කුරුලන්ගල කන්දෙන් ඉපැරණි ඩයිනෝසර සිතුවම්

කුරුලන්ගල යනු අද ගමනේ සන්ධිස්ථානයයි. එය විශාල කඳු ගැටයකි. උමා ඔය ව්‍යාපෘතිය පෙනෙන මානයේ ලඳු කැලයක තනිව නැගී සිටින ත්‍රිකෝණාකාර පැතලි කන්දකි. දළ වශයෙන් කන්දේ උස මීටර 700 ක් පමණ වන නමුත් මෙම කන්ද මීටර 200 කට වඩා පළලින් පිහිටි හොඳින් පාෂාණ ස්ථර දැකිය හැකි කන්දකි. පයිනස් ගස්, පඳුරු අතරින් පතර දැකිය හැකි නමුත් ගල් තලය කහ පැහැතිව හොඳින් දර්ශනය වේ. මෙම ප්‍රදේශයේ තිබෙන තවත් විශේෂ ස්ථානයක් වනුයේ රක්ඛිත්තාකන්ද පුරාණ රාජමහා විහාරයයි. රාවණ ඇල්ල පසුකොට වැල්ලවාය දෙසට කි.මී. 3.5 පමණ එන විට එම නාම පුවරුවක් සවිකොට තිබෙන බැවින් කාපට් ඇතිරූ උමා ඔය ව්‍යාපෘතිය දිවෙන මාර්ගයේ තවත් කි.මි. 2 ක් පමණ යා යුතුය.  අපගේ ගමනේ නවාතැන මෙම පුරාණ භූමිය වන අතර මෙම විහාරය පිළිබඳවද විශේෂයෙන්ම යමක් කිව යුතුමය. සමස්ථ විහාර භූමියම සුවිශාල ගල් වලින් වැසී ඇත. විහාර ගෙය බුදු මැදුර, හිමිවරුන්ගේ කුටි, ආරාධිත කුටි, භාවනා කුටි ඇතුළු සෑම ස්ථානයකම වහළය වනුයේ මහ විශාල ගල් පර්වතයි. විහාර භූමිය පිටුපස අලංකාර දියඇල්ලක් තිබෙන අතර ඊට එහායින් ඇත්තේ මහා කැලයයි. උමං හා ගුහා කිහිපයක් තිබෙන අතර වනගත භාවනා සඳහා සකස් කොට ඇති ස්ථාන වනයේ තැනින් තැන දක්නට ලැබේ.

23-Rasa-P3-03

කෙසේ හෝ උදෑසන 10ට පමණ අප පන්සල් භූමියෙන් පිටත්ව උමා ඔය මාර්ගය අසලට පැමිණියේ වතුර බෝතල් 2ක් හා කැමරාව පමණක් අතැතිවය. මෙම ගමනේ අතිශය දුෂ්කර ජීවිත අවදානම පිරුණු කඳු නැගීම් තිබෙන අතර ඒ සඳහා කිසිදු කඹයක්වත් නොමැතිව ඒවා තරණය කිරීමට අදිටනින් මහ කැලයට පිවිසුනෙමු. ආරම්භයේ පටන් තරමක නැග්මක් තිබෙන අතර පාළු වී ගිය වගාවන් අතරින් දිශාව මානගෙන යා යුතුය. කිසිදු අඩිපාරක්වත් නොමැති අතර මුළු කැලයම අඳුරු ස්වභාවයකින් වෙලී තිබුණි. අහස් කුස වසාගෙන නැගී ඇති මහා රූස්ස ගස් වලින් පාවී වැටෙන වියළි ශාඛ පත්‍ර වලින් මුළු පොලෝ තලයමත් වසාගෙන තිබුණි. මීටර් 300ක් පමණ ගිය පසු හෙමිහිට දකුණු පසට බර වන්නට කැලය තුළට ගමන් ගත් අතර දිරා ගිය කොළ රොඩු යට තිබෙන බුරුල් පසට විටෙක අපව ලිස්සුණි. තවත් අප කැලයට ඇඳුණු අතර අප ආ මග නිවැරදි යැයි දක්නට ලැබුණේ ඉදිරියෙන් පිහිටි මාන පඳුරු යාය නිසාය.

මාන පඳුරු වල උස අඩි 5කටත් වැඩිය. ඒවා පීරගෙන පඳුරු මුල් මත නැග ගල් කුට්ටි මතට නැග අපි ඉදිරියටම ගමන් කළෙමු. මාන පඳුරු යායේ මීටර් කිහිපයක් ගමන් කළ පසු දකුණු පස වූ විශාල ගලට එපිටින් අප රිංගා ගත්තේ ඔඬේ සොයා ගැනීමේ අටියෙනි. අපගේ ගමන් මග නිවැරදි යැයි වැටහුණේ එම ගලට එපිටින් වූ ඔඬේ හමුවීමෙනි. මෙය ගල් ලෙනක් බඳුය. එහි මඳක් නැවතුණු අප පරිසරය විඳින්නට වූයෙමු. ඔඬේ යනු දිය පහර ගලාගෙන යන කුඩා නිම්නයයි. මෙම ඔඬේ නම් මාස ගණනකින් දිය පහරක් ගලාගෙන ගොස් නොමැත. මන්ද වැල් ගල් සහිත පතුල වනන්තරය හා එකලෙසම තිබීමයි. මෙම කැලයේ දිය දහරක් නැවත හමු නොවේ. ඉහත්තාවේ උල්පත් වලින් බට මගින් ජලය රැගෙන යන අතර අපට එම බට මාර්ග නම් හමුවූයේ නැත.

දැන් අපගේ ගමන යා යුත්තේ ඔඩය දිගේය. ඔඬේට ඉහළ බුරුල් පසේ හරහට අඩි තබමින් විටෙක දෑතින් පොළව අල්ලන් අප ඉදිරියට ගමන් කළේ අඩි තබන විට පස ගැලවී යන නිසාය. මෙසේ තවත් මීටර්  500ක් පමණ ගමන් ගත් අප ඔඬේට බැස ගත්තෙමු. ඔඩය දිගේ යෑම පහසුය. නමුත් තරමක් ක්‍රියාන්විතය. මන්ද ඔඬේ පුරා ඇත්තේ විශාල ගල් පර්වත හා ගල් කුට්ටි පමණි. ඒ අතර කඩා වැටී දිරාපත් වූ විශාල ගස් කඳන් බොහෝමයක් දක්නට තිබුණි. ගල් පර්වත වලට නැග පනිමින් ගලින් ගලට ඇවිද යමින් ක්‍රමයෙන් කඳු නැගීමක් නැවත ආරම්භ විය. ශුෂ්ක පළාතට අනුකූල සර්ප ගහණයක් මෙහි පවතින නමුත් අපට නම් කිසිදු සත්වයකු හමු නොවුණි. ඕලු මුවන් හා වල් ඌරන් සිටින බැවින් වනාන්තරයේ එක් පසෙක තුවක්කු බැඳ ඇති බව අපට දැනගන්නට ලැබුණි. එක්තරා අලංකාර ස්ථානයකට පැමිණි අප නැවතත් එහි විවේකයක් ගත්තේ ඒ පරිසරයෙ වූ සුන්දරත්වය නිසාය. විශාල ගස් වල පහළට එල්ලෙමින් ඇති වැල් රාශියකි. ඒවා මත නැග ඔංචිලි පැදීමටත් නිදාගෙන සිටීමටත් පුළුවන. එම වැල් සහිත ප්‍රදේශයේ මද වෙලාවක් නැවතුණු අපට කුඩා කළ සිහිවූයේ මෙම ස්වභාවික සෙල්ලම් රටාවන් නිසාවෙනි.

තවමත් අපට කඳු වළල්ල දැකිය නොහැක. ඒ මන්දයත් උඩු වියන කොළ පාටින් වසාගෙන ඇති හෙයිනි. විශාල ගල් මත නැග එහි වූ අතු රිකිලි මත එල්ලෙමින් අප බොහෝ ඉහළකට ඇදෙන බව දුටුවේ නැවත ආ මග දෙස හැරී බැලුවිටදීය. මෙම ගමන දළ වශයෙන් කිලෝමීටර් 4කට ආසන්නය. ඉතාමත් දුෂ්කර හා වෙහෙසකර ගමනක් වන මෙහි මගපෙන්වන්නෙකු නොමැතිව යා නොහැක. නමුත් අප මග පෙන්වන්නෙකු හෝ කඹයක්වත් නොමැතිව තනිවම මෙම ගමන ආවේ ක්‍රියාන්විත අත්දැකීම් පිණිසය. නැවතත් ගමන ඇරඹූ අපි එක එල්ලේ කිලෝමීටරයක් පමණ ඉදිරියට ඇදුනෙමු. ගිනි කාෂ්ටක අව්වේ අපට සරණය වූ ජල පරිමාවද ක්‍රමයෙන් අඩු වෙමින් පැවතින. කෙසේ නමුත් කටු අකුල් මැදින් ගල් පර්වත නගිමින් අප හිතට සැනසීමක් ගෙන දෙන ස්ථානයකට ආවෙමු. එනම් සිරස් ගල දිගේ ඉහළට නැගීමටයි.

23-Rasa-P3-09 23-Rasa-P3-10

මෙම ගල් තලාව මැද දෙබොක්කාවකි. වම් පස ගල් තලාව ඉහලට ඇදෙන බැවින් එහි නැගීම කිසිසේත්ම කළ නොහැක. දකුණු පස ගල් තලාව දිගට පැතිර තිබෙන නමුත් කඹයක් නොමැතිව එහි ගමන් කළ නොහැක. එම නිසා ගල් දෙබොක්කාව දිගේ ඉහළට නගින්නට පටන් ගත්තේ අප නිරුවත් දෙපයිනි. ගලේ තිබෙන කුඩා ගැටිති වලට අත් තබමින් ඉහළට එසවෙමින් එම ස්ථානයටම දෙපා තබමින් ගමන් කළ හැක. නමුත් දෙබොක්කාවේ මැද කොටසේ කුඩා දිය සීරාවක් වූ බැවින් ලිස්සන සුලු විය. නමුත් එයද ඉතා දුෂ්කරව ජයගත් පසු ඉහළට නගින අන්තිම කොටසේ කඩා වැටුණ ගස් කඳක් අල්ලාගෙන එය යටින් හීන් සීරුවට රිංගා යා යුතුය. ගස් කඳටද වැඩි බරක් නොදිය යුතුය. මන්ද කඳ ගැලවී ඉදිරි යා හැකි බැවිනි. තනිකරම ගල දිගේ ඉහළට නැගීමක් වූ බැවින් යන්තම් හෝ ලිස්සුවහොත් මරණය නියතය. මන්ද අපගේ දෑතටත් දෙපයටත් ඇති එකම පිහිට වූයේ ගල් තලාව වූ බැවින් කෙසේ හෝ අප එකිනෙකා වෙලාවගෙන පරිස්සමින් ඉහලට නැග ගත් පසු ගිමන් නිවා ගත් සේ ගල මත තිරස්ව වැතිරෙමිනි. මෙතැන සිට ඉහළටම යා යුත්තේ මේ දෙබොක්කාව මැදිනි. ඉහලට යන විට ගස් වැවී තිබෙන බැවින් ඒවා අල්ලගෙන ගල් කුට්ටි මත අඩි තබමින් යා හැක.

එසේ මීටර් 100ක් පමණ ඉතා දුෂ්කරව ඇදුණු පසු මීටර් 5ක පමණ කොටසක් යාමට සිදුවූයේ අගලකට වඩා දිගැති කටු සහිත යායක් මැදිනි. අප යන මගට එම කටු ගස වැටී තිබුණු අතර කටු ගස අල්ලාගෙන ගස යටින් රිංගා ඉතාමත් කුඩා ඉඩකින් ඉහළට නැගිය යුතු විය. ඉතාමත් දුෂ්කර ලෙස අමාරුවෙන් එම කොටස නැග ගත්ත ද කටුවක් දෙකක් අපේ අත් කකුල් වල ඇනී ලේ ගලන්නට විය. නමුත් ඒවා ගණනට නොගෙන ගමන ඉදිරියටම ඇදගත් අපට නැවතත් මීටර් 20ක පමණ ගල දිගේ නගින්නට ස්ථානයක් හමු විය. මෙම ස්ථානයේ දෙබොක්කාව දිගේ භාගයක් නැගිය හැකි නමුත් ඉතිරිය නැගිය නොහැක. ඒ අසල වූ ගුහාව ළඟට පමණක් යා හැක. නමුත් දකුණු පස විවෘත ගල් තලාවේ ඉහළ සිට පහළට වැටුණ විශාල වැල් 3ක් තිබුණා. අප වැරෙන් ඒවා ඇද්දත් කැඩෙන සුලු නොවූ හෙයින් මලිත් ප්‍රථමයෙන් එම වැල් අල්ලාගෙන ගල දිගේ ඇවිද යමින් ඉහළට නැග ගත්තේය. පසුව මාද නැග ආව අතර ඊළඟට අකිල කෙසේ හෝ අමාරුවෙන් නැග ගත්තේ හදිසියේ හෝ වැල කැඩුණහොත් මරණ නියත වූ නිසාය. එම ස්ථානය නම් ඉතාමත් භයානකය. අප ස්වභාවිකවම කඳු තරණය කළේ ගස් වැල් වල එල්ලෙමිනි. මෙය අපට ජීවිත කාලයටම අමතක නොවන අත්දැකීමකි. මෙම ගමන ජීවිත අවදානම සම්පූර්ණයෙන් ඇති භයානක ගමනකි. නමුත් අප ක්‍රමානුකූලව පෙර අත්දැකීම් මගින් ලද පන්නරය තුළින් මේ ගිරි දුර්ගය තරණය කළෙමු.

23-Rasa-P3-06 23-Rasa-P3-07

ඉන් පසු නැවත විශාල පඳුරු යටින් රිංගමින් විටෙක බඩ ගා යමින්ද අවසන් නැග්ම තිබෙන ස්ථානයට ආවෙමු. මෙතැන ගසක් තිබෙන අතර එය මීටර් 10ක් පමණ ඉහළට ඇදී ඇත්තේ වම් පස ගල දිගේය. අප ගල ඉහලට යා යුතු වන්නේ මෙම ගස දිගේය. එහිදී දකුණු පසට ගලත් වම් පසට හිස් අවකාශය නැත්නම් වැටුණහොත් මරණය පමණි. කෙසේ හෝ ක්‍රමානුකූලව ගස දිගේ නැගගත් අප තවත් අඩි 5ක් පමණ ගල්තලාවට නැග නැවතත් මීටර් 6ක් පමණ ගල් තලාවට හේත්තු වීගෙන හරහට ගමන් කළෙමු. ඉන් පසු අප පැමිණියේ කුරුලන්ගල සිතුවම් ඇඳි ස්ථානයටයි. එතැන වර්ග අඩි 100ක පමණ ඉඩක් පවතින අතර ආ පයින්ම ගල් තලාව දිගේ වැතිර ගිමන් හැරියෙමු.

මෙම ස්ථානය නම් චිත්‍ර කිහිපයක් ඇඳි ගල් තලාවකි. මෙය සිරස් ඉහළ ගල් තලාව පුරා චිත්‍ර ඇඳ ඇත. කොටින්ම කිවහොත් සීගිරි බිතු සිතුවම් ඇඳි ආකාරයටම ඇඳ තිබේ. මෙම චිත්‍ර රේඛාමය චිත්‍ර වන අතර ඇඳ ඇත්තේ රතු වර්ණයෙනි. මෙහි ඉතාමත් පැහැදිලිව දකින්නට ලැබෙන රූප වනුයේ කුරුල්ලන්, මොනරු, පිහාටු, සත්ත්ව හිස්, ලියවැල් රටා, ඩයිනෝසරයින් බඳු රූප වේ. විවිධ ආකාරයේ කුරුල්ලන්ගේ රූප ඇඳ තිබේ. වර්ග අඩි 20ක පමණ ප්‍රදේශය පුරාවටම මෙම සිතුවම් දක්නට ලැබෙයි. මේවා ඇන්දේ කවුරුන්ද? කුමන කාලයේද? මෙහි තේරුම කුමක්ද? මෙම සිතුවම් වර්ෂ ගාණක් පුරා අව්වට වැස්සට ඔරොත්තු දෙන ලෙස ඇන්දේ කෙසේද? මෙම ස්ථානය සොයාගනු ලැබුවේ කෙසේද? මෙහි වාසය කළේ කවුරුන්ද? මෙම සිතුවම් පිළිබඳ තවමත් නිශ්චිත පුරා විද්‍යාත්මක ඇගයීමක් සිදු කොට නොමැත. මන්ද මෙම ස්ථානය පිළිබඳව ලංකාවෙන්ම දන්නේ බොහෝ සුළු පිරිසකි. තවද මෙම ස්ථානයට පැමිණ ඇත්තේ සුළු පිරිසකි. ළඟා වීමට අතිශය අසීරු වන දුර්ගයක පිහිටි මෙම ස්ථානය පිළිබඳ මේ අවට නගරවාසීන් පවා දන්නේ නැත. සුමනරංසි හිමියන් පවසන අන්දමට මේවා වසර 5000ක් පමණ පැරණිය. තවද මෙම පර්වතය ආශ්‍රිත වන ලැහැබ තුළ කුරුල්ලන් බොහෝමයක් දක්නට ලැබෙන අතර හිරු උදාව හා සබැඳියාවක් පවතින බවත් උන්වහන්සේ අපට පැවසීය.

23-Rasa-P3-04

මන්ද මෙම ස්ථානයට දකුණු වෙරළ දක්වා විවෘත ප්‍රදේශය පවා දැක ගත හැකි අතර උදෑසන හිරු කිරණ හා මෙම ස්ථානය හරහා පියඹා යන සියොතුන් අතර යම් සංසිද්ධියක් මෙම ප්‍රදේශයේ තිබේ. එය ස්වභාවධර්මයේ තවත් අපූරු හමුවීමක් විය හැක. කෙසේ නමුත් අපි දැඩි ආයාසයක් ගෙන හැකි පමණ ඡායාරූප ගත්තෙමු. නමුත් මෙම චිත්‍ර මෙහි සිතුවම් කළ ජන කොට්ඨාසය මෙවැනි අතිශය දුර්ග බිමක සිටියේ කෙසේදැයි සිතන විට පුදුමයක් ඇතිවේ. අංශක 180ක සම්පූර්ණ ඉදිරිය පෙනෙන අතර මෙම ස්ථානයේ සුවසේ රාත්‍රිය ගත කිරීමට සුදුසු බව අපට වැටහුණි. නමුත් මෙම කන්දෙන් ඉහළ කොටසේ කිනිතුල්ලන් සිටින බැවින් ප්‍රවේශම් විය යුතුයි. වර්ෂාව නැති නිසාදෝ කුඩැල්ලන්ගෙන් කිසිදු කරදරයක් සිදු නොවුණි.

කෙසේ හෝ හෝරා දෙකක් පමණ නිදහසේ මෙහි කාලය ගත කළ අප නැවත කන්ද බැසීමට පටන් ගත්තෙමු. අප කන්ද නැගි සමහර ස්ථාන බසින විට ඉතාමත් අමාරු කාර්යයක් වූ බැවින් ඉදිරියෙන් ගිය මම සෙසු සගයන්ට නිවැරදි ඉරියව්ව හා ආ යුතු ආකාරය පෙන්නුවෙමි. පසුව එක එල්ලේ බැසගත් අප වැල් වල එල්ලී පහළට බැසීමට පටන් ගත්තේ කන්ද නැගී ආකාරයෙන්ම පිටුපසට යමිනි. ස්වභාවධර්මයේ චමත්කාරය විඳිනු පිණිස අප මෙවැනි ආකාරයේ ජීවිත අවදානමක් ගැනීම විටෙක අපට ද පුදුමයක් විය. මන්ද ගවේෂණශීලි මනසින් සිටි අප අපට හමුවන බාධක වල බැරෑරුම් කම ගැන නොසිතා ඉදිරියට ගමන් කළේ මෙවැනි අත්දැකීම් නැවත විඳීමට නොහැකි වේ යැයි සිතමිනි.

ගලේ නැගි අවස්ථා දෙකම ඒ ආකාරයටම පසුපසට යමින් බැසගත් පසු කටු අකුල් කැලයට බට ඔඬේ දිගේ ඉදිරියට ගමන් කළෙමු. නමුත් එක් සලකුණකදි ඔඬේ මග හැර කැලය දිගේ පාරක් සොයාගෙන ගිය අප අතරමං වුණි. නමුත් ස්වභාවධර්මයේ හැසිරීමට අනුව දිශාව තීරණය කරමින් අපි නේක විධ බාධක මැද දෑත දෙපා සීරෙමින් ඉදිරියටම ඇදුනෙමු. එහිදී අපට මීටර 200ක පමණ දිග මාන පඳුරු යායක් මැදින් යාමට සිදුවුණි. අපටත් වඩා උසයි. මාන පඳුරු පීරගෙන ගල් කුට්ටි මතින් පනිමින් ඉදිරියක් නොපෙනෙන ඉසව්වක් බලා හිතේ මිම්මකට ගමන් කළෙමු. පසුව අප එක්තරා රූස්ස ගස් පිරි ප්‍රදේශයකට පැමිණ මදක් විවේක ගෙන වම් පසට බරව ගමන් කළෙමු.  කෙසේ හෝ ගම්මානයට ජලය ගෙන යන බට පේලිය අපට හමුවුණි. එම බටයෙන් පිපාසය නිවාගෙන විඩාව නිවාගත් අප මීටර් 20ක් පමණ ඇවිද ගිය අතර එහිදී අපට ත්‍රීරෝද රථයක හඬ ඇසුණි. සියල්ලන්ගේම සිතට සැනසීම ආවේ එවිටයි.

කෙසේ හෝ අප පැමිණ තිබෙන්නේ අප ගමන ආරම්භ කළ තැනට මීටර් 100ක් පමණ පසුපසිනි. ප්‍රධාන මාර්ගයට ආ අපි එහි වැතිර නිදාගත්තෙමු.
සවස 6 වූ අතර අඩ අඳුර ප්‍රදේශයට ගලමින් තිබුණි. විහාරයට ගිය පසු ගත දොවාගෙන ආහාර ගෙන රාත්‍රී 8.30ට ඇල්ලෙන් පිටත් වූ අපි කිටි කිටි ගාන සීතලේ බණ්ඩාරවෙල, හපුතලේ පසු කරමින් පසු දින අලුයම 2.30 වන විට කොළඹට පැමිණියෙමු. අපගේ දෙපා හා දෑත හතළිස් පලක් පමණ සීරි ඇත. නමුත් අපගේ ක්‍රියාදාමය අතිශය සාර්ථකය. Travel in Sri Lanka-Sobasini හරහා එකතුව සම්පූර්ණ ඡායාරූප හා තවත් ගමන් නැරඹීමට ආරාධනා කරන්නෙමු.

විශේෂ ස්තූතිය මුහුණුපොතේ Adventure Holidays & Tours yg

 

ඔබගේ අදහස අපට කියන්න

Close