වැලිකඩ 27ක් ඝාතනයේ විමර්ෂණ වාර්තාව පොලිස්පතිට

වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන්ගේ මරණ සම්බන්ධයෙන් පවත්වන ලද පරීක්ෂණවල වාර්තා වහා පාර්ලිමේන්තුව වෙත ඉදිරිපත් කරන්නැයි ජනතා විමුක්ති පෙරමුණ රජයෙන් ඉල්ලීමක් කළා.

පාර්ලිමේන්තු මන්ත්‍රී විජිත හේරත් මහතා ප්‍රකාශ කළේ එම වාර්තා දිගින් දිගටම යටපත් වෙමින් පවතින බවයි.

2012 වසරේ නොවැම්බර් 09 වනදා වැලිකඩ බන්ධනාගාරයේ රැඳවියන් 27 දෙනෙකුගේ මරණ සම්බන්ධයෙන් පැවති ආණ්ඩුව සහ වත්මන් ආණ්ඩුව යටතේ පත් කරන ලද කමිටු විසින් ලබා දෙන ලද වාර්තාවල අඩංගු නිරීක්ෂණ සහ නිගමන පිළිබඳ දැන ගැනීමට රටේ ජනතාවට අවශ්‍ය බවයි මන්ත්‍රීවරයා පැවසුවේ.

“අපි ගහලා තියනවා පුවරුවක් සිරකරුවෝද මනුෂ්‍යයෝ වෙති කියලා. එහෙම තිබුනට ජාත්‍යන්තර මානව හිමිකම් නීති උල්ලංඝනය කරමින් පසුගිය කාලේ අපිට මතකයි බන්ධනාගාරයේ සිරකරුවන් වෙඩි තියලා ඝාතනය කළා,”

ඒ අනුව වත්මන් ආණ්ඩුව බලයට පත්වීමෙන් අනතුරුව අදාළ මරණ සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා නව කමිටුවක් පත් කිරීමට කටයුතු කළ බව සඳහන් කළ ඇමතිවරයා එම කමිටුව විසින් ලබා දුන් වාර්තා සැලකිල්ලට ගෙන ජනතාව වෙත හෙළිදරව් කළ හැකි කරුණු පමණක් ඇතුළත් වාර්තාවක් ප්‍රසිද්ධියට පත් කළ බවද කියා සිටියා.

ඉදිරි පරීක්ෂණ කටයුතු සඳහා අදාළ වාර්තාව පොලිස්පතිවරයා වෙත යොමු කර ඇති බවත් මීට ඉහතදී ප්‍රසිද්ධියට පත් කරන ලද වාර්තාව නැවතත් පාර්ලිමේන්තුවට ඉදිරිපත් කිරීමට කටයුතු කරන බවත් අධිකරණ අමාත්‍ය විජේදාස රාජපක්ෂ මහතා වැඩිදුරටත් සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close