ලංකාව කොකේන් බෙදා හැරීමේ මධ්‍යස්ථානයක් ලෙස භාවිතා කරලා

කොකේන් නමැති මත්ද්‍රව්‍ය බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානයක් ලෙස මත්ද්‍රව්‍ය ජාවාරම්කරුවන්  ශ්‍රී ලංකාව කාලයක් පුරා යොදාගෙන ඇති බව අනාවරණය වී තිබෙනවා.
යුරෝපීය රටවල් සඳහාත් කැනඩාවටත් ඕස්ට්‍රේලියාවටත් ශ්‍රී ලංකාව හරහා කොකේන් බෙදා හැර ඇති බව දැනට සිදුකර ඇති විමර්ෂණවලදී අනාවරණ වී ඇති බවටයි තොරතුරු වාර්තාවන්නේ.
කොකේන් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය කරනු ලබන ලෝකයේ ප්‍රබල රටක් වන්නේ බ්‍රසීලයයි.

මෙරටට සීනි වැඩි වශයෙන් ආනයනය කෙරෙන්නේද බ්‍රසීලයෙනි.

එසේ ආනයනය කරන කන්ටේනර් තුළ බ්‍රසීලයේදීම කොකේන් තොග අසුරා මෙරටට එවන බවත් මෙරට ගුදම්වලදී ඒවා ඉවත් කර ගනිමින් ලොව පුරා බෙදා හරින බවත් අදාළ විමර්ෂණවලදී අනාවරණ කර තිබෙනවා.

ශ්‍රී ලංකාව කොකේන් බෙදාහැරීමේ කේන්ද්‍රස්ථානය බවට ජාවාරම්කරුවන් පත්කරගෙන ඇත්තේ මෙරට කොකේන් නමැති මත්ද්‍රව්‍ය නිෂ්පාදනය නොවන බැවින් මෙරට සිට එකී රටවල්වලට ගෙනයන භාණ්ඩ හෝ පාර්සල් මත්ද්‍රව්‍ය පරීක්ෂාවන්ට ලක් නොවීම හේතුවෙන් බවද සදහන්. මෙම වසර තුළ පමණක් සීනි කන්ටේනර්වල සඟවා මෙරටට ගෙන ආ කොකේන් කිලෝ 600කට වැඩි ප්‍රමාණයක් අවස්ථා 04කදී  සොයා ගනු ලැබුවා.
එම ජාවාරම්වලට සම්බන්ධ සැකකරුවන් කිහිප දෙනකුද අත්අඩංගුවේ පසුවනවා.

ඔබගේ අදහස අපට කියන්න

Close