මහ රහතුන් වැඩි මග ඔස්සේ – ලිපි අංක 1

අති පූජනීය අරියඥාණ නායක ස්වාමින් වහන්සේ විසින් දේශිත මාධ්‍යවේදී ඉන්ද්‍රජිත් සුබසිංහ විසින් ඉදිරිපත් කරන ලද මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි මාලාව ලාංකීය සැබෑ බෞද්ධ ජනතාව වෙත මෙසේ ගෙන එන්නෙමු. මේ එහි සතර අපායෙන් මිදෙමු ලිපි මාලාවේ පලමු වැන්නයි.

කතාව දිග්ගැසුනොත්

පුංචි කතා, ලොකු කතා කියා ස්‌වභාවයන් දෙකක්‌ ලෝකයේ පවතී. පුංචි වුවද ලොකු වුවද කතාව සකස්‌වන්නේ ඇති වී නැතිවී යන සිතක්‌ හේතුවෙන්ය. එම සිතට ඇලීමේ ගැටීමේ ස්‌වභාවය මත කතාව පුංචි හෝ ලොකු බවට පත්වෙයි. එක සිතක්‌ නිසා මනුෂ්‍යයෙන් සිනාසෙයි, හඬයි, අපේක්‍ෂා සහගත වෙයි. සමහරවිට තමා විසින්ම තමාගේ ජීවිතය සියදිවි නසාගැනීම දක්‌වා, ඇති වූ සිත තන්හාවෙන් තෙත්වූ නිසා තව තව සිත් පරම්පරාවන් ඇති කරදෙයි. සිනාසීම පුංචි කතාවකි. දිවි නසාගැනීම ලොකු කතාවකි. දෙකටම මූලාරම්භය වූයේ ඇති වී නැතිව ගිය සිතකි. ඒ සිතට ඇලීම නිසා හටගත් සිත් පරම්පරාවකිනි. සකස්‌වුණ සිතට ඇති වුණ ඇලීමේ, ගැටීමේ ස්‌වභාවය මත කතාව ලොකු, කුඩා විය. මනුෂ්‍යයෙක්‌ කල්ප ගණන් සතර අපායේ දුක්‌ විඳින්නේද, සුගතිවල සැප විඳින්නේද තෘෂ්ණාවෙන් තෙත්වුණු සිතක්‌ නිසාය.

බලන්න අවිද්‍යාවෙන් තෙත්වුණ එක සිතක්‌ කල්ප ගණන් ඔබට දුක උරුම කරන දිග කතාවක්‌, ලොකු කතාවක්‌ කියන්න ඔබව රැගෙන යන හැටි.

ඔය සතර අපායේ ජීවත්වන අනන්ත දුක්‌ විඳින සත්වයන් ඒ දුකට වැටුණේ කවදාහරි දවසක තමා තුළ ඇති වුණ රාගයෙන්, ද්වේශයෙන්, මෝහයෙන් තෙත්වුණ සිතක්‌ නිසාය. එසේනම් මෙවැනි අතිභයංකර දුකක්‌ කල්ප ගණන් දිගට ඇදෙමින් ගෙවන්නේ තමන්ට අයත් නොමැති, ආගන්තුක, ඇතිව නැතිව ගිය රාග, ද්වේශ, මෝහයෙන් තෙත් වූ සිතක්‌ නිසා වීම අභාග්‍යයකි. පුංචි සිතක්‌ ඇති කළ දිග කතාවකි එය.

නමුත් ඔබ අතහැරීම, සිතේ අනිත්‍ය බව දකින්නට පුරුදු කර තිබී, ඇලීම ගැටීම සහිත සිත ඔබව දිගකතා ගොතන සංචාරකයෙක්‌ කරවන බවට ඔබ තුළ අවබෝධාත්මක සංඥාවක්‌ වඩාගෙන තිබුණා නම් හෝ ලෝකයෙන් දුකෙන් මිදෙනවා යන්න අවංක සහගත විශ්වාසයකින් ඔබ නිවීමේ මාර්ගයට අවතීර්ණව සිටියා නම් යම් තීරණාත්මක මොහොතක “ඥාන දර්ශනයන් සඵල කරමින්, ඇති වී නැති වී යන එක සිතක්‌ ඔබට නිවීමේ ආශ්චර්යමත් සැහැල්ලුවත්, නිදහසත් ඔබට උදාකරනු ඇත.

කතාව නිමාකොට ඔබව ලෝකයෙන් නිවාදමන්නේද සිතක්‌ සේම, ලෝකයාට විවෘත කොට ලොකු කතා ගොතන්නේ ද ඔය ඔබගේ ආගන්තුකයාමය. සිහි නුවණින් ධර්ම විනය දෙක තුළ ජීවත්වෙමින් සතිය සහ සිහිය ඇති කරගනිමින් මේ ආගන්තුකයා හඳුනාගෙන සැනසීම ලබන්න ඔබ උත්සාහගන්න.

සමාජය දෙස බැලීමේදී අපි දකින සියල්ලම ද දිග කතාය. හැම කතාවක්‌ම දිග්ගැසීමට හේතුව අවිද්‍යාව ශක්‌තිමත්වීමය. තරුණයෙක්‌ තරුණියක්‌ දෙස බැලුවොත් එය අවසන් වන්නේ විවාහයකිනි. දරු මුණුබුරන්ගෙනි. පවුල නමැති බන්ධනයෙනි. ඒවා උපාදානය කරගෙන මියගිය පසු සතර අපායෙනි. එසේ නොවන්නේ නම් සුගතියෙනි.

කෙනෙක්‌ තවකෙනෙක්‌ දෙස ඔරවා බැලුවහොත්, ශරීරයේ හැපුනහොත්, අත්වැරැද්දක්‌ වුණොත් එය අවසන්වන්නේ මිනීමරුමට වසර ගණන් සිර දඬුවම් විඳීමෙනි. කල්ප ගණන් අපාදුක්‌ විඳීමෙනි. සිංහල පිංවතෙක්‌ ද්‍රවිඩ පිංවතකුගේ ඇඟේ හැපුනහොත්, නැතිනම් ද්‍රවිඩ පිංවතෙක්‌ සිංහල පිංවතකුගේ ඇඟේ හැපීම අවසන් වන්නේ ජාතින් දෙකක්‌ අතර මහා යුද්aධයකිනි. විනාශයකිනි. මගේ රට, මගේ ජාතිය කියන උපාදානය නිසා සකස්‌ වුණ මහා වෛරයකිනි.

රට නිසා හෝ ජාතිය නිසා හෝ ඇති වූයේ වෛරය නම් ප්‍රතිඵලය දුකක්‌මය. මියගියේ වෛර සිතකින්නම් උරුමය සතර අපායමය.

යම් පිංවතෙක්‌ සම්මා සම්බුද්ධ ශාසනයේ පැවිදිවුවොත්, එම පැවිද්ද අවසන් වන්නේ දැනුම, කීර්තිය, ලාභ සත්කාර, නිසාය. පන්සල, කැලය, කුටිය, ශීලය, සමාධිය, මාර්ගඵල, රේඩියෝව, රූපවාහිනිය, ධර්ම ප්‍රචාරය…. මේවා සියල්ල මගේ කරගෙනය. කොටින්ම ස්‌වභාවධර්මයේ ස්‌වභාවය අර්ථ කර, අවබෝධ කර වදාළ සම්බුද්ධ දේශනය ද ඔහු ඔහුගේ කොටගනී. මේ පොතේ සටහන් කර ඇති එකම කරුණක්‌වත් මේ සටහන් තබන භික්‍ෂුවට අයත් දෙයක්‌ නොවේ. භික්‌ෂුව අතින් සිදුවූයේ ලෝකයේ ස්‌වභාවය එම ස්‌වභාවය පිළිබඳ අවබෝධය ලබමින් ලත් අත්දැකීම් සටහන් තැබීම පමණක්‌මය.

භික්‍ෂුවට මේ කරුණු කිසිවක්‌ අයිති නැත. ඒවා අයිති ලෝකයටයි. ලෝකය අයිති දුකටය. අනිත්‍යයටය. මේ කරුණු මගේ කරගතහොත් ඒ ඔහු අයිතිකරගන්නේ ලෝකයයි. දුකයි. අනිත්‍යයි.

බලන්නකෝ ඇති වී නැතිවී යන සිතක්‌ සකස්‌කර දුන් සිත් පරම්පරාවක දිග කතාවල ස්‌වභාවය. මේ හැම දිග කතාවක්‌ම පුංචි කතාවක්‌ බවට, නිවුණ කාතාවක්‌ බවට පත්කරගැනීමට හැකියාව තිබියදී ඇතිවන සිතට ඇලීම, ගැටීම හේතුවෙන් සිත තෘෂ්ණාවෙන් තෙත් කිරීම හේතුවෙන්, සිත මගේ කරගැනීම හේතුවෙන් අත්හැරීමෙන් නිවීම දෙසට යැම නොව, අල්ලාගැනීමෙන් දිගකතා බවට පරිවර්තනය කරගන්නවා. අවිද්‍යාවෙන් මිදී ලොක්‌යෙන් මිදීමට ඔබත් වීර්යය වඩන්න.

ඔබගේ අදහස අපට කියන්න

Close