වසර 30ට රිය අනතුරුවලින් 67000ක් මැරිලා

වසර 30 ක යුද්ධයෙන් මිය ගිය ගණනට වඩා වැඩි පිරිසක් රිය අනතුරු හේතුවෙන් මිය ගොස් ඇති බව පොලිසිය පවසනවා.

පොලිස්  රථවාහන මූලස්ථානයේ අධ්‍යාපන අංශයේ ස්ථානාධිපති ප්‍රධාන ‍පොලිස් පරික්ෂක කේ.ඒ. කිත්සිරි කුමාර මහතා මේ බව සදහන් කළේ මාධ්‍ය හමුවකට එක්වෙමින්.
මේ එහිදී ඔහු පල කළ අදහස්.

“වඩා භයානක යුද්ධයද? මහපාරද? දැන් යුද්ධය ඉවරයි අපිට යුද්ධය මතකත් නැහැ. එසේ නම් අපට අද වඩාත් භයානකම යුද්ධය ඇති වී තිබෙන්නේ මහපාරේ. හැමදාමත් අනතුරක් සිදුවෙනවා. අද ලෝකයේ වසරකට ලක්ෂ 13ක් රිය අනතුරුවලින් මිය යනවා. තත්තපර 6කට එක් අයෙක් මිය යනවා ඒක ලෝකයේ තත්ත්වය.
ලංකාවේ තත්ත්වයත් ඒ හා සමානයි. ලංකාවේ දවසකට පුද්ගලයන් 7දෙනෙක් පමණ මිය යනවා. බරපතළ තුවාල ලබන සංඛ්‍යාව 30ක් සුළු තුවාල ලබන පිරිස 100ක් පමණ මේ සියලු දෙනාටම ප්‍රතිකාර කරන්නේ නොමි‍ලේ. වසර 2015 වන විට අප රටේ ලියාපදිංචි වාහන සංඛ්‍යාව හැට තුන් ලක්ෂයක් පමණ වෙනවා. මෙය වසර 2016ක් වන විට හැට හය ලක්ෂයක් දක්වා වැඩි වුණා. තිස් තුන් ලක්ෂයක්ම යතුරු පැදි, ත්‍රිරෝද රථ ලක්ෂ දහයක් ලියා පදිංචි වෙලා තියෙනවා.  වැඩිම අනතුරු සිදුවෙන්නේ යතුරු පැදිවලින්. මොටර් රථ දෙපාර්තමේන්තුවේ සංඛ්‍යා දත්ත මේ බව සනාථ කරනවා.
වසර 2011දී වැඩි පුරම මියගිහින් තියෙන්නේ පදිකයන්,  ඒත් වසර 2015 වන විට ඒ තත්ත්වය වෙනස් වෙලා එම ස්ථානය  යතුරුපැදිවලට හිමිවෙලා තියෙනවා.
කොහොම වුණත් අපි රියැදුරන් විදිහට වඩාත් වගකීමකින් වාහන පදවනවා නම් මහා මාර්ගයේ සිදුවන අනතුරු සංඛ්‍යාව බොහොමයක් වළක්වා ගන්න පුළුවන් වෙනවා. වාහනය පදවන විට මුලින්ම තමාගේ ආරක්ෂාව ගැන සිතන්න ඕනේ. ඉන් පසුව වාහනයේ යන අන් අයගේ ආරක්ෂාව ගැන සිතන්න ඕනේ. ඒත් එක්කම මාර්ගයේ ගමන් කරන පදිකයන් ගැනත් සිතීම අත්‍යවශ්‍යයි.
විශේෂයෙන්ම රියැදුරෙකුට අසීමිත ඉවසීම තිබෙන්න ඕනේ. ඒත් අපේ රටේ රියැදුරන්ට ඉවසීමක් තියෙනවාද? මේක බරපතළ ගැටලුවක්. අපි යන ගමන හැකි පමණ කල් ඇතිව යන්නට පුරුදු වෙනවා නම් කලබලයක් නොමැතිව යන්න පුළුවන් වෙනවා. එහෙම වුණොත් පාරේ ගමන් කරන අනෙක් වාහන පසුකරමින් අපරික්ෂාකාරී ලෙස රිය පැදවීමට සිදු වෙන්නේ නැහැ.
රියැදුරන් තුළ විනයක් තියෙන්න ඕනේ. අපේ රියැදුරන් තුළ ඒවගේ විනයක් දකින්නම නැහැ. මම දින තුනක සංචාරයක් සඳහා විදේශ රටකට ගියා ඒ දින තුන  තුළ  වාහනවල නලා ශබ්දයක් අහන්නවත් ලැබුණේ නැහැ. ඒත් අපේ රටේ  පිටකොටුව ප්‍රදේශයේ  වාහන නලා ශබ්ද කරන විදිහට අපිට රාජකාරිය  පවා කරන්න බැරි තත්ත්වක් නිර්මාණය කරනවා. මේ වගේ වෙලාවට අපි වාහන නීතිය අපි අකුරටම ක්‍රියාත්මක කරනවා. එහෙම කරන කොට රියැදුරු මහත්වරුන් අපිත් එක්ක අමනාප වෙනවා.
පාරේ තදබදයක් තිබුණොත් මිනිස්සු කියන්නෙ ට්‍රැෆික් එකේ මහත්තයෙක් ඉස්සරහා ඇති කියලයි. ඒත් පැය 24ක් කොළඹ ප්‍රදේශයේ මාර්ගයේ  රාජකාරිවලින් ‍පොලිස් නිලධාරීන්ව ඉවත් කරලා බලන්න මොනව වෙයිද කියලා.
රියැදුරන්ගේ නොසැලකිලිමත් කම නිසා තමයි බොහෝ රියඅනතුරු සිදුවෙන්නේ. යතුරු පැදි පදවන අපි කිසි විටකත් රෝද දෙකක් උඩ එන්නේ කියලා හිතන්නේ නැහැ. යතුරු පැදියේ පිටුපස තමන්ගේ ළමයින් තියාගෙන යනවා. ඒ දරුවන්ට හෙල්මට් නැහැ. ඇතැම් වෙලාවට අපි තාත්තා ළඟට කිට්ටුවෙලා අහනවා “ මේ දරුවෝ ඔයාගේ ‍නෙවෙයිද?” කියලා. එහෙම ඇහුවාම අපි දිහා තරහින් බලනවා.
ත්‍රිරෝද රථයක පාසල් ළමුන් 22ක්  අරගෙන ගිය බවට පුවත් පත් වාර්තාවක් පළ වුණා. මැදවච්චිය මධ්‍ය මහා විද්‍යාලයේ  ඉගෙන ගන්න ළමුන් පිරිසක් තමයි මෙහෙම ත්‍රිරෝද රථයේ නංවාගෙන ඇවිත් තියෙන්නේ.  අපි වහාම ක්‍රියාත්මක වෙලා ඒ දරුවන්ගේ දෙමාපියන්ට විරුද්ධව නීතිය ක්‍රියාත්මක කළා.
දරුවා ආරක්ෂිත විදහට ගියත් ඒ දරුවා මාර්ගයේ චප්ප වෙලා යන අවස්ථාවන් බොහොමයක් තියෙනවා.  පාර මාරු වෙනකොට බොහෝ දෙනෙකු ජංගම දුරකථනය කණේ ගහගෙන ගමන් කරනවා. පදිකයන් විදිහට අපටත් අපගේ වගකීමක් තිබෙනවා. කහ ඉරෙන් පාර මාරු වෙන විට එක අතක් ඔසවාගෙන පාර මාරු  වීමට කටයුතු කිරීමට වග බලා ගන්න. පදිකයන් හිතන්නේ පාර මාරුවෙන ස්ථාන හදලා තියෙන්නෙ ඔවුන්ටම විතරයි කියලා. කහ ඉරේ දී තමයි  වැඩිම අනතුරු සිදු වෙන්නේ.  හරි ප්‍රවේශමින් පාර හරහා මාරු විය යුතුයි. අපේ ආරක්ෂාව අපම සලසා බලා ගන්නේ නම් හා එකිනෙකාගේ වගකීම මොකක්ද යන්න තේරුම් ගෙන කටයුතු කරනවා නම් මාර්ග අනතුරු ප්‍රමාණය බොහොමයක් අවම කර ගන්න පුළුවන්

ඔබගේ අදහස අපට කියන්න

Close