මැති ඇමතින්ට මැති සබයේ නින්ද යාමේ අතීතය

අපේ රටේ දේශපාලනඥයන් ජනතා ප්‍රශ්න සම්බන්ධයෙන් සැලකිල්ලක් දක්වන්නේ නැතිවිට පුවත්පත්වල විශාල අකුරුවලින් පළවන්නේ ඇමැති මර නින්දේ කියාය. නැතිනම් දේශපාලනඥයින් නින්දේ යනුවෙනි.
එවැනිම ශීර්ෂපාඨ පසුගිය සතියේදී පුවත්පත්වල පළවිය. ඒ මැති ඇමැතිවරු නිදාගන්නා ඡායාරූපද සමගය. මීට පෙර අවස්ථා කිහිපයකදී ප්‍රසිද්ධ උත්සවවලදී නිදාගත් මැති ඇමැතිවරුන්ගේ ඡායාරූප පුවත්පත්වල පළවී තිබුණත් පාර්ලිමේන්තුවේදී නිදාගත් මැති ඇමැතිවරුන්ගේ ඡායාරූප පුවත්පත්වල පළවී තිබුණේ නැත. මේ ඡායාරූපවල හුන්නේ මුදල් ඇමැති රවි කරුණානායක අයවැය ‍ලේඛනය ඉදිරිපත් කරන අවස්ථාවේදී නිදාගත් මැති ඇමැතිවරුය. ඒ අතරේ හොඳටම කැපී පෙනුණු ඇමැතිවරයා වූයේ නිමල් සිරිපාලද සිල්වාය. ඔහු මැති සබයේ පමණක් නොව ප්‍රසිද්ධ වේදිකාවේද නිදාගන්නා අයෙකු ලෙස ප්‍රකටය. මැති ඇමැතීන් මැති සබයේ නිදා ගන්නා ආකාරය රූපවාහිනී නාලිකාවක ප්‍රවෘත්ති විකාශනය අතරතුරේදී පෙන්නුවේ “අවදිවන්න අවදිවන්න දීප්තිමත් දිනකි උදාවෙලා තියෙන්නේ” යන ගීතය පසුබිමෙන් ඇහෙන්නට සලස්වමිනි.
මැති ඇමැතිවරුන්ගේ නින්ද ගැන විටින්විට අපූර්ව කතා අසන්නට ලැබේ. පාර්ලිමේන්තුවේදී ඇතැම් ඇමැතිවරු නිදාගත්තද සමහර ඇමැතිවරු කෙටි නින්දක් ගන්නේ වාහනයේ ගමන් කරමින් සිටියදීය. වාහනයේ ගමන් කරමින් සිටියදී කෙටි නින්දක් ලබා අලුත් ජවයක් ගන්නා ඇමැතිවරු අතර නම් දරා සිටි අයෙකු විය. ඔහු ලලිත් ඇතුළත්මුදලිය. ලලිත් සාමාන්‍යයෙන් දිවා ආහාරයෙන් පසුව විනාඩි කිහිපයක නින්දක් ලබයි. ඉංග්‍රීසි බසින් එය හැඳින්වූයේ ‘නැප්’ යනුවෙනි. බොහෝවිට ඔහු ඒ නින්ද ලබන්නේ වාහනයේ ගමන් කරමින් සිටින විටදීය.
රංජිත් අමරකීර්ති පලිහපිටිය රචිත ‘නොනිමි මෙහෙවර’ ලලිත් ඇතුළත්මුදලි චරිතාපදානයේ එය සඳහන් වන්නේ මෙසේය.
“හේ දහවල් කාලයේදී සාමාන්‍යයෙන් දිවා ආහරයෙන් පසුව විනාඩි විස්සක පමණ කෙටි නින්දක් ලබයි. වාහනයේ යද්දී නම් ආරක්ෂක පටිය බඳ වටා බැඳගෙන විවේක සුවයට සැරසෙයි.
“මට විනාඩි විස්සක නින්දකින් පසු දැනෙන්නේ අලුත් උදෑසනක් වගෙයි” ලලිත් කීය.
ඔහුගේ මනස අර්බුදවලින් පහසු ලෙස පීඩාවට පත්කළ නොහැකියි සිතමි. චිත්තවේග ආවේගවලින් සිත නොසන්සුන්වී නින්දක් නම් පේන තෙක් මානයක නොවෙතියි සිතෙන අර්බුදකාරී අවස්ථාවලදී ද ඔහු සුවසේ නිදනු දුටිමි. ලලිත් කර්කශ වූ දහවල වාහන වේගය, ඝෝෂාකාරී කතාබහ අතරේ සුවසේ නිදන්නේය. ඇතැම් දිනක ඈත එපිට දුර ගමනක් ගොස් එද්දී දින ගණනක ගමන් වෙහෙස හා මානසික විඩාවෙන් යුක්ත වනවිට ඔහු සියල්ල අමතක කර සුපුරුදු නින්දට වැටෙයි. එක් ඇඳිරියක ඔහු නින්දට වැටිණි.
“රෑට නින්ද යනවද දවල් වෙලාවේ නිදාගත්තම” මම විචාලෙමි.
“දහයට මම නිදි” ඔහු කීය.
“ඒත් රත්මලාන ආසනය හරහා යද්දී කවදාවත් නිදාගන්නේ නෑ” රත්මලාන ඔහු දා හතර වසරක් අඛණ්ඩව නියෝජනය කළ කොට්ඨාසයයි.
ලලිත් ඇතුළත්මුදලි මෙන්ම වාහනයේ ගමන් කරමින් සිටිනවිට නිදා සිටීමට ප්‍රිය කළ ප්‍රකට දේශපාලනඥයෙක් දකුණේ හුන්නේය. ඔහු දැන් අප අතර නැත. ඔහු වාහනයේ ගමන් කරමින් සිටියදී නිදා සිටින්නේ නම් රියැදුරා පරිස්සමින් වාහනය පැදවිය යුතුය. වාහනය පාරේ ඇති වළක වැටී හෝ එක්වරම තිරිංග තදකර වාහනය ගැස්සී ඇමැතිවරයාගේ නින්දට බාධා වුහොත් රියැදුරාට “හොඳවයින් දෙකක්” අසාගැනීමට සිදුවෙයි. නැතිනම් ඇමැතිගේ අණින් රියැදුරාට එතැනදීම වාහනයෙන් බැස යාමට සිදුවෙයි. ඇතැම් විට මහ රෑ මහ මග බසින රියැදුරාට නිවසට යාමට වෙනත් මාර්ගයක් සොයාගැනීමට සිදුවෙයි.
ටික කාලයක් යනවිට රියැදුරා හදිසියේ ගෙදර යාමට නිවාඩු ලබාගැනීමට අවශ්‍ය නම් ඔහු අපූරු උපක්‍රමයක් අනුගමනය කළේය. එනම් සිතාමතාම වාහනය වළක දැමීමයි. ඉන්පසුව බැණුමකුත් අසාගෙන වාහනයෙන් බැසයන ඔහු නැවත සේවයට පැමිණෙන්නේ ඇමැතිවරයාගේ කේන්තිය නිවී යන කාලයේ නිල නොවන නිවාඩුවක්ද ගතකරය.
කෙසේනමුදු වාහනවල ගමන් කරමින් සිටියදී හෝ වෙනත් අවස්ථාවලදී නිදාගන්නවාට වඩා පාර්ලිමේන්තුවේ අයවැය ‍ලේඛනයක් ඉදිරිපත් කරන අවස්ථාවේදී මන්ත්‍රීන් නින්දට වැටීම කාගේත් අවධානයට ලක්වූවක් විය. පාර්ලිමේන්තුවේ රැස්වීම් පැවැත්වෙන අවස්ථාවලදී සභා ගර්භයේ සිට ‍පොත් පත්තර කියවීම, කතාව පවත්වන මන්ත්‍රීවරයාට බාධා වන ආකාරයෙන් අල්ලාප සල්ලාපයේ යෙදීම තහනම් කර ඇත්තේ පාර්ලිමේන්තු ස්ථාවර නියෝග මගින්ය. ස්ථාවර නියෝග කඩකිරීම් ගැන පාර්ලිමේන්තු හැන්සාඩ් වර්තාවන්හි සඳහන් වෙයි. එහෙත් පාර්ලිමේන්තුවේ නිදාගෙන සිටි මන්ත්‍රීවරයෙක් නැගිටුවීම ගැන හැන්සාඩ් වාර්තාවන්හි සඳහන්වී නැත.
දිවා ආහාරයෙන් පසුව පාර්ලිමේන්තු සභා ගර්භයට පිවිසෙන මන්ත්‍රීවරුන්ට ස්වභාවයෙන්ම නිදිමත ස්වභාවයක් ඇතිවන්නේ සභා ගර්භයේ ඇති වායුසමීකරණ යන්ත්‍රවල ප්‍රබලතාව නිසා යැයි ඇතැම්හු පවසති. එහෙත් පාර්ලිමේන්තුව තුළ මන්ත්‍රීවරුන්ගේ නිදාගැනීම් ජයවර්ධනපුර කොට්ටේ පමණක් නොව ගාලු මුවදොර පිහිටි පැරණි පාර්ලිමේන්තුව දක්වාම විහිද යයි. පරණ පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරුන්ගේ නිදාගැනීම් ගැන මතකයන් අවදි කළේ අගමැතිවරු නම දෙනෙකුගේ ‍ලේකම්වරයා වූ කීර්තිමත් සිවිල් සේවකයකු වන බ්‍රැඩ්මන් වීරකෝන්ය.
“බණ්ඩාරනායක මහත්මයා අගමැතිවරයා ලෙස කටයුතු කරන කාලයේදීත් මේ ආකාරයට පාර්ලිමේන්තුවේ මන්ත්‍රීවරු නිදාගත්තා. දිනක් විරුද්ධ පක්ෂයේ මන්ත්‍රීවරයෙක් අගමැති බණ්ඩාරනායක විවේචනය කරමින් කතාවක් කළා. ටිකවෙලාවකින් බණ්ඩාරනායක අගමැතිවරයා ආණ්ඩුවට චෝදනා එල්ල කළ මන්ත්‍රීවරයාට පිළිතුරු දීමට නැගී සිටියා. ඒත් ඒ වනවිට චෝදනා එල්ල කළ මන්ත්‍රීවරයා පාර්ලිමේන්තුවේ සිටියත් කතාව අසාගෙන සිටියේ නැහැ. ඔහු නිදාගෙන සිටියා. ඒ වෙලාවේ ආණ්ඩු පක්ෂයේ මන්ත්‍රීවරයෙක් නැගිටලා සර් අර මනුස්සයා නිදි කියලා අගමැතිතුමාට කිව්වා. ඒ වෙලාවේ බණ්ඩාරනායක අගමැතිවරයා අපූරු උත්තරයක් දුන්නා. ඔහු ඉංග්‍රීසියෙන් කිව්වේ “ලෙට් ද ලයිස් ඩෝග්ස් ටු ස්ලීප්” “බොරුවට බුරන බල්ලන්ට නිදාගන්න ඉඩඅරිමු” කියලයි. බණ්ඩාරනායක යුගයේදී පාර්ලිමේන්තුවේදී නිදාගත් මන්ත්‍රීවරුන්ට මුහුණපෑමට සිදුවූ රසබර කතා බ්‍රැඩ්මන් වීරකෝන් සිහිපත් කළේය.
එජාපයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ ඇමැතිවරයෙක් ලෙස කටයුතු කළ එම්.ඩී.එච්. ජයවර්ධන වරක් පරණ පාර්ලිමේන්තුවේ නිදාගෙන සිටියේය. ඔහු නිදා සිටින බව දුටු විපක්ෂයේ මන්ත්‍රීවරයෙක් ඒ ගැන ඔහුගෙන් ඇසුවේය.
“නෑ… මම නිදාගෙන හිටියේ නැහැ. මම පුටුවට හේත්තු වෙලා සාවධානව පාර්ලිමේන්තුවේ කරන කතා අසාගෙන හිටියා” කියමින් එම්.ඩී.එච්. ජයවර්ධන තමන්ගේ ඇඟ බේරාගත්තේය. සාමාන්‍යයෙන් ඔහු පාර්ලිමේන්තුවේ වාඩිවී සිටින්නේද පුටුවට බරවී නිදා සිටින අයුරින් නිසා කිසිවෙක් ඒ ගැන වැඩිදුර අසන්න ගියේ නැත.
පාර්ලිමේන්තු සභා ගර්භයේ පරිපාලන කටයුතු කරන පාර්ලිමේන්තු මහ ‍ලේකම්, නියෝජ්‍ය ‍ලේකම්වරු, වේත්‍රධාරීවරයාට බොහෝවිට මේ ආකාරයට නිදා සිටින මැති ඇමැතිවරුන් හමුවෙති. එහෙත් ඔවුහු ඒවා නොදැක්කාසේ සිටිති.
ඇතැම්විට දිවා ආහාරයෙන් පසු තරමක පාර්ලිමේන්තු සභා ගර්භයේ පුටුවකටවී නිදාගන්නවාට වඩා ඇතැම් අය කැමැත්තක් දක්වන්නේ ඊටත් වඩා සැප පහසු පුටුවකටවී නිදාගැනීමටය.
“සමහර වෙලාවට දවල් කෑමෙන් පස්සේ මැති ඇමැතිවරු ආණ්ඩු පක්ෂයත් විපක්ෂයත් වෙන්කරන ලොබියේ තිබෙන සෝපාවට එනවා. මේ සෝපාවේ අතපය දිග ඇරලා සමහරු නිදාගන්නවා” පාර්ලිමේන්තුවේ තරමක සැප පහසු නින්දක් ලැබිමට තැනක් සොයා ගැනීම ගැන කීවේ පාර්ලිමේන්තුවේ හිටපු වේත්‍රධාරියෙක් වන විජය පල්ලියගුරුය. කෙසේනමුදු පාර්ලිමේන්තුව තුළදී සදාකාලික නින්දක වැටුණු මන්ත්‍රීවරු දෙදෙනෙක්ද අපට පාර්ලිමේන්තු ඉතිහාසයේදී හමුවෙති. ප්‍රථමයා මුල්ම කථානායක සර් ෆ්‍රැන්සිස් මොලමුරේය. ඔහු හෘදයාබාධයකින් මියගියේ කථානායක අසුන මතදීමය. දෙවැනියා බෙලිඅත්ත මන්ත්‍රී ඩී.ඇම්. රාජපක්ෂය. ඔහු හෘදයාබාධයකින් මියගියේ පාර්ලිමේන්තු ගොඩනැගිල්ල තුළදීය.
කෙසේනමුදු පාර්ලිමේන්තුවේදී මන්ත්‍රීවරු නිදාසිටින ආකාරයේ ඡායාරූප පෙළක් පසුගිය සතියේදී පුවත්පත්වල පළවුවත් පාර්ලිමේන්තු කටයුතු අතරවාරයේදී නිදාගත් මැති ඇමැතිවරුන්ගේ ඡායාරූප මීට පෙර වතාවක් පුවත්පත්වල පළවූ බව පවසන්නේ ‍‍‍ජ්‍යෙෂ්ඨ               පාර්ලිමේන්තු වාර්තාකරුවෙකු වන දයා ලංකාපුරය. ඒ ඩඩ්ලි සේනානායකගේ ආණ්ඩු කාලයේදීය.
“ඩඩ්ලිගේ ආණ්ඩුවේ රාජාසන කතාව කරන්න ආවේ සර් ඔලිවර් ගුණතිලක. ඔහු තමයි ඒ කා‍ලේ අග්‍රාණ්ඩුකාරවරයා. ඒ කා‍ලේ රාජාසන කතාව පාර්ලිමේන්තුවේදී කරන්නේ නැහැ. කතාව කරන්නේ නිදහස් මන්දිරයේ. අග්‍රාණ්ඩුකාරතුමත් අශ්වයින් පෙරටුකරගෙන ගාම්භීර ආකාරයට නිදහස් මන්දිරයට පැමිණියා. ඔලිවර් ගුණතිලක රාජාසන කතාව කරන වෙලාවේදී මැති ඇමැතිවරු හය හත් දෙනෙක් නිදාගත්තා. ඇත්ත පත්තරේ ඡායාරූප ශිල්පී නිමල් පිටිපන එදා නිදාගත්ත වී.ඒ. සුගතදාස, හුරුල්‍ලේ, වින්සන්ට් පෙරේරා වගේ අයගේ ඡායාරූප ගත්තා. ඒ අයගේ සමීප ඡායාරූප අපි ඇත්ත පත්තරේ මුල් පිටුවේ දැම්මේ රාජාසන කතාව මේ වගේ කියලා හෙඩිමකුත් එක්කයි” දයා ලංකාපුර පවසන්නේය.
එදා මෙන්ම අදත් පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරු නිදා සිටින ඡායාරූප පුවත්පත්වල පළවන විට එයට ඇතැම් ඇමැතිවරු ප්‍රතිචාර දක්වති. නිමල් සිරිපාල ද සිල්වා ඇමැතිවරයා පසුගිය සතියේදී එයට ප්‍රතිචාර දක්වා තිබුණේය.
“යාපනයේදී මම බෝම්බ ප්‍රහාරයකට ලක්වුණා. ඒ අවස්ථාවේදී බෝම්බ කැබැල්ලක් මගේ හිස ඇතුළට ගියා. ඒ නිසා තමයි අද මට නිතරම නිදිමත ගතියක් ඇතිවන්නේ” නිමල් සිරිපාල ද සිල්වා පවසා තිබුණේය.
එහෙත් පාර්ලිමේන්තුවේදී ඇමැතිවරුන් නිදාගැනීම් ගැන දේශපාලන විචාරකයින් දක්වන්නේ විවේචනාත්මක අදහස්ය.
“පාර්ලිමේන්තුවේදී මැති ඇමැතිවරු නිදාගන්නේ වෙනකාගේවත් වරදක් නිසා නොවෙයි, ජනතාවගේ වරද නිසා. මේ අය පාර්ලිමේන්තුවට පත්කර එවා තිබෙන්නේ ජනතාවයි. පාර්ලිමේන්තුවට එවලා තියෙන්නේ ආර්ථිකය, දේශපාලනය, සමාජ ක්‍රමය ගැන කිසිම අවබෝධයක් නැති අයයි. ඒ අයට අයවැය ගැන කිසිම දැනුමක්, උනන්දුවක් නැහැ. මේ අයගේ තියෙන පිරිහීම තමයි මෙයින් පේන්නේ. කොහොම නමුත් මේ අය සමාජය හමුවේ නිරාවරණය වෙන එක හොඳයි. පුවත්පත්වල මේ අයගේ ඡායාරූප පළවීමෙන් සමාජය හමුවේ ඔවුන් නිරාවරණය වෙනවා. ඒක හොඳ දෙයක්” ශ්‍රී ජයවර්ධනපුර විශ්වවිද්‍යාලයේ දේශපාලන විද්‍යා අධ්‍යයන අංශයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ කථිකාචාර්ය ආචාර්ය ටෙරන්ස් පුරසිංහ පැවැසුවේය. ඇත්තටම මැති ඇමැතිවරු දවල් කාලයේ නිදාගන්නේ සෞඛ්‍ය ප්‍රශ්නයක් නිසාද, ඒ ගැන අපි ඇසුවේ කායික රෝග විශේෂඥ වෛද්‍ය වරුණ ගුණතිලකගෙනි.
දිවා කාලයේදී නිදිමත ස්වභාවයක් ඇතිවීමට හේතු තිබේ. සාමාන්‍යයෙන් තරබාරු පුද්ගලයින්ට රාත්‍රී කාලයේදී අඛණ්ඩ ගැඹුරු නින්දක් ගැනීමට නොහැකිවීම නිසා දිවා කාලයේදී ඔවුන්ට නිදිමත ස්වභාවයක් ඇතිවන බව වෛද්‍ය වරුණ ගුණතිලක පැවැසුවේය. ඔහු පවසන්නේ ඔබ්ස්ට්‍රැක්ටිව් ස්ලීප් ඇප්නෝප් නැමති රෝගී තත්ත්වය ලෙස මෙය හඳුන්වන බවය.
“නින්ද සහ අවදි බව අතර ජීවන රිද්මයක් තිබෙනවා. දිවා කාලයේදී අසාමාන්‍ය ලෙස නිදිමත ස්වභාවයක් ඇතිවීමට හේතු තිබෙනවා. තරබාරු දේහයක් ඇති පුද්ගලයින්ට රාත්‍රී කාලයේදී හොඳ නින්දක් ලබාගැනීමට හැකියාවක් ලැබෙන්නේ නැහැ. තරබාරු පුද්ගලයින්ගේ බෙල්ල වටේ ඇති පේශිමය කොටස් ප්‍රමාණාත්මකව වැඩියි. ඒ නිසා රාත්‍රී කාලයේදී නිදාගන්නාවිට ඔවුන්ගේ ශ්වසන මාර්ගය අවහිර වෙනවා. එවිට ‍ලේවලට ලැබෙන ඔක්සිජන් ප්‍රමාණය අඩුවෙනවා. ඒ නිසා රාත්‍රියේදී කිහිප වතාවක් ඔවුන් නින්දෙන් නැගිටිනවා. ඒ නිසා ගැඹුරු නින්දක් ලබාගැනීමට ඔවුන්ට හැකියාව ලැබෙන්නේ නෑ. රාත්‍රී කාලයේදී ප්‍රමාණවත් නින්දක් ලබාගැනීමට නොහැකි වූ විට දිවා කාලයේදී ඔවුන්ට නින්ද යනවා” වෛද්‍ය වරුණ ගුණතිලක පැවැසුවේය.
ඔහු පවසන්නේ මෙවැනි තරබාරු පුද්ගලයින් ශරීරයට ප්‍රමාණවත් ව්‍යායාම් ලබාදිය යුතු බවය. ඔවුන්ගේ දේහ ස්කන්ධ දර්ශකය මෙන්ම බෙල්‍ලේ වට ප්‍රමාණයද මැනගැනීම වැදගත් බවයි ඔහු පවසන්නේය. එම තත්ත්වයන් පිළිබඳ අවධානය යොමුකළහොත් දිවා කාලයේදී නින්ද යන පුද්ගලයින්ට තමන්ගේ නින්ද යාමේ ගැටලුවට විසඳුම් ලබාගත හැකි බව ඔහු වැඩිදුරටත් පවසන්නේය.(Lakbima)

ඔබගේ අදහස අපට කියන්න

Close