නඩු නැතිව 1700ක් බන්ධනාගාරවල/ සොයා බලන්න ආණ්ඩුවෙන් කමිටුවක්

නඩු පැවරීමකින් තොරව රිමාන්ඩ් බන්ධනාගාරගත කොට සිටින සැකකරුවන් සම්බන්ධයෙන් සොයා බැලීම සඳහා ජනාධිපතිවරයා විසින් විශේෂ කමිටුවක් පත් කර තිබෙනවා.

අද පාර්ලිමේන්තුවේදී අය වැය කාරක සභා අවස්තාවේ විවාදයට එක්වෙමින් ස්වදේශ කටයුතු අමාත්‍ය වජිර අබේවර්ධන මහතා මේ බව කියා සිටියා.

වසරකට අධික කාලයක් තිස්සේ නඩු පැවරීමකින් තොරව සිරකරුවන් 1700 කට වැඩි පිරිසක් රිමාන්ඩ් භාරයේ පසු වන බවයි  ජනතා විමුක්ති පෙරමුණේ නායක අනුර කුමාර දිසානායක මහතා පාර්ලිමේන්තුවට දැනුම් දුන්නේ.

එලෙස නඩු පැවරීමකින් තොරව දීර්ඝ කාලයක් රැඳවුම් භාරයේ තබා ගැනීම යුක්ති සහගත නොවන බවත් පාර්ලිමේන්තු මන්ත්‍රී අනුර කුමාර දිසානායක එහිදී අවධාරණය කළා.

ඒ පිළිබද සොයා බැලීමට අග්‍රාමාත්‍යවරයා , අධිකරණ ඇමතිවරයා සහ නීතිපතිවරයාගේ ප්‍රධානත්වයෙන් එම කමිටුව පත්කර ඇති බවයි  වජිර අබේවර්ධන අමාත්‍යවරයා වැඩිදුරටත් සඳහන් කළේ.

අදාළ කමිටුව විසින්, ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යටතේ රඳවනු ලැබ සිටින එල්ටීටීඊ සැකකරුවන් පිළිබඳ පමණක් නොව සියලුම සැකකරුවන් සම්බන්ධයෙන් අධ්‍යයනය කොට ඔවුන්ට සහන සැලසිය හැකි ආකාරය පිළිබඳ නිර්දේශ ඉදිරිපත් කිරීමට නියමිත බව ද අමාත්‍යවරයා වැඩිදුරටත් සදහන් කළා.

ඔබගේ අදහස අපට කියන්න

Close