මහ රහතුන් වැඩි මග ඔස්සේ / දිව්‍යලෝකයෙන් ඇසෙන සාදු හඩ

අති පූජනීය අරියඥාණ නායක ස්වාමින් වහන්සේ විසින් දේශිත මාධ්‍යවේදී ඉන්ද්‍රජිත් සුබසිංහ විසින් ඉදිරිපත් කරන ලද මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි මාලාව ලාංකීය සැබෑ බෞද්ධ ජනතාව වෙත මෙසේ ගෙන එන්නෙමු. මේ එහි සතර අපායෙන් මිදෙමු ලිපි මාලාවේ දෙවැන්නයි.

සුගිය කාලවකවානුවල වැඩසිටිය ගෞරවණීය ස්‌වාමීන් වහන්සේලාත් වර්තමානයේ වැඩසිටින ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාත් විසින් කරගෙන ගිය ධර්මදේශණාමය, බෝධිවන්දනාමය පිංකම් හරහා අතිවිශාල තරුණ පිරිසක්‌ ධර්ම මාර්ගයේ පෙරට එනවා පිංවතුන්ලා දකින්න ඇති. එම තරුණ පිරිස දිහා දැක්‌කහම වර්තමානයේ පැවිදිභාවයට පත්වී උතුම් ජීවිත ගතකරන තරුණ ස්‌වාමීන් වහන්සේලා දැක්‌කහම සද්ධර්මයට සමාජය තුළ මොනතරම් දෙයක්‌ කරගන්න පුළුවන්ද කියලා සිතෙනවා, තරුණ පිංවතුන්ලාට. නමුත් මේ එක එක කාලවලදී මතුවී එන ධර්මයේ ප්‍රබෝධය කාලයකදී දුර්වලවෙලා යනවා. මෙය සටහන් තබන භික්‌ෂුවත් ගිහි කාලයේදී එවැනි ගෞවරණීය ස්‌වාමීන් වහන්සේලාගේ පිංකම් තුළින් ධර්ම මාර්ගය ශක්‌තිමත් කරගත් අයෙක්‌. භික්‌ෂුව මෙහි සටහන් තබන්න හදන්නේ ස්‌වාමින් වහන්සේලා හරහා ඇතිකරගන්නා ධර්ම ප්‍රබෝධය ජීවිතය තුළින් වැඩිදියුණු කරගෙන ජීවිතයේ කොටසක්‌ කරගන්න අප දක්‌ෂවෙන්න ඕන කියලා. රැල්ලක්‌ නැගෙනකොට රැල්ලත් සමග බොහෝම උද්යෝගයෙන් ගහගෙන යනවා. රැල්ල අහවරවෙනකොට නැවත සුපුරුදු තැනට එනවා. සතර එර්දිපාද ධර්මයන්ට අයත් ඡන්දය, වීර්යය, චිත්තය, විමංසා කියන කාරණාවලින් චිත්තය කියන ධර්මතාවය පිංවත් ඔබට මෙහිදී වැදගත් වෙනවා. මෙතනදී චිත්තය කියන්නෙ අධිෂ්ඨානයට. බෝධිසත්වයන් වහන්සේ ජයශ්‍රීමහා බෝධි මූලයේ වාඩිවෙලා මගේ සම්, මස්‌, ඇට, නහර, වියලේවා. සම්මා සම්බෝධිය අවබෝධ කර ගැනීමෙන් තොරව නොනැගිටිමිය කියල චිත්තයක්‌ ඇතිකරගන්නවා. බලන්න අරමුණ නැතිනම් මරණය තමයි එම චිත්තයේ අර්ථය. මේ චිත්තය කියන කාරණය පිංවත් ඔබත් ධර්ම මාර්ගයේ ශක්‌තිය උදෙසා ජීවිතයට එකතුකොට ගන්න. ධර්ම මාර්ගයේ රැල්ලත් සමග පෙරට ගිහිල්ලා රැල්ල නැවතුන තැනදී ආපසු හිටපු තැනට එන්නෙ ඔබ තුළ චිත්තයක්‌ ඇතිකරනොගත් නිසාමයි.

ඔබ මේ ලිපි මාලාවම උදාහරණයට ගන්න කෝ. පුංචි හෝ ප්‍රබෝදයක්‌ ධර්මයට කැමති පිංවතුන්ලා තුළ මේ ලිපි කෙරෙහි ඇතිවෙලා ඇති. නමුත් පිංවත් ඔබ වටහාගන්න ඕනෙ මේ කෙටි ප්‍රබෝදය අනිත්‍ය දෙයක්‌ බව. හෙට අනිද්දා මේ ලිපි පෙළ අහවරවෙනකොට නැගුන ප්‍රබෝදය අහවරවෙනවා. නමුත් පිංවත් ඔබ නැවතිය යුතු නැහැ. ඔබ බලාපොරොත්තුවක්‌ නොවේ චිත්තයක්‌ ඇති කරගන්න. ඔබ මෙතෙක්‌ බලාපොරොත්තු පමණයි ඇති කරගෙන තිබෙන්නේ. බලාපොරොත්තු කියන්නේ වෙනස්‌ වෙන දෙයක්‌. තරුණ කාලයමයි ධර්මය සුවසේ වැඩීමට සුදුසු කාලය. ජීවිතය ආයුෂ, වර්ණය, සැපය, බලය කියන කාරණාවලින් ජවසම්පන්න වන කාලවකවානුව. මෙම කාලයේදී තමයි ‘පටිභානය’ කියන නුවනින් මෙනෙහි කිරීමේ ශක්‌තිය ජීවිතය තුළින් මෝදුවෙන්නේ. මේ කාලය දෘෂ්ඨීන් ගෙන් තොරව විවෘතව ලෝකය දකින කාලයක්‌. ඒ නිසා පිංවත් ඔබ අස්‌වැන්න ඇති වෙලාවේම උපක්‍රමශීලීව අස්‌වැන්න නෙලාගන්න දක්‌ෂවෙන්න ඕනේ. අස්‌වැන්න නැති වුණාට ගස කොතෙක්‌ සෙලවුවද වැටෙන්නේ අතු, කොළ, රිකිලිමය. අතු, කොළ, රිකිලි යනු ලෝභ, ද්වේෂ, මෝහයි.

වර්තමානයේ තරුණ කාලය වැඩියෙන්ම කැපවෙන්නේ අධ්‍යාපනය, රැකියාව, ආදරය වැනි කාරණයන්ටය. මේවායේ ප්‍රථිඵලය ලෝභ, ද්වේෂ, මෝහ අකුසල් වලින් ජීවිතය පිරීයාමයි. අධ්‍යාපනය ලබන්න. රැකියාව කරන්න. ආදරය කරන්න. මේවා කරන ගමන් ධර්ම මාර්ගයෙත් පෙරට නොකඩවා ගමන් කරන්න. වෙනස්‌වන බලාපොරොත්තු අභිබවා ගිය නොවෙනස්‌වන චිත්තයක්‌ ඇති කරගන්න. බලාපොරොත්තුවලට වටිනාකමක්‌ දෙන්න එපා. බලාපොරොත්තුවලට බැහැ කවදාකවත් ධර්ම මාර්ගයේදී ඔබට ජයග්‍රහණයක්‌ ලබා දෙන්න. බලාපොරොත්තු නිරතුරුවම ඔබව රවටනවා. කාමයේ ආශ්වාදය උදෙසා ඇතිවෙන තෘෂ්ණාවේ බලවත්භාවය නිසාම බලාපොරොත්තු පසුබසිනවා. පසුබසින තැනදිම ඔබ තවත් නැවුම් බලාපොරොත්තු ඇතිකරගන්නවා. එයත් හුදු බලාපොරොත්තුවක්‌මයි. ඔබ බලාපොරොත්තුවලින් ජීවිතය හිස්‌කරන්න. එවිට ජීවිතය එකතැනක නවතිනවා. ඒ නැවතුන තැන ඉඳලා චිත්තයක්‌ අධිෂ්ඨාණයක්‌ ඇති කරගන්න එක්‌කෝ මරණය නැතිනම් සතර අපායෙන් මිදීමය කියලා. එය බොහෝම ශක්‌තිමත් තැනක්‌. එවැනි ශක්‌තිමත් චිත්තයකදී ඔබ රැල්ල නැවතුන තැනදි, අසනීපයක්‌ වුණ තැනදි, ව්‍යාපාරය බිඳ වැටුණ තැනදි, රැකියාව අහිමිවුන තැනදී ආපසු හැරෙන්නෙ නැහැ. මොකද ඔබ දුක ගැන දැන ගෙනමයි දුකින් මිදීම දෙසට ගමන් කරන්නේ. මෙතනදි ඔබ තුළ ශ්‍රද්ධාව සකස්‌වෙලා තිබෙන්න අවශ්‍යයි. සද්ධර්මය සැකයකින් තොරව පිළිගැනීමට, ජීවිතයට එකතුකර ගැනීමට ශක්‌තිය ඔබ තුළ තිබිය යුතුයි.

බොහෝම සද්ධාවන්ත එක්‌ තරුණ මහත්මයෙක්‌ භික්‌ෂුවට ප්‍රකාශ කළා හාමුදුරුවනේ මා තුළ තරුණ කාලයේදීම බලාපොරොත්තුවක්‌ තිබුණා මම විවාහ වෙන්නෙ නැහැය කියලා. නමුත් මොකක්‌දෝ හේතුවක්‌ නිසා මට පෙම්වතියක්‌ මුණගැසුණා. එවිට අපි බලාපොරොත්තුවක්‌ ඇතිකරගත්තා විවාහ නොවී ධර්ම මාර්ගයේ ගමන් කරනවා කියලා. නමුත් හමුදුරුවනේ මොකක්‌දෝ හේතුවක්‌ නිසා අපි විවාහ වුණා. ඊට පස්‌සෙ අපි බලාපොරොත්තු වුණා දරුවන් හදන්නෙ නැහැ කියල. නමුත් මොකක්‌දෝ හේතුවක්‌ නිසා දරුවෙක්‌ හැදුවා. දැන් දරුවා පොඩියි. දැන් අපි බලාපොරොත්තු වෙන්නෙ දරුවා ලොකුවුනාම එයාවත් පැවිදි කරල අපිත් පැවිදි වෙන්න. අනේ හාමුදුරුවනේ අපේ මේ බලාපොරොත්තුව ඉටුකරගන්න පුලුන්වෙයිද කියල ඒ මහත්මය අහනවා. සත්‍යකින්ම එය ඉටුවෙන්නෙ නැහැ. මොකද එය හුදෙක්‌ බලාපොරොත්තුවක්‌ පමණක්‌මයි. ඔබ කළ යුත්තේ වෙනස්‌ වෙන බලාපොරොත්තුවලින් බැහැර වෙලා නොවෙනස්‌වන චිත්තයක්‌ සකස්‌කොට ගන්න. පිංවත් ඔබ ගිහි බැඳීම් වලට බැඳී ඇති නිසා පැවිදිවෙන්නටම අවශ්‍ය නැහැ. ගිහිජීවිතය තුළ සිටිමින්ම එක්‌කෝ මරණය එක්‌කෝ සතර අපායෙන් මිදීම කියන චිත්තය සකස්‌ කොට ගන්න. ඊට අදාළ ධර්මතාවයන් ජීවිතය තුළින් ක්‍රියාත්මක කරන්න.

එසේ තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌කොට ගතහොත් ඔබ ලෝකයේ ලොකුම ධනවතෙක්‌, ලොව්තුරා බුදුරජාණන් වහන්සේ වර්ණනා කළ ධනවතා, පොහොසතා තමයි තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව සකස්‌ කොටගත් පිංවතා. ඔබට ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ දරුවෙක්‌ වෙන්න අවශ්‍යනම් ඔබ ඔය ධනවත් භාවයට තමයි පත්වෙන්න ඕනේ. වර්තමාන සමාජයේ ධනවතා පොහොසතා කියන මිථ්‍යා මිම්ම ඔබ බැහැර කරන්න. ඔබ මේ සැබෑ ධනවත්භාවය හදුනාගතහොත් සමාජයේ සැප ලබා ගැනීම උදෙසා පවතින තරඟකාරී මනුෂ්‍ය පොරයට ඔබ හවුල්වෙන්නෙ නැහැ. ඔබේ පොහොසත්භාවය කියන්නේ ඉලක්‌කම් වලින් මනින දෙයක්‌ නොවේ. ධර්මයේ අර්ථය තුළින් මනින දෙයක්‌ බව තේරුම් ගන්නවා. ඉලක්‌කමේ වටිනාකම් නොවටිනාබව ඔබ දකිනවා. ඔබට ලෝකය යන දිශාව වැඩක්‌ නැහැ. ධර්මයේ අර්ථයන් වැඩෙන දිශාවයි වැදගත් වෙන්නේ. ඒ දිශාව වැටෙන්නෙ තමා තමාට හිරිහැරයක්‌ නැති, කාටවත්ම හිරිහැරයක්‌ නැති. ආර්යඅශ්ඨාංගික මාර්ගය දෙසටයි. දැන් ඔබට පුළුවන් ශක්‌තිමත් චිත්තයක්‌ ඇති කරගන්න. බලාපොරොත්තුවක්‌ නොවේ. බලාපොරොත්තුව තුළ සැකය විචිකිච්චාව සැඟවිලා තිබෙනවා. පිංවත් ඔබ දැන් සම්මාදිට්‌ඨිsය සකස්‌කොට ගෙන මාර්ගය තුළ සිටින්නේ. ආපස්‌සට යැමක්‌ නැහැ. මේ මොහොතේ ඇති කරගත්තා වූ එක්‌කෝ මරණය නැතිනම් සතරඅපායෙන් මිදීම කියන චිත්තය ඔබ පසුකොට පැමිණියා වූ භවගමනේ ඇතිකරගත් ශක්‌තිමත් චිත්තය වෙනවා. පිංවත් ඔබට මේ දේ කරන්න මෙවරත් ශක්‌තිය නොමැතිනම් ඔබ මෙවරත් පරාජය වේවි. එම නිසා සැබෑම සැපය උදෙසා ධර්මයේ සැබෑම පොහොසත් භාවය ජීවිතයට එකතු කර ගන්න.

භික්‍ෂුවක්‌ ධර්ම සාකච්ඡාවකට සහභාගිවීමට ධර්මාසනයට වඩිනවිට එහි පැමිණ සිටි සුදුවත් දැරූ සියලුම පිංවතුන්ලා එක මියුරු ස්‌වරයකින් සාදු….සාදු….සාදු යන හඬින් සංඝරත්නයට ගෞරව දැක්‌වුවා. ඒ හඬ බොහෝම ශ්‍රද්ධාවෙන් පිරුණු මිහිරි හඬක්‌. ගොඩාක්‌ නිවුනු හඬක්‌. ස්‌ත්‍රී, පුරුෂ දෙපක්‌ෂයෙන්ම ඇසෙනකොට එය දිව්‍යලෝකයේ දෙවියන්ගේ හඬක්‌ද කියල සිතෙනවා. කොටින්ම ඒ සෑම සැදැහැවතෙක්‌ම එම මොහොතේ සිටින්නේ මනුෂ්‍ය සංඥාවලින් මිදිලයි. දිව්‍ය සංඥා තමයි ඒ අයට සකස්‌ වෙන්නේ. එක්‌තරා භික්‍ෂුවක්‌ දවසක්‌ රාත්‍රී සමාධිමත් සිතින් පසුවෙනකොට දිව්‍ය ශ්‍රොaත ඔස්‌සේ භික්‍ෂුවට දිව්‍යතලයකින් සාදු….සාදු….සාදු කියන හඬ ඇසිල තිබෙනවා. ඒ දිව්‍ය හඬත් මේ මනුෂ්‍යය ස්‌වරයත් එකම ස්‌වභාවයමයි. නමුත් එක්‌තරා රැයකදි භික්‍ෂුවට තවත් අපූරු දිව්‍ය ශ්‍රොතයක්‌ ඇසුණා. දිව්‍ය තලයක තනි දෙවියෙක්‌ගේ හඬින්. එම දෙවියාගේ හඬ වුනේ අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියලා. බලන්න මුලින් සඳහන් කළ දෙවියාට වඩා කොච්චරනම් ඉදිරි දැක්‌මක්‌ද මේ දෙවැනි දෙවියාට තිබෙන්නේ. සමහරවිට එම දෙවියා මාර්ගඵලලාභී දෙවියෙක්‌ වෙන්නත් පුළුවන්. ඒ නිසාම වෙන්ට ඇති සාදු….සාදු….සාදු කියන අර්ථය ඉක්‌මවා ගිහිල්ලා අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියන හඬ බොහෝම ගැඹුරු සංහිදුන මනෝභාවයකින් සඡ්ජායනය කරන්නේ. භික්‍ෂුව පිංවත් ඔබට මතක්‌ කරන්නේ පිංවත් ඔබත් ධර්ම මාර්ගයේ අඩියක්‌ ඉදිරියට තබන්න. වර්තමානයේ හුඟක්‌ තරුණ පිරිස්‌, ගිහිපිංවතුන්ලා පිංකම්වලදි සඡ්ජායනය කරන සාදු….සාදු….සාදු කියන සඡ්ජායන අර්ථයෙන් අඩියක්‌ පෙරට තබලා අර්ථවත්ව අනිත්‍යයි….අනිත්‍යයි….අනිත්‍යයි කියන සඡ්ජායනයට පුරුදු වෙන්න. සාදු….සාදු කියලා බුදුරජාණන් වහන්සේට වන්දනා කරලා පමණක්‌ ප්‍රමාණවත් නැහැ. බුදුරජාණන් වහන්සේ තුළින් ධර්මයේ අර්ථය හෙවත් අනිත්‍යය දකින්න. එවිටයි සැබවින්ම බුදුරජාණන් වහන්සේ වන්දනා කළා වෙන්නේ. අනිත්‍යය කියන වචනය පාවිච්චි කරන්න, සඡ්ජායනා කරන්න සමාජයේ හුඟක්‌ බයයි. ඔබ අනිත්‍යය කියන වචනය මෙනෙහි කරන්න සඡ්ජායනා කරන්න බයයි කියන්නේ ඔබ ධර්මයට බයයි කියන කාරණයයි. මේ දුර්වලතාවයන් දුරස්‌ කරමින් අර්ථවත් තැනට ජීවිතය ගන්න. ඔබ දකින ස්‌වාමීන් වහන්සේත් අනිත්‍ය නම්, කරන පිංකමද අනිත්‍යනම්, පිංකම නිසා සකස්‌වෙන වේදනා, සංඥා, සංඛාර, විඤ්ඤාණ ධර්මතාවයනුත් අනිත්‍ය නම් ඒ අර්ථයයි අපේ සිතේ මතුවෙන්න ඕනේ. මෙවැනි චිත්තයක්‌ ඔබ තුළින් සකස්‌ කොට ගතහොත් එයත් සතර අපායෙන් නිදහස්‌ වීමට හුඟක්‌ උපකාරී වේවි.

අනිත්‍යය ගැන කතාකරන්න හුඟදෙනෙක්‌ බියයි. අනිත්‍යය කියල හිතුවාම නැතිවෙනවාය කියන අදහස තමයි සමහර පිංවතුන් ඇතිකරගෙන තිබෙන්නේ. සත්තකින්ම අනිත්‍යය ගැන සිතුවොත් යමක්‌ නැතිවෙනවා. ඒ නැතිවෙන්නේ දුකයි, දුක ඇතිවීමට හේතුවයි. මේ සියල්ල ඇතිකරන මෝහයයි. ඒ තුළයි ඔබ මතුකරගන්නේ ආර්ය අශ්ඨාංගික මාර්ගය. අනිත්‍යයයි කියන අර්ථය තුළ චතුරාර්ය සත්‍ය ධර්මයන් සැඟවී තිබෙනවා. අනිත්‍යය කියන ධර්මය ඔබේ ජීවිතයෙන් මතුකර නොගන්නා තාක්‌කල් චතුරාර්ය සත්‍යය ධර්මයන් ඔබෙන් වසන් වෙලයි තිබෙන්නේ. ඔබට අනිත්‍යයේ අර්ථය දකින්න තිබෙන්නේ අනිත්‍යය තුළින්මයි. වෙනස්‌වෙන දෙයක්‌ තුළ සිටිමින්ම වෙනස්‌ වන බව දකින්නයි තිබෙන්නේ. සිටීමක්‌ වේගවත් වන තරමට අනිත්‍යය වේගවත්. ඒ වේගවත් භාවයයි ඔබව සංකීර්ණ කොට තිබෙන්නේ. එතනදියි පිංවත් ඔබට සමාධිය උපකාරීවෙන්නේ. අනිත්‍යයේ සැබෑම වේගය ඔබ සමාධිය තුළිනුයි හඳුනාගන්නේ. ඒ නිසාමයි පිංවත් ඔබට සමාධිය සකස්‌වීමට හේතුවන ශ්‍රද්ධාව, ශීලය ගැන මේ තරම් සටහන් තබන්නේ.

මේ සටහන් තබන භික්‍ෂුව පිළිබඳව පිංවත් ඔබලා යම් කටුසටහනක්‌ සිතේ ඇඳගෙන තිබෙනවානම් ඒ තැනට එන්නට භික්‍ෂුවට උපකාරීවූවේ ශීලයයි. එය උත්කෘෂ්ඨභාවයෙන් රැක්‌කා වූ ශීලයක්‌. අසනීපයකට පැරසිටමෝල් පෙත්තක්‌ ළඟ තබාගත්තේ නැහැ. පානය කලේ ස්‌වමුත්‍රා මාත්‍රා මාත්‍රාවක්‌. නමුත් වර්තමානයේ අවශ්‍ය ඖෂධ ළඟතබාගෙන පරිහරණය කරනවා අවශ්‍යතාවයන්ට අනුව. අදාළ නිවන් මාර්ගය වඩන කාලයේ සමහරදාට මුහුණ සෝදාගන්න සබන් කැබැල්ලක්‌ තිබුණේ නැහැ. ඒක ඉවරවෙලා. ඒත් දායකමහත්තයෙක්‌ සබන් කෑල්ලක්‌ පුජා කරන තෙක්‌ කටින් ඉල්ලුවේ නැහැ. සබන් පාවිච්චි නොකර හිටියා. නමුත් කුමන හේතුවක්‌ නිසාද දන්නෙ නැහැ වර්තමානයේ වැඩසිටින සෑම කුටියකම සබන්කැට පහ හයක්‌ තිබෙනවා භාජනයක දමලා. දැන් භික්‍ෂුවට හිතෙනවා අතීතයේ භික්‍ෂුවට එවැනි හිඟපාඩු කුටි ලැබුණේ භික්‍ෂුවට අදාල කාරණා පරිපූර්ණ කරගන්න කියලා. නොලැබීමත් ජයග්‍රහණයක්‌ කරගන්නට. නිවීමේ මෙහෙයුමේ යෙදෙන කාලයේදී භික්‍ෂුවට හොඳින් දැනුනා ශරීරය බොහෝ දුර්වලයි, කෘශ වෙලා, මරණය බොහෝම ළඟය කියල. එහෙත් භික්‍ෂුවට ආහාර ඖෂධ වල වටිනාකමක්‌ තිබුණේ නැහැ. ජීවිතය අතහැරුන විටද ආහාර ඖෂධ හුදෙක්‌ බාධාවක්‌ පමණක්‌මයි.(maharahathunwadimaga)

ඔබගේ අදහස අපට කියන්න

Close