හමුදා කුමන්ත්‍රණ කතාවල ඇත්ත නැත්ත

කාලාන්තරයක් පුරා අළු යට තිබූ ආන්දෝලනාත්මක මාතෘකා දෙකක් යළිදු වරක් ගිය සතියේ කරළියට ආවේය. ඒ පාර්ලිමේන්තුවේ අයවැය විවාදය අතරතුරේදීය. මුලින්ම දෙබරයට ගල් ගැසුවේ අධිකරණ ඇමැති විජයදාස රාජපක්ෂය. ලංකාවේ මුස්ලිම් ප්‍රභූ පවුල් හතරක පුද්ගලයන් තිස් දෙනෙක් සිරියාවට ගොස් අයි.එස්.අයි.එස්. සංවිධානයට බැඳී ඇති බව ඔහු කීවේ මුළු රටම කළඹවමිනි. ඇමැතිවරයා මේ හෙළිදරව්ව කළේ මෙරට විදෙස් බුද්ධි අංශ උපුටා දක්වමිනි. එනමුත් ඔහු එම බුද්ධි අංශය දුන් තොරතුරුවල පදනම ඔහු නිශ්චිතවම ප්‍රකාශ කළේ නැත. ආණ්ඩුව මතෛක් ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ක්‍රියාත්මක නොකළ මුත් අවශ්‍ය වුවහොත් එම පනත යළි ක්‍රියාත්මක කිරීමට පසුබට නොවන බව ඔහු ප්‍රකාශ කළේ මානව හිමිකම් සංවිධානද හිරිවට්ටවමිනි.

යහපාලනයේ ත්‍රස්තවාදී පනත

මක්නිසාදයත් උතුරේ ත්‍රස්තවාදය මැඩලීමට බව පවසමින් ගෙනා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත ආණ්ඩුවල ඕනෑ එපාකම් අනුව ඉකුත් කාලයේ යොදාගත්තේ දේශපාලන පලිිගැනීම් සඳහා බැවිනි.
මේ නිසා ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත අහෝසි කළ යුතු බවට ආණ්ඩුවට ජාත්‍යන්තරයෙන් බලපෑම්ද එල්ල විය. එවැනි තත්ත්වයක් හමුවේ යහපාලනයේ බෝඩ් ලෑල්ල එල්ලාගත් ආණ්ඩුවක අධිකරණ ඇමැතිවරයකු ත්‍රස්තවාදය වැළැක්වීමේ පනත යළි ගෙනෙන බව කීම ආණ්ඩුවේ සෞඛ්‍යයට හිතකර කතාවක් නොවේ.
කෙසේ නමුදු අයි.එස්.අයි.එස්. සංවිධානය ගැන අධිකරණ ඇමැතිවරයා කියූ කතාවට ආණ්ඩුවෙන්ම දැන් එල්ල වෙමින් පවතින්නේ දැඩි විරෝධයකි. ඔහුගේ එම ප්‍රකාශයට හැරෙන තැපෑලෙන්ම උත්තර දුන්නේ රාවුෆ් හකීම් ඇමැතිවරයාය.
මුස්ලිම් ජාත්‍යන්තර පාසල් වල සිටින විදෙස් ගුරුවරුන් මෙරට දරුවන් ත්‍රස්තවාදයට ‍පොළඹවන ඉගැන්වීම් කරන බවට අධිකරණ ඇමැතිවරයා කළ කතාවේ මූලාශ්‍රය කුමක්දැයි රාවුෆ් හකීම් ඇමැතිවරයා ප්‍රශ්න කළේය.
ඔහු පමණක් නොව සම කැබිනට් ප්‍රකාශක රාජිත සේනාරත්න ඇමැතිවරයාත් විජයදාස රාජපක්ෂ ඇමැතිවරයාගේ කතාව ප්‍රතික්‍ෂේප කළේ රජයේ නිල මතය හෙළි කරමිනි.

මූලාශ්‍රය කුමන බුද්ධි අංශයද

මේ සිද්ධිය අරබයා මතුවන මූලික කාරණාව වන්නේ අධිකරණ ඇමැතිවරයා කළ කතාවේ මූලාශ්‍රයය. මෙරට මුස්ලිම් ප්‍රජාවගේ දේශපාලන නායකයා ලෙස පිළිගැනෙන රාවුෆ් හකීම්   ඇමැතිවරයා ප්‍රශ්න කරන්නේ ඇමැතිවරයාගේ මූලාශ්‍රයයි. අධිකරණ ඇමැතිවරයා කියූ ආකාරයට ඔහුට එම තොරතුරු දුන්නේ විදේශයන්හි සිටින මෙරට ඔත්තු සේවාය. එම ඔත්තු සේවය ක්‍රියාත්මක වන්නේ ආරක්ෂක අමාත්‍යාංශය මගිනි.
ලංකාවේ ඔත්තු සේවය සැකසී ඇත්තේ අංශ කීපයක් යටතේය. ආරක්ෂක අමාත්‍යංශයේ ජු
අධීක්ෂණය යටතේ ක්‍රියාත්මක වන්නේ ජාතික බුද්ධි ප්‍රධානියා හා රාජ්‍ය බුද්ධි සේවයය. ඊට අමතරව ත්‍රිවිධ හමුදාවට ‍පොලිස් දෙපාර්තමේන්තුවට හා විශේෂ කාර්ය බළකායටද බුද්ධි අංශ තිබේ. විදේශයන්හි ඇති ශ්‍රී ලංකාවේ තානාපති කාර්යාල හා මහ කොමසාරිස් කාර්යාලවලට හමුදා නිලධාරීහු අනුයුක්ත කර සිටිති.
ආණ්ඩු මාරුවත් සමග ජාතික බුද්ධි ප්‍රධානියා වූයේ රහස් ‍පොලීසිය භාරව හුන් විශ්‍රාමික නියෝජ්‍ය ‍පොලිස්පතිවරයකු වූ සිසිර මෙන්ඩිස්ය. රාජ්‍ය බුද්ධි සේවයේ ප්‍රධානියා වන්නේ වැඩබලන නියෝජ්‍ය ‍පොලිස්පති නිලන්ත ජයවර්ධනය. අධිකරණ ඇමැතිවරයා සිය කතාව තහවුරු කිරීමට බුද්ධි අංශ උපුටා දැක්වූවේ නම් එය රාජ්‍ය බුද්ධි සේවයේ හෝ විදෙස් බුද්ධි සේවයද අයත් ජාතික බුද්ධි ප්‍රධානියා දැනුවත් වී තොරතුරු දිය යුතුය. එනමුත් නම හෙළි නොකිරීමේ කොන්දේසිය මත මේ තීරුවට අදහස් දැක්වූ ‍‍‍ජ්‍යෙෂ්ඨ නිලධාරියෙකු පැවැසූයේ ආරක්ෂක අමාත්‍යාංශය දැනුවත්ව අධිකරණ ඇමැතිවරයා කියූ ආකාරයේ වාර්තාවක් සකස් නොකළ බවය.

බෞද්ධ මුස්ලිම් අන්තවාදය

ඉකුත් කාලයේදී ලංකාවේ මුස්ලිම් අන්තවාදය මෙන්ම බෞද්ධ අන්තවාදයද හිස එස වූ බව රහසක් නොවේ. ගිනි ඇවිළීමට සැදී පැහැදී සිටින දෙපැත්තේම අන්තවාදීන්ට එරෙහිව රජය දැඩි තීන්දු ගැනීමට සැරසෙන බව මේ තීරුවට වාර්තා වේ. මේ අතරේ බොරලැස්ගමුවේ ෆැෂන් බග් රෙදිපිළි ගබඩාවේ හටගත් ගින්න ගැනද ආණ්ඩුවේ අවධානය යොමුවී තිබේ. ඉකුත් ආණ්ඩු සමයේ බොරලැස්ගමුවේ රෙදිපිළි ගබඩාවකුත් ගිනි ගත්තේය. පානදුරේ නොලිමිට් ඇඳුම් සාප්පුවම ගිනි ගෙන සම්පූර්ණයෙන්ම අළු බවට පත්විය. තවත් රෙදිපිළි සාප්පු කීපයකට ගල් මුල් ප්‍රහාර එල්ල විය. මේ සියලු ආයතනවල හිමිකරුවෝ මුස්ලිම් ජාතිකයෝය. මේ ගිනි පසුපස සිටින්නේ රට ගිනි තැබිමට සිටින අන්තවාදීන් දැයි සැකයක් ඇති වී තිබේ.

ගැටුම පිටුපස ආණ්ඩු විරෝධීන්

ජනපති මෛත්‍රීපාල සිරිසේනද ප්‍රකාශ කළේ ඇතැමුන් ජාතිවාදය අවුස්සා දේශපාලන වාසි ගැනීමට තැත් කරන බවය. ජනපති ‍ලේකම් කාර්යාලය ඉදිරිපිට ආබාධිත සෙබළුන්ගේ උද්ඝෝෂණය ප්‍රචණ්ඩ මාවතට රැගෙන යාම පිටුපස ආණ්ඩු විරෝධී භික්ෂූන් සිටින බවද ජනපතිවරයා කීවේය. ඒ පිළිබඳ ආණ්ඩුව කළ අභ්‍යන්තර පරීක්ෂණයේ                     වාර්තාවක්ද භාරදී තිබේ. මේ තීරුවට වාර්තාවන ආකාරයට ඉන් එක් භික්ෂුවක් මහින්ද රාජපක්ෂ ජනපති ධුරය දැරු අවධියේ ඔහුගේ උපදේශකයෙකි. ඒ සඳහා උන්වහන්සේට ජනපති කාර්යාලය විසිින් රුපියල් හතළිස් දහසක මාසික දීමනාවක් ගෙවා තිබේ. ජනපති ‍ලේකම් කාර්යාලයේ ඉදිරිපිට වූ ගැටුමට චෝදනා ලද තවත් භික්ෂුවකට විමල් වීරවංශ ඇමැතිවරයා නිවාස ඇමැති ධුරය දරන කාලයේ උන්වහන්සේට මාසික කුලී පදනම මත වාහනයක් දී ඇති බව තහවුරුවී තිබේ.
හමුදා කුමන්ත්‍රණයක්ද?
තත්ත්වය මෙසේ තිබියදී ඒකාබද්ධ විපක්ෂයේ නායකයා වන දිනේෂ් ගුණවර්ධන ඇමැතිවරයා පාර්ලිමේන්තුවේදී තවත්් ආන්දෝලනාත්මක කතාවක් කළේය. ඒ ඉකුත් දහනව වැනිදාය. එය සෙනසුරාදා දිනයකි. මැති සබයේ නිවාඩු දිනයක රැස් වූයේ අයවැය විවාදය නිසාය.
ප්‍රජාතන්ත්‍රවාදය මේ විදියට අනතුරට ලක් වුවහොත් ඉදිරියේදී රටේ හමුදා කුමන්ත්‍රණයක් ඇති විය හැකි බව මන්ත්‍රීවරයා කීවේය.
හමුදා කුමන්ත්‍රණයක් වූ කලී ඡන්දයෙන් නොව උණ්ඩයෙන් රාජ්‍ය බලය අල්ලා ගැනීමේ ක්‍රමයකි. එහිදී වන්නේ ජනපති මැති ඇමැතිවරු ජීවග්‍රහයෙන් අල්ලා හෝ මරා දමා ආණ්ඩු බලය අත්කර ගැනීමය. හමුදා කුමන්ත්‍රණයට එක්වන්නේ අතිශය විශ්වාසවන්ත හා රහසිගත පිරිසකි. ආණ්ඩුවේ මර්මස්ථාන, රූපවාහිනී ගුවන්විදුලි ආයතන, ගුවන්තොටු‍පොළ, හමුදා මූලස්ථාන සිය පක්ෂපාතී සෙබළුන් ලවා අත්පත්කර ගැනීම හමුදා කුමන්ත්‍රණවලදී නිරතුරුව සිද්ධ වන්නෙකි. රාජ්‍ය විරෝධී කුමන්ත්‍රණවලට එක්වන අයට හමුදා නීතිය අනුව හිමිවන්නේ මරණ දඬුවමය.
කෙසේ නමුදු දිනේෂ් ගුණවර්ධනගේ මේ කතාවට ආණ්ඩුව පැත්තෙන් එල්ල වූයේ දැඩි විරෝධයකි. මානව හිමිකම් ක්‍ෂේත්‍රයේ    හා රාජ්‍ය තාන්ත්‍රික අත්දැකීම් ඇති වෘත්තීය දේශපාලනඥයකුද ජනපතිවරයාගේ ජාත්‍යන්තර කටයුතු පිළිබඳ විශේෂ නියෝජිතයාද වන මහින්ද සමරසිංහ ඇමැතිවරයා කීවේ දිනේෂ් ගුණවර්ධනගේ මේ කතාව විනයගරුක හමුදාවකට කළ අගෞරවයක් බවය.

නාවික හමුදාපතිගේ ප්‍රතිචාරය

මේ ගැන පුවත්පත් කලාවේදියෙකු නැගූ ප්‍රශ්නයකට ප්‍රතිචාර දැක්වූ නාවික හමුදාපති වයිස් අද්මිරාල් රවීන්ද්‍ර විජේගුණරත්න කීවේ හමුදාව ඇත්තේ රජය ආරක්ෂා කිරීමට මිස කුමන්ත්‍රණ කිරීමට මිස නොවන බවය. හමුදාව සම්බන්ධයෙන් කරන මෙවැනි කතා ගැන දැඩි කලකිරීමක් ඇති වන බවද ඔහු කීවේය.
එස්.බි. දිසානායක ඇමැතිවරයා කීවේ ඉන්දියාව සිටින තුරු ලංකාවේ හමුදා කුමන්ත්‍රණවලට ඉඩ නැති බවත් එවැනි දෙයක් වුවහොත් එය ව්‍යර්ථ කිරීමට ඕනෑ වන්නේ ඉන්දියාවෙන් එන යුද නැව් දෙකක් පමණක් බවය.

ඉන්දීය මැදිහත්වීම

ඇමැතිවරයා ඒ කතාව කියන්නට ඇත්තේ මින් පෙර ලංකාවේ හමුදා කුමන්ත්‍රණ ගැන කියැවුණු අවස්ථා දෙකකදී තිරය පිටුපස සිට ඉන්දීය මැදිහත්වීමක් වූ නිසා වෙන්නැතිය. ඒ සිද්ධීන් දෙක දැනහුන්නේ ඉහළ පෙළේ දේශපාලන අංශ පමණි. මුල්ම සිද්ධිය ඉන්දු ලංකා ගිවිසුම අත්සන් කළ මොහොතේදීය. තමා ගිවිසුමට අත්සන් කළහොත් ඊට විරුද්ධව හුන් අගමැති ප්‍රේමදාස සන්නද්ධව හමුදා කුමන්ත්‍රණයකින් තමා ධුරයෙන් පහකරතැයි ජනාධිපති ජේ.ආර්. ජයවර්ධන තිගැස්සීමට ලක්වූ බවත් එවැනි දෙයක් උද්ගත වුවහොත් ජනපති මැදුරට කඩා වැදී ජේ.ආර්. ගලවා ගැනීමට ඉන්දියානු කොමාන්ඩෝ සෙබළුන් හුන් නෞකා ජනපති මැදුර සමීපයේ කොළඹ වරාය මුහුදේ නවතා තිබූ බවත් එකල ශ්‍රී ලංකාවේ ඉන්දියන් මහකොමසාරිස්වරයා වූ ජේ.ඇන්. ඩික්සිත් ලියූ කොළඹ භූමිකාව කෘතියේ සඳහන් වේ.
දෙවැනි සිද්ධිය ජෙනරාල් සරත් ෆොන්සේකා යුද හමුදාපතිව හුන් කාලයේය. එකල යුද හමුදාවේ හැටවන සමරුව වෙනුවෙන් පිරික්සුම් පහන් සංදර්ශනයක් කොළඹදී පැවැත්විණි. ඊට පිට පළාත්වල හුන් කොමාන්ඩෝ හා විශේෂ බළකා ඇතුළු සෙබළුන් දහස් ගණනක් කොළඹට කැඳවා තිබුණි. ඒ ගැන ආණ්ඩුවේ ඉහළ ස්ථර නොසතුටින් පසුවූහ. ඒ සරත් ෆොන්සේකා යුද වීරයකු ලෙස කැපී පෙනී තිබිමය. මේ අතරේ ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ හුන් සෙබළු පුහුණුවීම් කළේ අපි ජෙනරාල්ගේ ආමි එකේ යනුවෙන් කියමිනි. දිනය නිශ්චිතවම හෙළි වූයේ නැති මුත් කොමාන්ඩෝ හා විශේෂ බළකා ඇතුළු සෙබළු කොළඹ අල්ලන්නට ඛෙත්තාරාම ක්‍රීඩාංගණයේ කුමන්ත්‍රණය කරතැයි වැරදි තොරතුරක් එකල හුන් ජනාධිපති මහින්ද රාජපක්ෂගේ කනට ගියේය. ඔහු එදින රාත්‍රියේ වහාම ඉන්දීය අග්‍රාමාත්‍යවරයා අමතා ආධාර ඉල්ලූ බව එකල සඳහන් විය. වැරදි තොරතුරක් පදනම් කරගනිමින් තමා ගැන අවිශ්වාස කිරීම ෆොන්සේකා හා රාජපක්ෂවරු අතර නයි මුගටි වෛරය ඇති කිරීමට අඩිතාලම දැම්මේය.

ෆොන්සේකාට කුමන්ත්‍රණ චෝදනා

මේ සිද්ධියෙන් පසු යළිදු වරක් හමුදා කුමන්ත්‍රණ කතා දෙකක් කරළියට ආවේය. පළමු සිද්ධිය 2010 ජනාධිපතිවරණය පැවැති රාත්‍රියේය. එදින සරත් ෆොන්සේකා හමුදා කුමන්ත්‍රණයකට සැරසෙතැයි කියූ ආණ්ඩුව ඔහු රාත්‍රියේ නවාතැන් ගත් සිනමන් ‍ලේක් සයිඩ් හෝටලය වටා ආරක්ෂාව තර කළේය. ෆොන්සේකාට සහය දක්වන සෙබළුන්ගේ ප්‍රහාරයකට බියෙන් ජනපති හා අගමැති මන්දිර වටා යුද ටැංකි වළල්ලක් නිර්මාණය කෙරුණි. ජාතික රූපවාහිනිය, ගුවන් විදුලි සංස්ථාව, ‍ලේක්හවුස් ආයතනයට හමුදා ආරක්ෂාව යෙදවිණි. සරත් ෆොන්සේකාගේ මව් රෙජිමේන්තුව වූ අඹේපුස්සේ සිංහ රෙජිමේන්තු මූලස්ථානයේ අවි ගබඩාවට සීල් තබා සෙබළුන්ට එළියට යාම තහනම් කර ඔවුහු කඳවුරු අඩස්සියේ තැබූහ. ගෝඨාභය රාජපක්ෂ අයත් ගජබා රෙජිමේන්තුව හා එකල හමුදාපති ලුතිනන් ජෙනරාල් ජගත් ජයසූරියට අයත් සන්නාහ සන්නද්ධ බළකා සෙබළුන් දහස් ගණනකට කොළඹ ආරක්ෂාව භාර දුන්නේය. හදිසි ප්‍රහාරයකට තවත් සෙබළු දහස් ගණනක් හමුදා මූලස්ථානයේ හුන්හ. එදින රාත්‍රියේ ඔවුන්ට විශේෂ කැලෑ ඇඳුමක් ඇන්දවූයේ කුමන්ත්‍රණයක් වුවහොත් මහින්ද රාජපක්ෂට පක්ෂපාතී විශ්වාසවන්ත සෙබළුන් හඳුනා ගැනීමටය. එහෙත් එදින එළිවනජාමයේ කුමන්ත්‍රණ කතාව ආණ්ඩුවේ හිතලුවක් පමණක් විය.
ඉක්බිතිව 2015 ජනපතිවරණය රාත්‍රියේ හමුදා කුමන්ත්‍රණයක් කර යළිත් වරක් රාජපක්ෂවරුන්ට බලය දීමේ තැතක් ගැන කියැවිණි. ඊට හේතු වූයේ විශේෂ බළකා හා ගජබා රෙජිමේන්තු සෙබළුන් බුරුතු පිටින් කොළඹට කැඳවීමය. එනමුත් වූ දෙයක් නැත.

හැට දෙකේ හමුදා කුමන්ත්‍රණය

කෙසේ නමුදු මින් පෙර ලංකාවේ ඇත්තටම හමුදා කුමන්ත්‍රණ දෙකක් ඇති විය. එකක් වූයේ එක්දහස් නමසිය හැට දෙකේදීය. එහි මහ මොළකරුවා වූයේ ‍‍‍ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය ‍පොලිස්පති සී.සී. දිසානායකය. කර්නල් මොරිස් ද මැල්, කර්නල් ඇෆ්.පී. ද සේරම් ඇතුළු ආරක්ෂක අංශ නිලධාරීහු පිරිසක් ඊට චෝදනා ලදහ. මේ සිද්ධිය සැලවීමත් සමග නාවික හමුදාපති රාජන් කදිර්ගාමර් (ඔහු ලක්ෂ්මන් කදිර්ගාමර්ගේ සොයුරෙකි) යුද හමුදාපති මේජර් ජෙනරාල් එච්.ඩබ්ලිව්.ජී. විජේකෝන්, ගුවන් හමුදාපති එයාර් වයිස් මාර්ෂල් ජේ.එල්. බාර්කර් අගමැති සිරිමාවෝ බණ්ඩාරනායක හමුවී සිය හමුදාවල පක්ෂපාතීත්වය ඇයට දිවුරූහ. එම කුමන්ත්‍රණය උපන්ගෙයිම මියැදුණේය.
ඉක්බිතිව එක්දහස් නවසිය හැට හයේදී මිලිටරි ජුන්ටාවක් ගැන චෝදනා එල්ල විය. ඊට සම්බන්ධ බව කියමින් කීපදෙනෙක් අත්අඩංගුවට පත්වූහ. මේ සියලු සිද්ධීන් සඳහා සෘජුව බලපා තිබුණේ දේශපාලනයයි.
එසේ නොමැතිව වෙනත් රටවල්වල හමුදා නිලධාරීන් පෙරමුණ ගෙන කළ හමුදා කුමන්ත්‍රණ ලංකාවේ වූයේ නැත. එනමුත් මේජර් ජෙනරාල් ඩෙන්සිල් කොබ්බෑකඩුව, මේජර් ජෙනරාල් ජානක පෙරේරා මෙන්ම ජෙනරාල් සරත් ෆොන්සේකා අරබයා එවැනි හමුදා කුමන්ත්‍රණ කතා ප්‍රචාරය විය. එහෙත් වූ දෙයක් නැත. කෙසේ නමුදු ත්‍රිවිධ හමුදාව, විශේෂයෙන් වැඩිම අවි හා පිරිස් බලයක් ඇති යුද හමුදාවේ හෝ කුමන්ත්‍රණ කතාවක් කරලියට මෑත කාලයේ ආවේ නැත. මක්නිසාද යත් දැන් යුද හමුදාවේ රටේ ජනප්‍රියත්වයට, වීරත්වයට පත් හෝ වන්දනාමාන කරන පිළිම නැති බැවිනි. යුද මෙහෙයුම් සමයේ රටේ ජනප්‍රියත්වයට පත් සේනාංකාධිපතිවරු  දැන් තිරයෙන් මැකී ගොසිනි. ඉකුත් ආණ්ඩු සමයේ ඔවුන්ට යළි නැගිටීමක් නොවීය. ඒ ගිය ආණ්ඩුව ෆොන්සේකාගෙන් පාඩමක් ඉගෙන ගෙන යළි ෆොන්සේකා කෙනෙකු බිහිවීමට උපාය මාර්ගිකව ඉඩ නොතැබූ බැවිනි. ඒ නිසා එකල යුද වීරයන්ට සිද්ධ වූයේ විදෙස් සේවය යන ගරුබුහුමනට යටවී විදේශයන්හි තානාපති කාර්යාලවලටවී ලංකාවට නොපෙනී ඉන්නය. එසේ ‘යුද විරුවන්’ ලෙස හැඳින්වූ බොහෝ දෙනෙකු දැන් සිටින්නේ විශ්‍රාමික සුවය විඳිමින්ය.
කෙසේ නමුදු දිනේෂ් ගුණවර්ධන මන්ත්‍රීවරයාගේ කතාවෙන් දේශපාලනඥයන් කැළඹුණා මිසක් හමුදාවේ ජෙනරාල්වරුන් හෝ සෙබළුන්ට ඒ ගැන තැකීමක් නැති සේය. මක්නිසාදයත් ලංකාවේ හමුදාවල පසුබිම අනුව එවැනි දෙයක් වීමට සම්භාවිතාව ඇත්තේ සෘණ අගයක් බැවිනි.
හමුදාව අරබයා ගෝල් කණුවට දේශපාලනඥයන් එල්ල කරන පාපන්දු රැක ගැනීමට ආණ්ඩුවට හොඳ පන්දු රකින්නන්  යොදවන්නේ නැති බව මෙවැනි කතා මේ සා දුරදිග යාමෙන් පෙනේ. ඒ අසීරු කාලයක ආරක්ෂක අමාත්‍යාංශයේ ‍ලේකම් ධුරය දැරූ ඔස්ටින් ප්‍රනාන්දු ජනපති උපදේශයකු ලෙසද, යුද්ධය දිනා දීමට හමුදා නායකත්වය දුන් ෆීල්ඩ් මාර්ෂල් සරත් ෆොන්සේකා වැනි හමුදාව ගැන දන්නා චරිත ආණ්ඩුවේ සිටියදීය.(lakbima)

W3Schools

ඔබගේ අදහස අපට කියන්න

Close