නාලාගිරි ඇත් රජු ජීවමානව දුටු භාවනාවේ නිරත භික්ෂුව

නාලාගිරි ඇතා කීවම ඔබට දැනෙන්නේ බියක්‌. රා පොවල වෙරිමතින් ලොව්තුරා බුදුරජාණන් ඉදිරියට වියරු ස්‌වභාවයෙන් පැමිණි නාලාගිරි ඇත් රජු ගැන ඔබ හොඳට අහල තිබෙනවා. ඔබ විශ්වාස කරයිද දන්නෙ නැහැ මෙහි සටහන් කරන දෙය. අදත් පුළුවන් අතීතයේ බුදුසමිදුන් අභියස දනනැමූ ඒ නාලාගිරි ඇත්රජුව දකින්න. හැබයි ඔබ නාලාගිරි ඇත්රජුව දකින්න නම් අතහැරීමේ උපරිමය තුළ ප්‍රතිප්‍රදාවේ යෙදෙන භික්‌ෂුවක්‌ වෙන්න ඕනේ. ඒ කියන්නෙ සැබෑ මධ්‍යම ප්‍රතිප්‍රදාවේ යෙදෙන භික්‌ෂුවක්‌.

භික්‌ෂුවක්‌ බදුල්ල දිස්‌ත්‍රික්‌කයට අයත් රක්‍ෂිතයක ගොදුරු ගමෙන් කිලොමීටර් එකාහාමාරක්‌ පමණ ඈතින් වනයේ හුදකලා කුටියක වැඩසිටියා. කුටියට වඩින්ට තිබෙන්නේ අලිමංකඩ ඔස්‌සේය. භික්‌ෂුව වැඩසිටිය කුටිය ගෙමිදුලින් තමයි අලිමංකඩ වැටී තිබුනේ. භික්‌ෂුව මේ කුටියට පැමිණි ප්‍රථම දිනයේම රාත්‍රී දහය වෙනකොට අලි තුන්දෙනෙක්‌ කුටිය පිටිපස පැය භාගයක්‌ පමණ අතු බිඳිමින් ආහාර ගෙන අලිමංකඩ ඔස්‌සේ ගමට වැදුනා. පසුදා උදෑසන භික්‍ෂුව පිණ්‌ඩපාතය වඩිනකොට භික්‍ෂුවට පේනවා ගමේ කුඹුරු කීපයක්‌ම අලි විනාශකර තිබීම නිසා මිනිසුන් පත්ව සිටි වේදනාව. භික්‍ෂුව මේ මොහොත වන විටත් කරණීය මෙත්ත සූත්‍රය හැර වෙන කිසිම සූත්‍රයක්‌ කටපාඩමින් සඡ්ජායනා කිරීමට නොදැන සිටියේය. පිරිත් පොතක්‌ද භාවිතා නොකළේය. නිවීම උදෙසා යන ගමනේදී ඒවා අවශ්‍ය නොවන බව භික්‍ෂුව දැනසිටියේය. එහෙත් එක්‌තරා ආරණ්‍යයකදී හමුවූ ස්‌වාමීන් වහන්සේ නමක්‌ භික්‍ෂුවට නාලාගිරි ගාථාව සහ අංගුලිමාල පිරිත ද, කඳ පිරිතද ලියා තබාගන්න යෑයි කීව නිසා භික්‍ෂුව තනිරූල් පිටුවක එම ගාථාව ලියා තබා තිබිණි.

එහි නාලාගිරි ගාථාව මෙලෙස සටහන් කොට තිබිණි.

”මා කුඤ්ජර නාග මාසදෝ

දුක්‌ඛං හි කුඤ්ජර නාග මාසදෝ

නහිනාග හතස්‌ස කුඤ්ජර සුගති හෝති

ඉතෝ පරං ගතෝ”

ඉහත ගාථාව නිවැරදි දැයි භික්‍ෂුව තවමත් ස්‌ථිරව නොදනී. එහෙත් භික්‍ෂුව භාවිතා කළේ ගාථාවේ ඉහත පද හතර පමණකි. භික්‍ෂුව ආශ්චර්යයක්‌ බලාපොරොත්තු නොවිණ. අවශ්‍යවූයේ තමා වෙනුවෙන් නොව, තමන්ට පිණ්‌ඩපාතය පූජා කරන දුප්පත් දායකයන් වෙනුවෙන් තාවකාලිකව හෝ යහපතක්‌ කිරීමටයි. ප්‍රතිඵලය කුමක්‌ වේදැයි භික්‍ෂුව නොසිතුවේය. නොදත්තේය. ඊට අමුතු ආයාසයක්‌ද, වෙහෙසක්‌ද නොගත්තේය. දිනකට ඉහත ගාථාව විසිපස්‌ වතාවක්‌ පමණ ශබ්ද නගමින් සඡ්ජායනා කළහ. දින දෙකක්‌ මෙසේ ගාථාව සඡ්ජායනය කිරීමේදී…. අරුමයකි¾ භික්‍ෂුව සමාධියෙන් පසුවෙද්දී කැළයෙන් මතුවන ඇත් රුවක්‌ පෙණිනි. ඇතෙක්‌ නොව ඔහු ප්‍රතාපවත් ඇත් රජෙකි. දිළිසෙන ප්‍රභාෂ්වර කලු පැහැයෙන් යුත් ශරීරය සමාන්‍ය ඇතෙකුට වඩා පලලින් යුක්‌තිය. එය හරියට පෙරහැරේ යන ඇතෙකුට ඇඳුම් ආයිත්තම් ඇන්දවූ පසු පලලට පෙනෙනවා සේය. දිග ඇත්දළ යුගළකි. එහි කෙළවර දෙකට රන්වන් කොපු දමා ඇත. හිසේ ඉදිරි කොටස ආභාරණවලින් සරසා ඇත. ඇත්රජුගේ ඇස්‌ දෙකෙන් ඉතා තියුණු දීප්තිමත් සුදුපැහැති ආලෝකධාරා දෙකක්‌ විහිදේ. එම ආලෝකය ඉතා තියුණුය. ඉහත ගාථාව සඡ්ජායනා කරන විට මෙම ඇත්රුව දිනකට හතර පස්‌ වතාවක්‌ භික්‍ෂුවට සමාධියේදී දිස්‌වේ. බලන්න ධර්මයේ ආශ්චර්යය. ඔබ දක්‍ෂ නම් මීට වසර 2500 කට පෙර ජීවත්වූ නාලාගිරි ඇත් රජුවද වර්තමානයේදී දැකිය හැකිය.

මේ ඇත් රජු දර්ශනය වීමත් සමඟම, භික්‍ෂුව එම කුටියේ වැඩ සිටි මාස දෙක පුරාවට ගමට පැමිණි අලි ගමට තබා, කුටිය අසලටවත් පැමිණියේ නැත. භික්‍ෂුව කුටිය අතහැර ගිය පසු කුමක්‌ වූවාද යන්න භික්‍ෂුව නොදනී. මෙය භික්‍ෂුවගේ ආශ්චර්යයක්‌ නොව, ධර්මයේ ආශ්චර්යයකි. අතහැරීමේ ක්‍රියාවලියේ ආශ්චර්යයකි.

මෙහිදී සිදුවන දෙය පුදුමාකාරය. භික්‍ෂුවට මේ දිව්‍ය ඇත්රජු සමාධියේදී පෙනෙනවා සේම, අලින්ටද මේ ඇත්රජු දර්ශනය වේ. ඇත්රජුගේ තේජස්‌ දෑස්‌වලින් විහිදෙන ප්‍රභාශ්වර ආලෝක ධාරා දෙක නිසා කැලේ අලි බියට පත්වේ. සද්ධන්ත කුලයේ ඇතෙකු දැක පලායන අලින් සේ ඉහත ගාථාව භාවිතා කිරීමේදී, සඡ්ජායනා කිරීමේදී අලි මඟහැර යන්නේ නාලාගිරි ඇත්රජු දිව්‍ය ආත්මභාවයක සිට බුදු අණින් යුත් ඉහත ගාථාවෙන් කරන ආරාධනයත් සමඟ වඩින නිසාය. ලොව්තුරා බුදුසමිඳුන් අභියස දණගැසූ නාලාගිරි ඇත්රජු, බුද්ධ අණින් මේ මොහොතේද අර්ථවත්ව, නිවැරදිව නිවන් මඟ වඩනා බුදු පුතුන් ආරක්‍ෂා කිරීමට පෙනී සිටියි. බුදු පුතුන්ගේ අණට දර්ශනය වේ. හැබැයි ගාථාව සඡ්ජායනා කළ පමණින් එය කළ නොහැක. ගාථාව භාවිතා කරන්නා තුළ අතහැරීම උපරිමයෙන් තිබිය යුතුය. ඉහත කුටිය පරිහරණය කරන විට භික්‍ෂුවට තුන් සිවුරත් පාත්‍රයත් හැර අන්දෙයක්‌ එහි නොතිබිණි. අතහැරීමේ උපරිමය තුළ නාලාගිරි ගාථාවේ සාර්ථකත්වය ඔබත් අත්විඳින්න.

භික්‍ෂුව මේ ලියන මොහොතේද ඉහත ගාථාව නිවැරදි දැයි නොදත්තේය. ඒ එම ගාථාවද භික්‍ෂුව අතහැර දැමූ නිසාය. එහි නිවැරදිභාවය සෙවීමට, එහි පද අඩුදැයි සෙවීමට උන්වහන්සේට මේ මොහොතේද අවශ්‍ය නොවේ. එය අතහැරීමේ ස්‌වභාවයේ උපරිමයයි. භික්‍ෂුව මෙම ගාථාවේ නිවැරදිභාවය සෙවීමට ගියා නම් උන්වහන්සේට මේ ගාථාවෙන් ප්‍රාතිහාර්යයක්‌ දැකිය නොහැක. මන්ද එසේනම් උන්වහන්සේ ගාථාව තුළ නිත්‍යභාවයක්‌ දකින නිසාය. සමහරවිට මේ කියවන ඔබට ගාථාවේ පද අඩු බවට, වැරදි ඇති බවට විචිකිඡ්ජාවක්‌ ඇතිවිය හැකිය. එය අතහැරීමේ ස්‌වභාවය නොවේ. අල්ලාගැනීමේ ස්‌වභාවයයි.

ඔබ යමක්‌ සොයන්නේ නම් සෙවීමට නිත්‍ය යමක්‌ තිබිය යුතුය. වැරදි සොය සොයා සිටීම දුර්වලතාවයකි. ලැබුණ දේ ගලපාගැනීමට ඔබ දක්‍ෂ විය යුතුය. ගාථාව, පිරිත යනු අනිත්‍ය පද පෙළකි. එම අනිත්‍ය දකිමින් එය භාවිතා කිරීම ප්‍රථිඵලදායකය. භික්‍ෂුව දන්නා නිවීමේ ප්‍රතිපදාව මෙයයි. එහෙත් ඔබ ආමිසය තුළ බුදුරජාණන්වහන්සේට පූජා පවත්වන පිංවතෙකු නම් ගාථා පිරිත් වල අර්ථ වශයෙන් දැක සඡ්ජායනා කිරීම අත්‍යවශ්‍යය. ප්‍රතිඵලදායකය. ලෞකික ජීවිතය යහපත්ව හැඩගස්‌වාගැනීමට උපකාරී වේ. ඉහත මාර්ග දෙක ඔබ පටලවා නොගන්න.

ලොව්තුරා බුදුසමිඳුන් නාලාගිරි හස්‌තිරාජයාට දේශනා කළ ඉහත ගාථාව, උපරිම මට්‌ටමින් ප්‍රතිඵල පෙන්වූ අවස්‌ථාවක්‌ ලෙස භික්‍ෂුව ඉහත අවස්‌ථාව දකියි. බුදුරජාණන් වහන්සේ යම් අරමුණකින් ඉහත ගාථාව නාලාගිරි හස්‌තියාට දේශනා කළාද, ඉන් ප්‍රතිඵල ලැබුවාද, භික්‍ෂුවටත් එය එසේම සිදුවිය. බුදු වදනේ ආශ්චර්යය මෙයයි. සත්‍යතාවය මෙයයි. එය අත්විඳිය හැක්‌කේ අතහැරීම තුළම පමණි. භික්‍ෂුව ඔබට නැවතත් කියයි. ඔබේ අවබෝධය සඳහාම”….

භික්‍ෂුව ඉහත කුටියේ වැඩසිටින මාස දෙකක කාලය තුළදී හුණු මිශ්‍ර දොලේ ජලය පාවිච්චි කිරීම නිසා මුත්‍රමාර්ගයේ ආබාධ වලින්ද, ආහාර මදකම නිසා ලේ වල සීනි හිඟවීමේ ක්‌ලාන්තයෙන්ද පීඩා වින්දේය. එහෙත් ඒ සෑම පීඩාවක්‌ම ජයග්‍රහණයක්‌ කරගැනීමට භික්‍ෂුවට හැකිවිය. එම පීඩාවන් නිවන් මඟට ආශිර්වාදයක්‌ කරගත්තේය. නාලාගිරි හස්‌තිරාජයා දර්ශනය කරගැනීමද එම ආශිsර්වාදයේ ප්‍රතිඵලයකි. ඇතිවෙන්නාවූ ස්‌වභාවික තත්ත්වයන්ට මුහුණ දෙනවා විනා, නිවීම උදෙසා උවමනාවෙන් දුක්‌ විඳිය යුතුය යන වැරදි මතයට ඔබ නොඑන්න. මෙම අර්ථයන් ඔබ වැරදි අයුරින් ක්‍රියාත්මක කළොත් ඔබ මානසික රෝගියෙක්‌ වීමටද ඉඩකඩ ඇත. එහෙයින් ඔබ නිරතුරුවම මඟවැඩූ කල්‍යාණමිත්‍රයකුගෙන් ගුරුවරයෙකුගෙන් අවශ්‍ය උපදෙස්‌ ලබාගන්න. ඔබ මෙය කියවා නාලාගිරි හස්‌තිරාජයා දකින්නට ආශාවෙන්, ඉහත ගාථාව කොතෙක්‌ සඡ්ජායනය කළද, ඔබට ප්‍රතිඵල නොලැබෙනු ඇත. ආශාවෙන් අල්ලාගත් තැන ධර්මයේ ප්‍රතිඵල ශූන්‍ය වේ. ආශාව අතහැරුණු කළ ධර්මයේ ප්‍රතිඵල උදාවේ. ආශාව අතහැරෙන්නේ ප්‍රඥාව වැඩීමෙන් පමණක්‌මය. ප්‍රඥාව වැඩීමේ ජලය වන්නේද, පොහොර වන්නේද සතර සතිපට්‌ඨානයයි. සතරසතිපට්‌ඨානයෙන් ඔබ ලබන ඵලය අනිත්‍යයයි. අනිත්‍යය අවබෝධයෙන් ඔබට ලොව්තුරා බුදුසමිඳුන්වද, නාලාගිරි හස්‌තිරාජයාවද, ඔබවද, සතර සතිපට්‌ඨානයද ලෝකයද අතහැරෙනු ඇත.

මේ සියල්ල මෙසේ සිදුවෙද්දී ගම්වැසියන් සිතුවේ භික්‍ෂුව මන්ත්‍ර ගුරුකම් දන්නවා කියාය. මන්ද භික්‍ෂුව ගමට වඩින්නට ගත් කාලයේ පටන් අලින් ගම් නොවැදුණු බැවිණි. මිනිසුන්ගේ මේ මතයන් නිවැරදි කිරීමට භික්‍ෂුවට අවශ්‍ය නොවීය. අනුන්ගේ සිත් තුළ ඇතිවන සිතිවිලි භික්‍ෂුවට අදාළ නොවේ. නමුත් මෙසේ ගතවෙද්දී එක්‌ තරුණයෙක්‌ භික්‍ෂුව මුණගැසීමට පැමිණ තමා හමුදාවට බැඳීමට යන නිසා ආරක්‍ෂාවට යන්ත්‍රයක්‌ සකස්‌ කරදෙන මෙන් ඉල්ලා සිටියේය. එහිදී භික්‍ෂුව එම තරුණයාට මෙසේ ප්‍රකාශ කළේය. zපුතේ, මා දන්නේ එකම ආරක්‍ෂාවයි. ඒ තමයි තුණුරුවන්ගේ ආරක්‍ෂාව. වෙන ආරක්‍ෂාවක්‌ කරන්න මම දන්නේ නැහැ”

ලෝකයේ ඔබව සුරැකෙන ශ්‍රේෂ්ඨම ආරක්‍ෂාව මොකක්‌ද කියලා ඔබ දන්නවාද?

ඔබ සියල්ල අතහරින්න. ඔබට ආරක්‍ෂා කරන්න, ආරක්‍ෂාවෙන්න කිසිවක්‌ම නැහැ. සත්වයෙක්‌ පුද්ගලයෙක්‌ නැති තැනකට කුමන ආරක්‍ෂාවක්‌ද? කාගෙන් ආරක්‍ෂාවක්‌ද? කුමක්‌ ආරක්‍ෂාකිරීමක්‌ද? මෙලොව සුරක්‍ෂිත එකම පුද්ගලයා ධර්මය අවබෝධකරගත් උත්තමයාය.

පිංවත් අයෙක්‌ වරක්‌ භික්‍ෂුවගෙන් ඇහුවා ”ඇයි ඔබවහන්සේ පිරිත් කටපාඩමෙන් නොදන්නේ, පිරිත් පොතක්‌ භාවිතා නොකරන්නේ?” කියලා. එවිට භික්‍ෂුව ලබාදුන් පිළිතුර තමයි, ඔබ භික්‍ෂුවගේ සිත, කය, වචනය ක්‍රියාත්මක වන ස්‌වරූපය දකින්න. ඒ ඔබ දකින්නේ පිරිවානා පොත් වහන්සේය කියලා. පිරිත් තිබෙන්නේ සඡ්ජායනා කිරීමට, ශ්‍රවණය කිරීමට පමණක්‌ නොවේ. එහි හරය, සාරය, අර්ථය ජීවිතයට එකතු කරගැනීමටය. ඔබත් දක්‍ෂවෙන්න, ඔබගේ ජීවිතය පිරිත්පොතක්‌ කරගන්න. එවිට ඔබේ ආරක්‍ෂාවට යන්ත්‍ර, මන්ත්‍ර, ගුරුකම් අවශ්‍ය නොවනු ඇත.

(මා හට අහම්බයෙන් මුණගැසුණු, වනවාසී ස්‌වාමීන්වහන්සේ නමක්‌, මා වෙත ලබාදුන්, තම වනවාසී භික්‍ෂු ප්‍රතිපදාව තුළ ලද අත්දැකීම් සටහන් කළ පොත් කිහිපයක්‌ ඇසුරින් මේ ලිපි මාලාව ඔබට ඉදිරිපත් කරමි).

ඉන්ද්‍රජිත් සුබසිංහ

ඔබගේ අදහස අපට කියන්න

Close