ, කැණීම් හා සංරක්ෂණ කටයුතු ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ඉතිහාස හා පුරාවිද්‍යා අධ්‍යයන අංශයට පවරා දී ඇත. 2012 වසරේ සිට මේ වන තුරු කරගෙන ආ කැණීම මගින් රජගල ලෙන් විහාර සංකීර්ණය පිළිබඳ අතීත තොරතුරු රැසක් අනාවරණය වී ඇත. අම්පාර හා මහඔය අතර උහන නගරයට ආසන්නයේ රජගල ඓතිහාසික ආරාම සංකීර්ණය පිහිටා ඇත.”

“ශ්‍රී ලංකාද්වීපයේ කුඹලවතිස්පව් අරියාකාර විහාරයේ එක් ලෙනක කිරි වවුලෝ පන්සියයක් පමණ වාසය කළහ. ඒ ආසන්නයේ ගල්ලෙනක වසන භික්ෂුවක් දින පතා සතිපට්ඨාන සූත්‍රය දේශනා කරනු ඇසූ එම වවුලෝ ශබ්ද මාත්‍රයෙන් පමණක් සිත පැහැද මියගොස් පුනර් ජන්මයේ විහාරයට සමීප ගමක මිනිස් ආත්ම ලබා උපන්හ. මේ පිරිස කුඹලවතිස්පව් විහාරයේ වැඩ විසූ ස්වාමීන්වහන්සේලා විසින් දෙසූ අරියවංශ දේශනාවක් අසා සිත පැහැද එම විහාරයෙහිම පැවිදි වූහ. මේ සද්ධර්මාලංකාරයේ එන පංචසතක භික්ෂූ වස්තුවයි.

මේ බෞද්ධ සාහිත්‍යයෙහි කියැවෙන කුඹලවතිස්පව් අරියාකාර විහාරය වර්තමානයේ රජගල ලෙස හඳුන්වනු ලබන ආරාම සංකීර්ණය ලෙස හඳුනාගෙන ඇත. රජගලතැන්න, රාස්ස හෙළ, අරියාකාර විහාරය ලෙස හැඳින්වෙන මෙම විහාර සංකීර්ණය දීපවංශය, පූජාවලි, මහා වංශය ආදී මූලාශ්‍ර සාධක විමර්ශනයේ දී ක්‍රි.පූ. 2 වැනි සියවසේ දී දුටුගැමුණු රජුගේ සහෝදරයා වූ ලජ්ජි තිස්ස රුහුණේ ගිරිකුම්බිල පබ්බත විහාරය ලෙස නිර්මාණය කරන ලද විහාර සංකීර්ණය බව සඳහන් ය.

අපර බ්‍රාහ්මීය අක්ෂරවලින් ලියැවුණු දෙවැනි සියවසට අයත් සෙල්ලිපි රජගලින් හමුවී ඇත. රජගලින් සෙල්ලිපි සියයකට වැඩි ප්‍රමාණයක් හමු වී තිබේ. ඒ අතරින් මිහිඳු මා හිමියන්ගේ හා ඉට්ඨිය හිමියන්ගේ ලංකා ගමනය සනාථ කෙරෙන ගිරිලිපිය රජගලින් හමු වූ අගනා ම ලිපියයි. මේ ස්ථානයේ ඉට්ඨිය තෙරුන්ගේ හා මිහිඳු මා හිමියන්ගේ භෂ්මාව ශේෂ (ධාතුන් වහන්සේ) තැන්පත් කර ඉදිකරන ලද මහා දාගැබ නිදන් සොරුන් විසින් බිඳදමා තිබූ අතර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය මඟින් සංරක්ෂණය කර තිබේ. පූජා භූමියෙන් දාගැබ් විශාල සංඛ්‍යාවක් හමුව ඇත. ඒ අතර ගඩොලින් නිම කරන ලද දාගැබ් මෙන්ම ස්වභාවික ගලින් කරන ලද දාගැබ් ද හමු වී තිබේ. සියල්ල නිධන් සොයන්නන් පොළොව මට්ටමටත් යට හාරා විනාශ කොට තිබෙනු දැකගත හැකිය.

බුද්ධදාස රාජ සමයට අයත් අප්‍රකාශිත සෙල් ලිපිය මඟින් ‘බුද්ධදාස රජු විහාරයට පූජා කරන ලද කහවනුවලින් ලද පොලිය ‘ මෙම ස්ථානයේ අරියවංශ සූත්‍ර දේශනාවට භාවිත කළ යුතුය යන්න එම සේල්ලිපියේ සඳහන්ය. තවද ‘නාග‘ නමැත්තෙකු ගිරිකුම්බල වාපී විහාරයේ අරියවංශ දේශනාව පවත්වාගෙන යාම සඳහා කහවනු සියයක් යම් ආයතනයක තැන්පත් කොට එහි වාර්ෂික පොලිය පින්කමට යොදවා ඇත. සිව නමැත්තෙකු විසින් අරියවංශ සූත්‍ර දේශනාව පවත්වාගෙන යාම සඳහා කහවනු 300 පිරිනැමීම පිළිබඳ සෙල්ලිපි සාක්ෂි දරයි. අතීතයේ රජගල පූජා භූමිය අරියවංශ සූත්‍ර දේශනාව සිදු කරනු ලබන ස්ථානයක් ලෙස ප්‍රසිද්ධ වූ බව සෙල්ලිපි සාධක මෙන්ම ඓතිහාසික හා වංශකතා මඟින් සනාථ වේ.

එම ස්ථානයෙන් හමු වූ පුවරු ලිපියක ‘රෝහලෙහි බෙහෙත් කැඳ පිළිබඳ ප්‍රධානියා’ නැගෙනහිර පවුරට සම්බන්ධ කොට ගවරූප අටක් නිර්මාණය කොට බුදු බව පතා ඇත. දාගැබ ආසන්නයේ පවත්නා තවත් පුවරු ලිපියක් මගින් නාට්‍ය ශාලා ගෘහයක ප්‍රවේශ පත්‍ර නිකුත් කරන නිලධාරියකු ‘විහාරයට රන් කළඳක් පුදා බුදුබව පතා ඇත. රජගලින් ටැම්ලිපි දෙකක් හමු වී ඇත. එම ටැම්ලිපි දෙකින් එකක ස්ථානය අරියාකාර විහාරය ලෙස නම් කොට තිබේ. මෙම ස්ථානයෙන් හමු වූ ලෙන් ලිපි මගින් විහාරයට ලෙන් පුජා කිරීමට වැඩි දායකත්වය දක්වා ඇත්තේ භික්ෂූන්වහන්සේ බව හඳුනාගැනීමට හැකි වී තිබේ. එම ලෙන් හැඳින්වීම සඳහා සමන්තභද්‍ර, සීහමුඛ, සුපතිට්ඨිත, සුදස්සන, ඉන්ද්‍රසාල, වැනි නම් භාවිතා කොට තිබේ. රජගල ස්වභාවික ලෙන් සියයකට වැඩි සංඛ්‍යාවක් ඇතැයි අනුමාන කෙරේ. ලෙන් පරිත්‍යාග කළ දායකයින්ගේ නම් ගොත් බ්‍රාහ්මීය අක්ෂරයෙන් ලියා ඇත. ඒ නම් අතර ලජ්ජි තිස්ස රජු ඇතුලු රජ පවුලේ නම් මෙන්ම සමාජයේ ජීවත් වූ ස්ත්‍රී පුරුෂ දෙපාර්ශවයේ ම නම් සඳහන් ය. රජගල ඇති ගිරිලිපියක ලජ්ජි තිස්ස රජු සංඝයා උදෙසා ශීත ලෙන් විසි පහක් කරවූ බව සඳහන්ය. මේ ශීතලෙන් නිර්මාණය කොට ඇත්තේ වායු ධාරා ජල සීරාව සහිත ගල් කුළු අතරින් කුටිවෙත යොමු කිරීමෙන් කුටිය තුළ උෂ්ණත්වය පාලනය කිරීමේ තාක්ෂණය භාවිත කිරීම මඟිනි. ගල් ලෙනක් තුළ සකසන ලද වැසිකිළියක් ද රජගලින් හමු විය. වැසිකිළිය භාවිත කරන්නාට අවට පරිසරය විඳිමින් වැසිකිළිය භාවිත කළ හැක. එහෙත් බාහිර පුද්ගලයන් හට වැසිකිළිය තුළ සිටින්නා නොපෙනේ. ස්වභාවික ගල් කුට්ටි එක මත එක තබා ගල් පතුරක් වහලය ලෙස තැබූ හතරැස් කුටි ආරාම සංකීර්ණයේ දක්නට ඇති විශේෂිත නිමැවුමකි.

අනුරාධපුර යුගයේ මුල් අවධියේ සිට පැවැත ආ ආරාම සංකීර්ණය වසර 1200 – 1300 පමණ කාලයක් අඛණ්ඩ භික්ෂු වාසස්ථානයක්ව පැවැති බව ට සාධක හමුවී ඇත. හොඳින් ආරක්ෂා වූ ලෙන් විහාර සමූහය අතර අනුරාධපුර යුගයේ උපරිභාගයේ තාක්ෂණය දැක බලා ගත හැකිය. ලෙන් බිත්ති වර්ණාලේප ගන්වමින් කළ නිර්මාණ දැකගත හැකි අතර සුදු, රතු, කොළ හා කහ වර්ණ භාවිත කර තිබේ. ඉන් එක් ලෙනක ප්‍රාථමික ලෙන් රූප දැකගත හැකිය. රජගල මූර්ති නිර්මාණ ඉතා විරලය.

විහාර සංකීර්ණයකට අයත් සියලු අංග රජගලින් හමු වී තිබේ. අලුතින් සිදු කරනු ලැබූ විද්‍යාත්මක කැණීමේ දී එම ස්ථානයේ ඇති මතුකර ගත් ගොඩනැඟිලි බොහොමයක් කවර කටයුත්තකට භාවිත කළේ ද යන්න නිවැරැදිව හඳුනාගෙන තිබේ. දාන ශාලාවේ තිබී ගල් ඔරලෝසුවක් හමු වී ඇත. ටැම්පිට ගෙයක් හමු වී ඇති අතර එහෙත් එය බුදු ගෙයක් ද යන්න තහවුරු වී නැත. එහෙත් ඒ අවට ඇති බෝධිඝර හා ස්තූප මේ වන විට සංරක්ෂණය කෙරෙමින් පවතී. ලීයෙන් කරන ලද බුදුපිළිමයක පාදම යට තිබී ජය සංකේතයක් ලෙස සලකනු ලබන හක්බෙල්ලකු හමුවී තිබිණි.

විහාර සංකීර්ණයේ පිහිටි වැව වසර දහසකට පසු ප්‍රතිසංස්කරණය කොට ජලය පිරවීමට ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ ගවේෂණ කණ්ඩායම සමත්ව තිබේ. වැව් බැම්ම අවසන් වන දකුණු අන්තයේ ඇති ක්‍රි.පූ. 1 ක්‍රි.ව. 2 කාලයට අයත් සෙල්ලිපියට අනුව ‘කබඩුක’ නම් මේ වැව ලජ්ජිතිස්ස රජු විසින් කරවා ‘කුබලවතිස්ස පර්වත විහාරය’ ට පූජා කළ බවත්, එය නැවත කූටකණ්ණ ගාමිණී තිස්ස ගේ පුත්‍ර ‘උපරාජ නාග‘ ප්‍රතිසංස්කරණය කරන ලද බවත් සඳහන්ය.

රජගලින් හමු වූ ගල්පාත්‍ර ජලය රැස්කර තබාගැනීමට භාවිත කරන ලද බව තහවුරු වී ඇත. එම ගල් පාත්‍ර හා බැඳුණු ගල් පීල්ලක් ද, එම ගල්පාත්‍ර රැඳවූ ගෘහය ද පසුගියදා සිදු කරන ලද කැණිමේ දී හඳුනාගෙන ඇත.

රජගල ආරාම සංකීර්ණය සිතියම් ගත කිරීමට පුරා විද්‍යා භූමියේ සංරක්ෂණ ගවේෂණ පර්යේෂණ කටයුතු භාර ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලය කටයුතු කර තිබේ. ඒ අනුව මිනින්දෝරු දෙපාර්තමේන්තුව මඟින් ඓතිහාසික රජගල පුරාවිද්‍යා භූමිය ලෙස අක්කර 957 භූමියක් මිණුම් කටයුතු අවසන්ව ඇත.

අනුරාධපුර යුගයේ දියුණු තාක්ෂණය, පරිසර කළමනාකරණය, හා අතීත රාජ්‍යපාලනය, සමාජ තත්ත්වය මෙන්ම පැවැති බැංකු ක්‍රමය පිළිබඳ තොරතුරු ද රජගල ආරාම සංකීර්ණය ක්‍රමාණුකූලව අධ්‍යනය කිරීමෙන් අනාවරණය කර ගත හැකිවනු ඇත. (Budusarana)

2 thoughts on “වසර 1000 ක් පැරණී වායු සමීකරණ තාක්ෂණය රජගලින් හෙලිවේ

ඔබගේ අදහස අපට කියන්න

Close