මහින්දගේ රහස් සාකච්ජාවට ගිය කර්තෘවරු අගමැතිට රහස් හෙළිකරලා

බ්‍රහස්‌පතින්දා උදෙන්ම අග්‍රාමාත්‍ය රනිල් වික්‍රමසිංහ මහතා අරලියගහ මන්දිරයට ආවේ අත්‍යවශ්‍ය රාජකාරි කටයුතු කිහිපයක්‌ සඳහාය. ඒ අතරතුර එහි සිටි ඇමැතිවරු සමඟ සුපුරුදු කතාබහට වාඩි වෙන්නට ද අමතක නොකළේය.

මෙහිදී අයවැය දෙවන වර කියවීමේදී ඡන්ද 162 ක්‌ ලබාගැනීම ගැන කවුරුත් ප්‍රශංසා කළේ අගමැතිටය.

මෙපමණ ඡන්ද ගණනක්‌ ඉතිහාසයේ කවදාවත් ආවෙ නෑ. ඒකාබද්ධ විපක්‍ෂය අයවැයේදී ආණ්‌ඩු හදන්නයි බලන් හිටියේ කිරිඇල්ල කීවේය.

අයවැයට පසුවදා රන්ජන් කරපු සැර කතාවට විරුද්ධ වචනයක්‌වත් කියන්න කෙනෙක්‌ හිටියේ නෑ. දයා ගමගේ කීවේය.

සඳුදා මහින්ද කතාවත් ඇල්මැරුණු එකක්‌. බැඳුම්කර සිද්ධියට අගමැතිතුමාව ගෑව්වේ යාන්තමට විතරයි. වජිර කීවේය.

බැඳුම්කරයට ඇමැතිතුමා ගෑවීමේ ටිකිරි මොළය ජී. එල්. ගේ කියලයි කියන්නේ. රන්ජන් කීවේය.

බැඳුම්කරයේදී ශ්‍රේෂ්ඨාධිකරණය කිව්වේ වෙන්දේසිය හරියට වෙලා තියෙන බවයි. එහෙම නම් වංචාවක්‌ වෙන්නේ කොහොමද? කෝප් එක ඒ ගැන අවධානය යොමු නොකිරීම වරදක්‌. ශ්‍රේෂ්ඨාධිකරණයෙන් නිදහස්‌ කරපු කෙනෙක්‌ වෙනත් කිසි තැනකදී වරදකරුවෙක්‌ වෙන්නේ කොහොමද? නීති විශාරදයන්ගේ මතය ඒකයි… කිරිඇල්ල කීවේය.

හම්බන්තොට ඉඩම් 99 අවුරුද්දේ බද්දට ආයෝජකයන්ට දෙන එක ගැන මහින්ද විරුද්ධයි. මිනිස්‌සු උසිගන්නලා සංවර්ධනය නවත්වන්නයි හදන්නේ. ගයන්ත කීවේය.

මහින්ද දෙන්න ගියේ සින්නක්‌කරම. අපි අවුරුදු 99 ටත් අඩුවෙන් දෙන්නයි බලන්නේ. මහින්දට බැරිවුණ දේවල් අපි කරගෙන යනවට එයා තරහයි. අගමැති කීවේය.

රටේ ආයෝජනය කරන්න ලක්‍ෂ ගණන් රැකියාවල් ඇති කරන්න හම්බන්තොට විතරක්‌ නොවෙයි, අනිත් පළාත්වලත් අපි ඉඩම් දෙනවා. තම ප්‍රදේශ දියුණු වනවාට මිනිස්‌සු අකමැති නෑ. රනිල් කීවේය.

වැඩේ සෙට්‌ කරලා ඉවරවෙලා අගමැතිතුමාට තියෙන්නේ රෑට පොඩි ඩි්‍රන්ක්‌ස්‌ එකක්‌ අරන් මේවා අධීක්‍ෂණය කරන්න විතරයි… හැරිසන් කීවේ කවුරුත් හිනස්‌සවමිනි.

වැඩ කරන්න මට ඩි්‍රන්ක්‌ස්‌ ඕන නෑ අගමැති කීවේය.

මැති ඇමැති වරප්‍රසාද වැඩි කරන්න කියලා අගමැතිතුමා කරපු කතාවට ඒකාබද්දේ අය වැරදි අර්ථකථන දෙනවා වජිර කීවේය.

ආසනේ වැඩ කරන්න මන්ත්‍රී කෙනකුට ලක්‍ෂයක්‌ දෙනවා. වැටුපත් වැඩි කරන්න ඕන. එතකොට හොරකම් කරන්නේ නෑ. සිංගප්පූරුවේ ඇමැති කෙනකුට කෝටි 11 ක්‌ ගෙවනවා කියල දන්නවද…. අගමැති ඇසීය.

අර දිනේෂ්ගේ හමුදා කුමන්ත්‍රණ කතාව ගැන පරීක්‍ෂණයක්‌ කරන්න කියලා හමුදාවේ අය මගෙන් ඉල්ලනවා… අගමැති කීවේය.

මේ පාර මහින්ද පත්තර කර්තෘවරු හමුවෙලා තියෙනවා. ඉස්‌සර වගේ එයාලව නග්ගලා ආණ්‌ඩු පෙරළියට අවශ්‍ය පණිවිඩ දුන්න කියලයි ආරංචි…. එතන සිටි මාධ්‍යවේදියෙක්‌ කීවේය.

එතනට ගිය කර්තෘවරුයි ආයතන හිමිකරුවොයි කීපදෙනෙක්‌ම මට ඊට පස්‌සේ කතා කරලා විස්‌තර කිව්වා. අගමැති කීවේ කවුරුත් විශ්මයට පත්කරවමිනි.

ඔබගේ අදහස අපට කියන්න

Close