පාසල් ඉදිරිපිටින් ඵල රහිත පුවරු ගලවමුද

ගාලු පාරේ කොලඹට ආසන්නයෙන් පිහිටි නගරයක ඇති ප්‍රධාන පාසලකි. දිගු කලක් අපේක්ෂා කළ පිහිනුම් තටාකයක් ඉදිකිරීම වෙනුවෙන් මුදල් අනුමත වී ඇති බව ලෝකයට කියාපාන්නේ පාසලේ ඉදිරිපස තාප්පයේ සවිකළ දැවැන්ත බැනරයකි.
එහි මෙවැන්නක් සදහන්ව තිඛේ.
අතිගරු ……. මැතිතුමාගේ ආශීර්වාදයෙන්
අතිගරු ……………. මැතිතුමාගේ මග පෙන්වීමෙන්
ගරු …………… මැතිතුමාගේ යෝජනාවෙන්
ගරු ……………. මැතිතුමාගේ දිරි ගැන්වීමෙන්
ගරු …………….. මැතිතුමාගේ ඉල්ලීම මත
ගරු…………. මැතිතුමාගේ සහයෝගයෙන්

ලක්ෂ … ප්‍රතිපාදන වෙන්කර දුන් ………….. ඇමතිතුමන්ට අපගේ ස්තූතිය…
මෙවන් අරුම පුදුම බැනරයන් දක්නට ලැඛෙන ලෝකයේ එකම රට ලංකාව විය යුතුය. මෙහි මග පෙන්වූ ආශීර්වාද කළ , දිරි ගැන්වූ සහය දුන් සියලුම දේශපාලන නායකයන් සදහන්ව ඇත. එහෙත් මෙවන් ව්‍යාපෘති වෙනුවෙන් මුදල් සපයන්නා ජනතාව බව ලියන්නට අමතක වී ඇති සෙයකි. නැතහොත් එය අමතක කරන්න්ට බල කර ඇති බවකි මින් කියවෙන්නේ.
ලංකාව වැනි රටක දේශපාලන නායකයින් තමන්ගේ හුදු ප්‍රචාරණය උදෙසා මෙවන් බැනර් භාවිතා කරන බව අප දන්නෙමු. පාසල් ඉදිරිපිට අනිවාර්යයෙන් මෙවන් එක් බැනරයක් හෝ පවතී. එයින් කියවෙන්නේ ජනතාවගේ බදු මුදල් මහජනයාගේ සුබ සිද්ධිය වෙනුවෙන් වැය කිරීම ගැන වුවද ඒ වෙනුවෙන් වන්දිබට්ටකම් කිරීමට පාසල් පරිපාලනයන් හෝ දෙමාපියන් යොමුවන්නේ නම් එතැනින් බිහිවන සමාජය ගැන අමුතුවෙන් කිව යුත්තක් නැත.

අප රට තුල ඉදිකරනු ලබන ඇතැම් රජයේ ව්‍යාපෘති කාලයක් යන තුරු විවෘත කරන්නට ඉඩ නොලැඛෙන අවස්ථා බොහෝමයකි.ඇතැම් විට ඒ වෙනුවෙන් එන්නට නියමිත සම්භාවනී්‍ය අමුත්තාට වේලාවක් ලැඛෙන තුරු ඒවා විවෘත කිරීම කල් දැමෙයි. නැතහොත් අමුත්තන් සියල්ලන්ටම හැකි දිනයක් යොදන්නට කල් යයි.
එසේම එක් අමුත්තෙක් පැමිණ එම ව්‍යෘපෘතිය විවෘත කරන්නට පෙර ඔහුගේ සතුරු පාර්ශවයේ අයකු පැමිණ එය විවෘත කිරීමෙන් මතුවන්නේ උණුසුම් තත්ත්වයකි.
මේ සියල්ල එකිනෙකට බැදුණු ඵල රහිත දාමයන් මාලාවක් පමණකි.

ශ්‍රී ලංකාව වැනි දියුණුවෙන්නට වෙර දරන රටකට කාලයේ වැදගත්කම අමිලය. එසේම රටේ ඉදිරියට බිහිවන පරපුර වන්දිභට්ටයින් නොවී උසස් මනසකින් යුත් නිහවල් මිනිසුන් බවට පත් කිරීම අත්‍යාවශ්‍යය. එහෙයින් පාසල් ඉදිරිපිට සවිකර ඇති ලොකු ලොක්කන්ගේ ගුණ ගයන ප්‍රතිපාදන දැන්වීම් ඉවත් කර දමන්නට රජය පෙළඹෙන්නේ නම් එය වඩාත් ඵලදායි වනු ඇත. මහජනතාව බදු ගෙවන බව ඔවුන්ට සිහි කරන්නට හා බදු ගෙවීමේ වටිනාකම පෙන්වා දෙන්නටද එය සාධකයක් වනු නිසැකය.
එහෙයින් එවන් ව්‍යාපෘතිවල ලියවිය යුත්තේ ඔඛේ බදු මුදලින් අපේ පාසලට පිහිණුම් තටාකයක් හිමිවූ බව මිස අන් යමක් නොවන බව අප විශ්වාසයයි.
දෙවැන්න වන්නේ එවන් ව්‍යාපෘති විවෘත කරන්නට පවත්වන්නාවූ නාස්තිකාර වියදම් නතර කිරීමයි. මෙවන් වැඩසටහන් වෙනුවෙන් රජයේ මුදල් විශාල වශයෙන් වැය වන අතර එය පාසල්වලනම් දරුවන්ටත් ඒ ආසන්න ව්‍යාපාරිකයින්ටත් මතු කරන්නේ හිසරදයකි. පාසලකට පරිගණක විිද්‍යාගාරයක් තැනුවේ නම් එය විවෘත කරන්නට මාසයක් කල් දැමීම හෝ උත්සව පැවැත්වීම නොව පසුවදා සිටම එහි කටයුතු ආරම්භ කිරීම වඩා ඵලදායී වනු ඇති බව අමුතුවෙන් කිව යුතු නැත.
එසේ නොවන බව කියන්නට මනා උදාහරණ වන්නේ ග්‍රාමී්‍ය වශයෙන් ඉදිකරන ලද ඇතැම් රෝහල් ගොඩනැගිලි තවමත් ලොකු ලොක්කන් එන තෙක් විවෘත නොකර වල් වදින්නට ඉඩ හැර තිබීමය.
එහෙයින් අනවශ්‍ය පුරාසාරම් හා මහජන බදු ගෙවීම් අධෛර්යයමත් කරන දැන්වීම් පුවරු  පාසල් ඉදිරිපිටින් ඉවත් කිරීමටත් නිමාවූ ව්‍යාපෘති පළ රහිත උත්සව හා කල් දැමීම්වලින් තොරව භාවිතයට ගැනීමටත් බලධාරීන්ට හැකිනම් එයින් මතුවන්නේ රට දියුණු කිරීමේ සැබෑ උවමනාවය.ආසියානු දේශපාලනයේ දියුණු නොවු දේශපාලන සංස්කෘතියක උරුමකරුවන් වන අප රටේ ජනතාව එවන්නක් අපේක්ෂා කළද එය ඉටු වනු ඇතැයි විශ්වාස තැබීම උගහට බවද අසෙන්නට පෙනෙන්නට තිඛෙන සත්‍යය මිස අන් කවරක්ද ?

ඔබගේ අදහස අපට කියන්න

Close