ව්‍යවස්ථාව වෙනුවෙන් ජනමත විචාරණයක් ලබන වසරේ

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව සකස්‌ කළ පසු පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දයකින් පමණක්‌ නොව ජනමත විචාරණයකින්ද සම්මත කර ගැනීමට තීරණය කර තිඛෙනවා.

ඒ අග්‍රාමාත්‍යවරයාගේ ප්‍රධානත්වයෙන් පැවැති පක්ෂ නායක රැස්වීමේදී ගනු ලැබූ තීරණයක් මතයි.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සකස්‌ කිරීම වෙනුවෙන් ක්‍රියාත්මක වන ආණ්‌ඩු ක්‍රම ව්‍යවස්‌ථා මණ්‌ඩලය පෙරේදා රැස්වූ අතර ඊට මෙහෙයුම් කමිටු 6ක වාර්තා ඉදිරිපත් කරනු ලැබුවා.

මූලික අයිතිවාසිකම් පිළිබඳ අනුකාරක සභාව අධිකරණ අනුකාරක සභාව, මුදල් පිළිබඳ අනුකාරක සභාව, ජාතික හා මහජන ආරක්‌ෂාව -පොලිසිය හා නීතිය ක්‍රියාත්මක කිරීමේ අනුකාරක සභාව, රාජ්‍ය සේවය ප්‍රතිසංස්‌කරණ අනුකාරක සභාව සහ මධ්‍යම පර්යන්ත අනුකාරක සභාව මෙසේ ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථා මෙහෙයුම් කමිටුව යටතේ ක්‍රියාත්මක වනවා.

මෙහිදී විධායක ජනාධිපතිධුරය පිළිබඳ විකල්පයන් තුනක්‌ ඉදිරිපත්ව ඇතැයි ද ඒ පිළිබඳ ජනතාවගේ සහ පාර්ලිමේන්තුවේ අදහස්‌ මත සුදුසු විකල්පය තෝරාගන්නා බවද අගමැතිවරයා කමිටු වාර්තා ඉදිරිපත් කරමින් අනාවරණ කළා.

එමෙන්ම බලය බෙදාහැරීමේ මූලධර්ම පිළිබඳවද පොලිස්‌ බලතල හා ඉඩම් පිළිබඳවද වෙන් වෙන් වශයෙන් සාකච්ඡා කර ඇති බව කී අග්‍රාමාත්‍යවරයා එම වාර්තාවද අනාවරණ කර තිඛෙනවා.

මෙම වාර්තා පිළිබඳ විවාදය ජනවාරි 9, 10 සහ 11 යන දිනවල පාර්ලිමේන්තුවේදී සිදුකිරීමට නියමිතයි.

ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාව අනුව දැනට පවතින ව්‍යවස්ථාවේ  පළමු සහ දෙවැනි ඡේද වන ශ්‍රී ලංකාවේ ස්‌වෛරිත්වය සහ ආගම පිළිබඳ සාකච්ඡා කර තිබුණා. මෙම ඡේද තවදුරටත් ශක්‌තිමත් කිරීම මිස ඒවා වෙනස්‌ කිරීමට බලාපොරොත්තුවක්‌ නැති බවයි වික්‍රමසිංහ මහතා කියා සිටියේ.

මෙම මෙහෙයුම් කමිටු හා අනුකාරක සභා වාර්තා පාර්ලිමේන්තුවේ විවාද කර පන්සල්, පල්ලි දේවස්‌ථාන, කෝවිල් හා පාසල් වෙබ් අඩවි හරහා ජනතාව වෙත ගෙන යැමට අපේක්ෂිතයි.

පවතින ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවේ සංශෝධින දහනවයෙන් දාහතක්‌ ඒ ඒ ආණ්‌ඩු විසින් බලය තහවුරු කර ගැනීමේ වුවමනාව මත කළ සංශෝධන බව කී විපක්‌ෂයේ සංවිධායක අනුර කුමාර දිසානායක මහතා නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක අවශ්‍යතාව තමන්ද පිළිගන්නා බව මෙහිදී සදහන් කළා.

රටේ ජනතාවගේ කැමැත්තක්‌ පිළිබඳව දැක්‌වෙන මැතිවරණ ක්‍රමයක්‌ තිබිය යුතු බවත් හා විධායක ජනාධිපති ධුරය මුළුමනින්ම අහෝසි විය යුතු බවත් සියලු ජනතාවගේ අයිතීන් තහවුරු වීම සඳහා ප්‍රතිපාදන සකස්‌ විය යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා පැවසුවා.

මෙහිදී අනිවාර්යෙන්ම පාර්ලිමේන්තුවේ තුනෙන් දෙකක ඡන්දය ලබාගත යුතු බවද ඉන් පසු ජනමත විචාරණයකින් ජනතා කැමැත්ත ලබාගත යුතු බවත් අනුර කුමාර දිසානායක මහතා සදහන් කළා.

නව ආණ්‌ඩුක්‍රම ව්‍යවස්‌ථාවක්‌ සඳහා ඒකාබද්ධ විපක්‌ෂය විසින් කරුණු 14 ක මූලධර්ම සහිත කරුණු මෙහෙයුම් කමිටුවට ඉදිරිපත් කළ බව දිනේෂ් ගුණවර්ධන මහතා ප්‍රකාශ කළා.  එම මූලධර්ම දා හතරෙන් පිට කිසිවකට තම එකඟතාව නොලැබෙන බවද කී දිනේෂ් ගුණවර්ධන මහතා විධායක ජනාධිපති බලතල අහෝසි කිරීමේදී පළාත් සභා සම්බන්ධව ජනාධිපතිවරයා සතු බලතලවලට කුමක්‌ සිදුවන්නේදැයි විමසා සිටියා.

එහිදී ඒකාග්‍රතාව බිඳ වැටී වෙනත් රටවල් බිහිවීමේ තත්ත්වයකට පත්වනු ඇතැයිද කී දිනේෂ් ගුණවර්ධන මහතා නව ව්‍යවස්‌ථාව සැකසීමේදී ව්‍යවස්‌ථාදායක මණ්‌ඩලය කලබල නොවී බුල්ඩෝසර් ක්‍රමය නතර කර මහජනතාවට කරුණු දැන ගැනීමට ඉඩ කඩ ලබාදිය යුතු බවයි පැවසුවේ.

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close