මාධ්‍ය නිදහස ගැන කිඹුල් කදුලුවලට අමතක අතීතය

මහින්ද රාජපක්ෂ මාධ්‍ය නිදහස පිළිබඳ කථා කිරීම යනුම හාස්‍යයකට වඩා වැඩි දෙයක් නොවන මුත්, ඔහු එය සිදු කර තිබේ. ජනමාධ්‍ය අමාත්‍යාංශයේ ලේකම්වරයා හා දෙරණ නාලිකාව අතර මේ දිනවල හුවමාරු වෙමින් පවතින, ලිපි ගනුදෙනුව පිළිබඳව අදහස් දක්වමින් හිටපු ජනාධිපතිවරයා අවධාරණය කර තිබුණේ එය මාධ්‍ය නිදහස පිළිබඳ බරපතළ ගැටළුවක් බවයි. තමන් වෙනුවෙන් මරාගෙන මැරීමට වුව සූදානමින් සිටින, තම හිතමිත්‍ර නාලිකාවක් වෙනුවෙන් පෙනී සිටීමට මහින්ද රාජපක්ෂට ඇති පෞද්ගලික අයිතිය අප ප්‍රශ්න නොකරන මුත්, මාධ්‍ය නිදහස පිළිබඳ මහින්ද වගුරමින් සිටින මේ කඳුළු කොතරම් අවංකද යන්න විමසා බැලීම වැදගත් ය. “ඔවා දෙනු පර හට තමා සම්මතයෙ පිහිටා සිට“ යන අපේ ඉපැරණි කියමන අනුව නම්, මහින්ද මේ සිදු කර ඇත්තේ උඩ බලාගෙන කෙළ ගසාගැනීමකි. ඒ, හිටපු ජනාධිපතිවරයාගේ ප්‍රකාශය අවසානයේ ඔහුට පාරාවළල්ලක්ම වන බැවිනි.

මහින්ද ප්‍රකටව සිටියේ මාධ්‍යවේදීන්ගේ මිතුරකු ලෙස ය. රිචඩ් ද සොයිසා වැනි 88-89 සමයේ අතුරුදන් වූ මාධ්‍යවේදීන් වෙනුවෙන් ප්‍රසිද්ධ පෙනී සිටි මහින්ද ඒ සමයේ මාධ්‍ය නිදහස, මානව හිමිකම් පිළිබඳ උස් හඬින් කථා කළ, අතළොස්සක් වූ කිහිප දෙනා අතර පෙරමුණේම විය. ඒ පෙනී සිටීම ඔහුට පාඩුවක් නොවුණේ දේශපාලන හිණිමඟේ ඉහළට නැඟීමට, ඒ සියලු කරුණු ඔහුගේ ජීවදත්ත පත්‍රිකාවට අමතර වටිනාකමක් එක් කළ බැවිනි. 1994 පාලන පෙරළිය සිදු වූ පසුද මහින්ද මාධ්‍යවේදීන් සමඟ ළඟ ඇසුරක් පවත්වාගෙන ගියේය. චන්ද්‍රිකා කුමාරණතුංග පාලන සමයේ ඇයගේ සමීපතම කවයට මහින්ද ඇතුළත් නොවීය. චන්ද්‍රිකා මහින්ද දෙස බැලුවේ සැකසංකා පෙරදැරිවය. මහින්ද තමාට වඩා අනුරට හිතවත් බව ඇය හොඳාකාරවම දැන සිටියේය. ඇමැති ධුරයක් පිරිනැමූවද මහින්දව පාලන තන්ත්‍රයේ වැදගත් වගකීම්වලින් ඈත් කර තැබීමට ඕ හැමවිට කටයුතු කළාය. මේ තත්ත්වය තුළ ආරක්ෂාකාරි පියවරක් ලෙස තම පැවැත්ම වෙනුවෙන් මාධ්‍යවේදීන් සමඟ ළඟ ඇසුරක් මහින්ද පවත්වාගෙන ගියේය. මේ සම්බන්ධය කොතරම් සමීප එකක් වුවාද කියතොත්: එකල බොහෝ කැබිනට් රහස් අමාත්‍ය මණ්ඩල සාකච්ඡාව නිමවා ඇමැතිවරුන් පිටතට පැමිණීමටත් පෙර මාධ්‍යවේදීන්ගේ අතට පත් විණි. එසේ කැබිනට් රහස් විදුලි වේගයෙන් පිටතට කාන්දු කරනුයේ මහින්ද බව චන්ද්‍රිකා හොඳාකාරව දැන සිටියාය. එබැවින්ම ඇය ‘රිපෝටර්‘ යනුවෙන් මහින්දට නමක්ද පටබැන්දාය.

තම හිතමිතුරා 2005 වසරේ රටේ ජනාධිපතිවරණ සටනට පිවිසි අවස්ථාවේදී මාධ්‍යවේදීහු ඒ ගැන බොහෝ සතුටට පත් ව‍ූහ. මහින්ද යටතේ තම වෘත්තියට ඉහළ ගරුත්වයක් ලැබෙනු ඇතැයි, ඔවුහු දැඩිව විශ්වාස කළෝය. ඒ වග පෙන්නුම් කරමින් ජනාධිපතිවරණය වෙනුවෙන් ඉදිරිපත් කළ තම ප්‍රතිපත්තිමය ලියවිල්ල වූ ‘මහින්ද චින්තන අලුත් ශ්‍රී ලංකාවක්‘ හි රාජපක්ෂ මෙසේ සඳහන් කර තිබිණි (මේ උපුටා ගැනීම එහි 81 වැනි පිටුවෙනි):

“ජනතාවට නිවැරදි තොරතුරු දැනගැනීමට ඇති අයිතිය සුරක්ෂිත කරමින්, රටේ සමස්ත සමාජ, සංස්කෘතික හා ආර්ථික අභිලාෂයන් සාක්ෂාත් කරගැනීම සඳහා ජනමාධ්‍යයන්හි පුළුල් දායකත්වය ලබාගැනීම මගේ ජනමාධ්‍ය ප්‍රතිපත්තියේ පදනමයි. සැබෑ ස්වාධීන හා වගකීම් සහගත මාධ්‍ය භාවිතාවක් උදෙසා ඉහළම ආදර්ශය බවට රාජ්‍ය මාධ්‍ය පත් කරනු ලබන අතර, ඒ සඳහා රාජ්‍ය මාධ්‍ය නිර්දේශපාලනීකරණය කරන්නෙමි“ එසේ පවසමින් මාධ්‍යවේදීන්ගේ ජීවන තත්ත්වය, උසස් කිරීමටයැයි කියමින් පොරොන්දු වැස්සක්ද මහින්ද විසින් වස්වන ලදි.

සහතිකවම එය සුබ සිහින දැකීමට පාර කැපූ ආකර්ෂණීය යෝජනාවලියක් විය. එහෙත් ඒ මතකය මහින්ද තුළ ජීවමානව පැවතියේ බලය හිමි කරගන්නා තෙක් පමණි. බලය ලැබුණු පසු සියල්ල වෙනස් වන්නට විය. සහතිකවම, වඩා වැදගත් වනුයේ ප්‍රජාතන්ත්‍රවාදය, යහපාලනය, මාධ්‍ය නිදහස වැනි මාතෘකා දේශපාලන වේදිකාවේ ජනප්‍රිය කථාවලට සීමා කිරීම නොවේ. වැදගත් වනුයේ, ඒවා ප්‍රායෝගිකත්වයට නැංවීමය. මහින්දට එය අදාළ නොවීය. හැම විටම මිනිසකුගේ සැබෑ වටිනාකම් මැනිය හැක්කේ කියන දේ අනුව නොව කරන දේ අනුවය. ඒ අර්ථයෙන් ගත් විට ජන මාධ්‍යයට හා මාධ්‍යවේදීන්ට මහින්දගේ පාලන සමය භීම සමයක්ම විය. ඊට පෙර ඉතිහාසයේ අන් කවරදාකමවත් නොතිබුණු අන්දමේ මාධ්‍ය මර්දනයක්, මහින්දගේ සමයේ රටේ පැවති බව චිර ප්‍රසිද්ධ කාරණයක් විය. අද මාධ්‍ය නිදහස ගැන කිඹුල් කඳුළු හෙළනුයේ එබඳු අපකීර්තිමත් අතීත වැඩ වාර්තාවක් සහිත පුද්ගලයෙකි. රාජපක්ෂ සමයේ ඇතැම් මාධ්‍යවේදීන් ඝාතනයට ලක් වූයේ අධිආරක්ෂිත කලාප බවට නම් කළ ප්‍රදේශවලදීය; මාධ්‍යවේදීන් මිය ගියේ දුසිම් ගණනිනි; පහර කෑමට හිරිහැරයට ලක් වූ අවස්ථා බොහෝ ඉහළ මට්ටමක පැවතිණි. මාධ්‍ය ආයතන ගිනිබත් වූ, පුවත්පත් වැසී ගිය, බලපත්‍ර තහනම් කළ, වෙබ් අඩවි සඳහා වන ප්‍රවේශය අහිමි කළ, ජීවිතාරක්ෂාව පතා අර්ධ ශතකයට අධික මාධ්‍යවේදීන් පිරිසක් විදේශයන්හි පිළිසරණ පැතූ ඒ සමය මාධ්‍ය නිදහස විෂයයෙහි අඳුරු-අපල කාලයක්ම විය. දරුණු මාධ්‍ය මර්දනයක් එසේ රටේ අභ්‍යන්තරයේ සිදු වුවද රටවැසියන්ට එය ඒ හැටි වගක් නොවූ තරම්ය. එල්ටීටීඊය පැරදවීම වෙනුවෙන් තිබූ යුද පිපාසය ජනතාවගේ දෑස් නිලංකාර කර තිබූ අතර, රටේ අවශේෂ කාරණා ඔවුනට ද්විතීයික මට්ටමමේ විය. ‘බොරදියේ මාළු බෑමට‘ උපන් හපන්කමක් ඇති රාජපක්ෂවරුන් මේ තත්ත්වය තම බල දේශපාලනික අවශ්‍යතා වෙනුවෙන් මනාව කළමනාකරණය කළේය. ‘දේශප්‍රේමයේ‘ නාමයෙන් නොනවත්වා මාධ්‍ය දඩයම සිදු වන්නට විය.

2005 වසරේදී මහින්ද ජනාධිපති වී බලයට පැමිණීමෙන් පසු ඝාතනය වූ, අතුරුදන් වූ, පැහැරගැනීමට ලක් වූ, රටින් පිටව යෑමට සිදු වූ හෝ තාඩන පීඩනවලට ලක් වූ මාධ්‍යවේදීන්ගේ ලැයිස්තුවක් පිළියෙල කළ හොත් මේ සටහන පිටු ගණනක් දීර්ඝ වීම වැළැක්විය නොහැක්කකි. ඒ අවාසනාවන්ත ලැයිස්තුවට ඇතුළත් වූ පළමු මාධ්‍යවේදියා වූයේ ‘සුඩ්ර්ඕලි‘ පුවත්පතේ ත්‍රිකුණාමලයේ ප්‍රාදේශීය මාධ්‍යවේදියකු වු සුබ්‍රමනියම් සුගිර්තරාජන් ය. ත්‍රිකුණාමල වරායේ සේවකයකුද වූ සුගිර්තරාජන් 2006 වසරේ ජනවාරි 24 වැනිදා වෙඩි පහරකින් ඝාතනයට ලක්

වූයේ බස් රථයක් පැමිණෙන තුරු මහ මඟ රැදී සිටියදීය. එසේ ඇරඹුණු මේ ලැයිස්තුව පිම්මේ වර්ධනය වූයේ සිංහල-දමිළ භේදයකින් තොරවය. උතුරට මෙන්ම දකුණටද එය එක සේ අදාළ විණි. රාජපක්ෂ සමයේ සිදු වූ දැවැන්ත මාධ්‍ය මර්දනයේ තරම නීතිය හා සාමය පිළිබඳ අමාත්‍ය සාගල රත්නායක පසුගියදා පාර්ලිමේන්තුවේදී දිග හැර තිබුණේ මේ ආකාරයට ය:

“2006 ජනවාරියේ සිට 2015 ජනවාරිය දක්වා වූ කාලපරාසය තුළ මාධ්‍යවේදීන් දහතුන් දෙනකු ඝාතනය වී තිබෙනවා. එක් මාධ්‍යවේදියකු අතුරුදන් වී තිබෙනවා. අසූ හත් දෙනකු පහර කෑමට ලක්ව තිබෙනවා. ඒ එක්කම මේ කාලය තුළදී මාධ්‍යවේදීන් විසි දෙනකු අත්අඩංගුවට පත්ව තිබෙනවා. පෞද්ගලික මාධ්‍ය ආයතන හතරකට අවස්ථා පහකදී ප්‍රහාර එල්ල වී තිබෙනවා. ඒ සිදුවීම් පිළිබඳ සාක්ෂි පවා විනාශ කර තිබෙනවා.“

ඇමැති සාගල ඉදිරිපත් කළ එම ගණන්-හිලවු ‘ඒකාබද්ධ විපක්ෂය‘ යැයි කියාගන්නා කණ්ඩායමේ කිසිවකු පාර්ලිමේන්තුවේදී හෝ ඉන් පිටතදී ප්‍රශ්න කර නොතිබුණේ ඔවුන්ද මේ සිදුවීම් සිදුවත්දී ඒ පද්ධතියේම කොටස්කරුවන් ලෙස කටයුතු කළ නිසා විය යුතුය.

රාජපක්ෂ සමයේ වූ මේ සිදුවීම් දෙස බලද්දී ‘මාධ්‍ය නිදහස‘ පිළිබඳ බරපතළ ප්‍රශ්නාර්ථයක් ලෙස හිටපු ජනාධිපතිවරයා මතු කරන තර්කය කිසිදු වැදගැම්මකට නැති දෙයකි. සුපැහැදිලිවම රාජපක්ෂ මහතා ‘මාධ්‍ය නිදහස‘ පිළිබඳව තර්ක කරනුයේ මහා නිද්‍රාවකින් පසුව අවදි වූවකු ලෙසය. මාධ්‍ය නිදහස හුදු ‘අලංකාරකයක්‘ පමණක් වූ තම පාලන සමය තුළදී රාජපක්ෂලා මර්දනය වැනි ඍජු ක්‍රම හරහා මෙන්ම තම හිතවතුන් ලවා මාධ්‍ය ආයතන මිල දී ගනිමින් වක්‍රාකාරවද මාධ්‍ය මර්දනයක් සිදු කළෝය. තම මතය හැර විකල්ප මත සමාජයේ නොතිබිය යුතු බව බලයේ සිටියදී ඔවුන් ඇදහූ දර්ශනය විය. බලය සදාකාලිකය යන විශ්වාසය පෙරදැරිව එසේ බලයෙන් මත්ව හැසිරුණු මුත් එය ගිලිහුණු තැන යථාර්ථය හා අනුගත වීමට රාජපක්ෂලාට අද සිදු වී තිබේ. සැබැවින්ම එය දෛවයේ සරදමක් බඳුය.

අනෙක් අතට ‘මාධ්‍ය නිදහස‘ ද රාජපක්ෂලා කියවනුයේ තම හිතවතුනට අදාළ කරගනිමින් මිස, ඒ පිළිබඳ වන පුළුල් අර්ථයෙහි ලා ගනිමින් නොවේ. මාධ්‍ය ආයතනයකට ඉගැන්වීමට ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අයිතියක් ඇති බව හෝ මාධ්‍ය ආයතන ජනමාධ්‍ය අමාත්‍යාංශ ලේකම්වරයාට අවශ්‍ය පරිදි පැවතිය යුතු බව අපි කිසි ලෙසකින් හෝ නොපවසන්නෙමු. එහෙත්, විෂයය භාර ප්‍රධාන සිවිල් නිලධාරියා ලෙස මාධ්‍යයේ හැසිරීම නිරීක්ෂණය කර ඒ පිළිබඳ වන තම අදහස් පැවසීමට ඇති අයිතියද ඉන් අහිමි වන්නේ නැත. මාධ්‍යවේදීන් දුසිම් ගණන් ඝාතනය වූ, අතුරුදන් වූ සංස්කෘතියක් තුළ එය මහා මාධ්‍ය මර්දනයක්යැයි කිසිවකු හෝ අර්ථ ගන්වන්නේ නම් එය බරපතළ විහිළුවක්මය. සීඑස්එන් නාලිකාවේ බලපත්‍රය අහෝසි කිරීම ගැනද හිටපු ජනාධිපතිවරයා ‘කඳුළු‘ සලයි. ඒ ගැන කථා කිරීමට පෙර රජය සතු ඉඩමක මුළුමනින්ම රජයේ අනුග්‍රහය ඇතිව පෞද්ගලික නාලිකාවක් පවත්වාගෙන ගියේ කෙසේදැයි හිටපු ජනාධිපතිවරයා රටට පැහැදිලි කරන්නේ නම් යහපතය. සීඑස්එන් පිටුපස ඇති එකී සොරකම් පිළිබඳ කථා නොකර ඊටද ‘මාධ්‍ය මර්දන‘ ලේබලය ඇලවීමට හිටපු ජනාධිපතිවරයා කටයුතු කිරීමෙන් පෙනී යන්නේ දේශපාලනඥයකු ලෙස ඔහු මේ වන විට පත්ව ඇති අසරණ තත්ත්වය මිස වෙනකක් නොවේ.

2015 ජනවාරි 08 දා යහපාලන වෙනස සිදු වූ පසු සුපිරි මාධ්‍ය නිදහසක් රටේ ස්ථාපිත වී ඇතැයි අපි නොකියන්නෙමු. එහෙත් පෙර පැවති තත්ත්වයට සාපේක්ෂව මේ වන විට, තත්ත්වය සෑහෙන දුරට වෙනස් වී තිබේ. මාධ්‍ය මර්දනයට තිත තැබීම ඒ අතරින් ප්‍රධානය. රජය හෝ ජනාධිපතිවරයා විවේචනය කළාය කියා අද සුදු වෑන් හඹා එන්නේ නැත. මාධ්‍යවේදීන් අතුරුදහන් වීම් හා ඝාතන පිළිබඳ ප්‍රවෘත්ති වාර්තා නොවන තරම් ය. වාරණය නතර වී ඇත. තොරතුරු දැනගැනීමට ඇති අයිතිය නීතියක් ලෙස පිළිගෙන ඇත. ඒ සියල්ල දෙස බලද්දී මුළුමනින්ම නොවුණත් මේ මොහොතේ රටේ පවතින්නා වූ මාධ්‍ය නිදහස පිළිබඳ දේශපාලන අගතියෙන් තොරව ඕනෑම කෙනකුට සතුටු විය හැකිය.

ඔබගේ අදහස අපට කියන්න

Close