ඊ නිවුස් කතුවරයාට ඉන්ටර්පෝල් වරෙන්තුවක්

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ සංස්කාරක ප්‍රදීප් සඳරුවන් සේනාධීර මහතා වහාම  අත්අඩංගුවට ගන්නැයි ගම්පහ ප්‍රධාන මහේස්ත්‍රාත් කාවින්ද්‍යා නානායක්කාර මහත්මිය විසින් අද ඉන්ටර්පෝල් වරෙන්තුවක් නිකුත් කළා.

රිවිර පුවත්පතේ හිටපු කර්තෘ උපාලි තෙන්නකෝන් මහතාට පහරදීමේ නඩුවට සම්බන්ධ සැකකරු හඳුනාගැනීමේ පෙරට්ටුවට ඉදිරිපත් කිරීමට පෙර ඔහුගේ ඡායාරූප ලංකා ඊ නිව්ස් වෙබ් අඩවියේ පළ කර අධිකරණයට අපහාස කල බවටයි මෙහිදී චෝදනා කර ඇත්තේ.

මෙම නඩුව අධිකරණයට අපහාස කිරීමක් සම්බන්ධයෙන් වන බැවින් සඳරුවන් සේනාධීර මහතාට එරෙහිව මෙම නඩුව අභියාචනාධිකරණයට  යොමුකිරීමට තීරණය කෙරුණු බවයි ජනාධිපති නීතිඥ හේමන්ත වර්ණකුලසූරිය මහතා සදහන් කළේ.

ලංකා ඊ නිව්ස් කර්තෘවරයා  ශ්‍රී ලංකාවට පැමිණියහොත් ඔහුව අත්අඩංගුවට ගන්නා ලෙස ආගමන විගමන පාලක මධ්‍යස්ථානයටද අධිකරණය විසින් නියෝග කරනු ලැබුවා.

වෙබ් අඩවිය මගින් ශ්‍රී ලංකාවේ විනිසුරුවරුන් කිහිපදෙනෙකුට හා අධිකරණයට අපහාස වන අන්දමේ ප්‍රවෘත්ති පළකර ඇති බව කියමින් නීතිඥ මධුර විතානගේ මහතා විසින් ශ්‍රේස්ඨාධිකරණයට පැමිණිළි 14ක් ද ඉදිරිපත් කර තිබෙනවා.

ලංකා ඊ නිව්ස් වෙබ් අඩවිය ඔස්සේ මෙරට විනිසුරුවරුන්ට අපහාස කළැයි ද ඔහුට එරෙහිව ක්‍රියා මාර්ග ගන්නා බවට පසුගියදා අධිකරණ අමාත්‍ය විජයදාස රාජපක්ෂ මහතා පාර්ලිමේන්තුව හමුවේ අදහස් දක්වමින්ද සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close