ලාංකික නැවියන් 9ක් යේමන ත්‍රස්තවාදීන්ගේ ප්‍රාණ ඇපයට

ශ්‍රී ලාංකික නැවියන් 9 දෙනකු යේමනය සහ සෞදි අරාබිය අතර දේශ සීමාවට මායිම්ව පිහිටි හුඩයිඩා වරායේදී ත්‍රස්තවාදී කණ්ඩායමක් විසින් ප්‍රාණ ඇපයට ගෙන තිබෙනවා. මෙසේ ප්‍රාණ ඇපයට ගෙන ඇත්තේ ෂෙයා ඇවිලෝන් නෞකාවේ සේවය කළ ශ්‍රී ලාංකික නාවිකයින් පිරිසක්. ඔවුන් මාස දෙකකට ආසන්න කාලයක සිට මෙලෙස ප්‍රාණ ඇපයේ පසුවන බවටයි තොරතුරු වාර්තාවන්නේ.
ලාංකේය නැව් සමාගමකින් ග්‍රීසියේ ෂෙයා ඩීල් සමාගමට අයත් ෂෙයා ඇව්ලෝන් නෞකාවට මාරු කරන ලදපිරිසක් මෙම ගැටලුවට මුහුණ පා තිබෙනවා.
මෙම නැවියන් මුදා ගැනීම සදහා අදාළ නැව් සමාගම හෝ පියවරක් ගෙන නැහැ.
තමන් ප්‍රාණ ඇපයට තබා මෙම ත්‍රස්ත කණ්ඩායම ග්‍රීක නැව් සමාගමෙන් කෝටි ගණනක මුදලක් ගෙවන ලෙස ඉල්ලා සිටින බවටයි ඔවුන් මාධය වෙත ප්‍රකාශ කර ඇත්තේ.
කෙසේ වෙතත් අදාළ නැව් සමාගම ඊට ප්‍රතිචාරයක් දක්වා නැහැ.
මෙම වරායට ඇමෙරිකාහා සවුදි අරාබි හමුදා ඒකාබද්ධ දෙසැම්බර් මැද සතිය වන විට බෝම්බ දැමීමට සැලසුම් කර ඇති බවටද ලාංකීය නාවිකයින් පිරිස මාධ්‍ය වෙත හෙළිකර තිබෙනවා.
මෙම ප්‍රදේශය අදාළ ත්‍රස්තවාදීන්ගේ පාලනය යටතේ පවතින අතර ඔවුන්ගේ අවසරයෙන් තොරව එම ප්‍රදේශයට කිසිවෙකුටත් ළඟා වීමට නොහැකි බවයි පැවසෙන්නේ.
මේ පිළිබද අදහස් දක්වමින් විදේශ කටයුතු අමාත්‍යාංශය පවසන්නේ මෙම නාවිකයින් පිළිබද තොරතුරු ලැබී ඇති බවයි.
ඔවුන් මුදා ගැනීමට ඕමානයේ ශ්‍රී ලංකා තානාපති කාර්යාලය හරහා කටයුතු කරන බවද අමාත්‍යාංශය ප්‍රකාශ කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close