අදටත් එළියට නොආ වැලිකඩ සංහාරයේ වාර්තා මෙන්න

වැලිකඩ බන්ධනාගාරයට කඩා වැදුණු එස්ටීඑෆ් හා යුද හමුදා භටයන් විසින් බන්ධනාගාර රඳවුවන් 27 දෙනකු ඝාතනය කරනු ලැබ මේ වන විට වසර හතරක් ගතවී තිබේ. 2012 නොවැම්බර් 9 වැනිදා අපරභාගයෙන් පටන්ගෙන 10 වැනිදා උදේ දක්වා බන්ධනාගාරය තුළ ක්‍රියාත්මක වුණු මේ බිහිසුණු මෙහෙයුම නිසා තුවාල ලත් රඳවුවන් සංඛ්‍යාව 43ක් පමණ බව වාර්තාවෙයි. බන්ධනාගාරය තුළ රඳවුවන් සතු නීති විරෝධී දුරකථන හා වෙනත් දේ සොයාගැනීම පිණිසයැ’යි කියමින් සැලසුම් කරන ලද මේ ඝාතන මෙහෙයුම සැලසුම් කරන ලද්දේ එවකට ආරක්‍ෂක අමාත්‍යාංශයේ ලේකම් ගෝඨාභය රාජපක්‍ෂ ඇතුළු පිරිසක් විසිනි. බන්ධනාගාරය තුළ සිදුවූ ඝාතන ඉතාමත් සැලසුම් සහිතව, ලැයිස්තුවක් අනුව රඳවුවන්ගේ නම් කතාකොට, පැත්තකට ගෙන වෙඩිතැබීමෙන් සිදුවූ ඒවා බවට ඉතා පැහැදිලි සාක්‍ෂි තිබේ.
බන්ධනාගාරයක් තුළ සිටින්නෝ වරදවලට දඬුවම් ලැබූවෝය. සමහර අය මරණීය දණ්ඩනය නියම කරන ලද්දෝය. ඒ කවුරු වුණත් ඔවුන් සිටින්නේ රජය භාරයේය. එහි තේරුම මේ සියලු දෙනාගේම පරම ආරක්‍ෂාව රජය විසින් සැපයිය යුතු බවයි. එහෙත්, රාජපක්‍ෂ ආණ්ඩුව කාලයේ රජයේ මේ පරම වගකීම කුණු කූඩයට දමා, රඳවුවෝ 27 දෙනෙක් ඝාතනය කරන ලද්දෝය.
වැලිකඩ සමූහ ඝාතනය ලංකාව තුළ පමණක් නොව ජාත්‍යන්තරයේද අවධානය දිනාගත්තේ රාජ්‍යය, තමන්ගේ පොලිසිය හා හමුදාවම යොදවා, තමන් භාරයේ සිටි පිරිසක් මෙලෙස අමු අමුවේ මරාදැමීම නිසාය. එනිසා මේ බිහිසුණු ඝාතනය ගැන පරීක්‍ෂණයක් පැවැත්වීම අත්‍යවශ්‍ය විය. එහෙත්, රාජපක්ෂ ආණ්ඩුව කාලයේ ඒ පරීක්‍ෂණ පැවැත්වුණේ ඔවුන්ට සුපුරුදු වරදකරුවන් ආරක්‍ෂා කරන පිළිවෙතේම හිඳිමිනි. ඒ නිසා ඒ කාලය තුළ සිදුකෙරුණු එකම පරීක්‍ෂණයකවත් වාර්තා එළියට ආවේ නැතිවා පමණක් නොව, මිනිස් ජීවිත 27ක් බිල්ලට ගත් වරදකරුවන් කිසිවකු හඳුනාගැනුණේද නැත.
2012 නොවැම්බර්හිදී ඝාතන සිදුවූ වහාම අපරාධ පරීක්‍ෂණ දෙපාර්ත මේන්තුව හෙවත් සීඅයිඩීය පරීක්‍ෂණයක් ආරම්භ කළේය. මේ පරීක්‍ෂණයේ ප්‍රතිඵල තවමත් කිසිවකු දන්නේ නැත. සීඅයිඩීයට සාක්‍ෂි දුන්, සිද්ධිය ඇසින් දුටු රඳවුවන්ගේ ප්‍රකාශ පවා සටහන් කරගත්තේ කෑලි අඩුවෙන් බව රඳවුවෝම ප්‍රකාශ කරති. එක් බන්ධනාගාර නිලධාරියකු සීඅයිඩීයට සාක්‍ෂි දෙන්නට සැරසෙන විට සීඅයිඩී නිලධාරියකු ඔහුට කීවේ මෙවැන්නකි. ‘අපි ඇවිල්ලා ඉන්නේ ආණ්ඩුවේ පව් හෝදන්න. ඒ නිසා දෙන කටඋත්තරයක් පරිස්සමට දෙන්න.’ ඉතින් සීඅයිඩී පරීක්‍ෂණය ගැන කුමන කතාද?

සිද්ධිය සම්බන්ධයෙන් පරීක්‍ෂා කොට වාර්තාවක් සපයනු පිණිස එවකට පුනරුත්ථාපන හා බන්ධනාගාර හා ප්‍රතිසංස්කරණ ඇමති චන්ද්‍රසිරි ගජධීරද තිදෙනකුගෙන් යුත් කමිටුවක් පත් කළේය. එහි සාමාජිකයෝ වූවෝ, විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු බන්දුල අතපත්තු, විශ්‍රාමලත් නියෝජ්‍ය පොලිස්පති ගුණසේන තේනබදු හා බන්ධනාගාර ප්‍රතිසංස්කරණ අමාත්‍යාංශයේ නීති නිලධාරි ලලිත් අන්ද්‍රාහැන්නදිය. මේ කමිටුවේ අතුරු වාර්තාව 2013 පෙබරවාරි මාසයේදීත්, අවසන් වාර්තාව 2013 නොවැම්බර් මාසයේදීත් ගජධීර ඇමතිවරයාට භාරදුන් බව පැවසෙන නමුත් එයට කුමක් සිදුවූවාදැ’යි දන්නා කෙනෙක් නැත. ආරංචි මාර්ග කියන්නේ, කමිටුවේ එක් සාමාජිකයකු වාර්තාවේ අවසන් නිර්දේශවලට එකඟ නොවීම නිසා, එම නිර්දේශ ක්‍රියාත්මක කළ නොහැකි බව ඇමති ගජධීර කී බවයි. කෙහොම වුණත් පුවත්පත් වාර්තා කළේ, රඳවුවන් අතර තිබුණු පෞද්ගලික අමනාපකම් මත සහ ආයුධ භාවිතය හරිහැටි නොදත් ඔවුන් එකිනෙකාට වෙඩි තබා ගැනීමෙන් මේ ඝාතන සිදුවී ඇති බවට කමිටු වාර්තාවේ නිගමනය කර ඇති බවයි.
තුන්වැනි පරීක්‍ෂණය කෙරුණේ එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලිගේ නියමයෙනි. 2012 නොවැම්බර් මාසයේ භාරදුන්නායැ’යි කියන ඒ වාර්තාවටද වුණු දෙයක් දන්නා කිසිවෙක් නැත. කොහොම වුණත්, බන්ධනාගාර ඝාතනයේදී කොඩිප්පිලි මහතාගේ දායකත්වය ගැන ඇසූදුටු සාක්‍ෂි යහමින් තිබේ.
හතරවැනි පරීක්‍ෂණය ආරම්භ කෙරුණේ මානව හිමිකම් කොමිෂන් සභාවෙනි. ඒ ද 2012දීය. එහෙත් මානව හිමිකම් කොමිසමේ සභාපතිවරයා මාධ්‍යයට කියා තිබුණේ බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්ගේ ඉල්ලීම අනුව එම පරීක්‍ෂණය පැත්තකට දැමූ බවය.
මේ පරීක්‍ෂණ හතරේම පොදු ගුණාකාරය වුණේ ඒවා නොකෙරෙන වෙදකමට කෝඳුරු තෙල් හෙවූ පන්නයේ වැඩ වීමයි. බන්ධනාගාර ඇමතිත්, සීඅයිඩීයත්, මානව හිමිකම් කොමිසමත්, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාලුත් ඒ කාලයේ හිටියේ රාජපක්‍ෂවරුන්ගේ සාක්කුවේ බැවින්, මේ කිසිම පරීක්‍ෂණයක් ඇත්ත කියන්නේ නැති බව ඒකාන්ත විය. ඒ නිසා රාජපක්‍ෂවරුන්ගේ පව් හෝදන්නට කෙරුණ පරීක්‍ෂණවල ප්‍රතිඵල ගැන පුදුම විය යුතු නැත.
එහෙත්, 2015 අලුත් ජනාධිපතිවරයකු හා ආණ්ඩුවක් පත්වුණු පසු වැලිකඩ සමූහ ඝාතනය ගැන සොයාබලා වාර්තාකරන්නට අලුත් කොමිටියක් පත්කිරීම එසේ ලඝු කොට තකන්නට බැරිය. මේ කොමිටිය පත්කරන ලද්දේ එවකට අධිකරණ හා බන්ධනාගාර කටයුතු ඇමතිවරයා වූ විජේදාස රාජපක්‍ෂ මහතා විසින් 2012 ජනවාරි 22වැනිදාය. කොමිටියේ සභාපතිවරයා ලෙස විශ්‍රාමලත් මහාධිකරණ විනිසුරු විමල් නම්බුවසම් මහතාද, අනෙක් සාමාජිකයන් දෙදෙනා ලෙස හිටපු ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අසෝක විජේතිලක හා රාජ්‍ය සේවයේ ප්‍රවීණ නිලධාරියකු වූ එස්කේ ලියනගේ යන මහත්වරුද පත්කරන ලදහ. බන්ධනාගාර සිදුවීමට හේතුවුණු කරුණු සොයාබැලීම, සිදුවීමට වගකිවයුතු අය කවුදැ’යි සොයාබැලීම, වගකිවයුත්තන්ගේ වගවීමේ ක්‍ෂෙත්‍ර සොයාබැලීම, සිදුවීම නිසා ඝාතනය වුණු හා තුවාල ලද අයගේ අනන්‍යතාව සොයාබැලීම, ඝාතනය වුණු හා තුවාල ලද පුද්ගලයන්ගේ සමීපතමයන්ට වන්දි ගෙවීම යන කාරණා කමිටුව විසින් කළයුතු යැයි ඔවුන්ට බලය පවරන ලද විධාන පත්‍රයේ සඳහන්වෙයි.
මේ කමිටුවටත්, ඊට පෙර ඇතිකරන ලද කමිටුවලටත් සාක්‍ෂි හෝ ප්‍රකාශ දුන්නෝ එකම පුද්ගලයෝය. රාජපක්‍ෂ ආණ්ඩුව යටතේ පත්කරන ලද මුල් කමිටුවලට සිදුවූ සන්තෑසිය දන්නා ඒ සාක්‍ෂිකරුවන්ගෙන් යුක්තිගරුක කොටස, මේ අලුත් කමිටුව ගැන සතුටට පත්වුණේ, එම කමිටුව මගින් හානියට පත්වූවන්ට නියත වශයෙන්ම යුක්තියක් ඉටුවේයැ’යි කියන බලවත් විශ්වාසයකිනි. සාක්‍ෂි දුන් සමහර බන්ධනාගාර නිලධාරීහු සිදුවීමේ ඇත්තම කරුණු මේ කමිටුව හමුවේ ප්‍රකාශ කළහ. ඊට පෙර කමිටුවලදී එක්කෝ ඔවුන්ට පරෙස්සමෙන් සාක්‍ෂි දෙන ලෙස තර්ජනය කරන ලදි. නැතහොත් ඔවුන් කී දේ ඒ ආකාරයෙන්ම ලියා නොගන්නා ලදි. සමහර කරුණු ‘අවශ්‍ය නැතැ’යි නොසලකා හරින ලදි. ඒ නිසා යහපාලන ආණ්ඩුවේ අලුත් කමිටුව හැම දෙනාටම ගෙනාවේ අලුත් පිබිදීමකි.
කොහොම වුණත් 2015 ජනවාරි පත්වුණු කමිටුව, 2015 ජුනි 9වැනිදා සිය අවසන් වාර්තාව අගමැති රනිල් වික්‍රමසිංහටත්, බන්ධනාගාර ඇමති විජේදාස රාජපක්‍ෂටත් භාරදුන්නේය.
යහපාලන ආණ්ඩුවට පත්වුණු කට්ටිය ඊට පෙර මැතිවරණවලදී ජනතාවට පොරොන්දු වුණේ රාජපක්ෂ ආණ්ඩුව විසින් හංගන ලද සියලුම කොමිෂන් සභා වාර්තා මහජනතාවගේ දැනගැනීම සඳහා එළියට දමන බවය. එහෙත්, කටේ නරිවාදං රෙද්ද පල්ලෙන් බේරෙන්නාක් මෙන්, වැලිකඩ ඝාතන පිළිබඳව වූ මේ කමිටු වාර්තාව දැන් තියෙන්නේ යහපාලන ආණ්ඩුවේ හමස් පෙට්ටියේය. අගමැතිවරයා තමාට එවැනි වාර්තාවක් දුන්නාදැ’යි දන්නේවත් නැති තරම්ය. පෙනීයන්නේ යහපාලන ආණ්ඩුවද වැලිකඩ බන්ධනාගාර ඝාතන වාර්තාව කිසිවකුට නොපෙන්වා හංගාගෙන ඉන්නා බවයි.
මේ වාර්තාව කිසිසේත් හංගාගෙන සිටිය යුත්තක් නොවේ. එක් අතකින්, වැලිකඩ ඝාතන සිදුවීම ඒ තරම්ම බිහිසුණු හා ම්ලේච්ඡ සිද්ධියක් නිසාය. දෙවැන්න, එය එවකට ආණ්ඩුවේ ඉහළම පුද්ගලයන්ගේද මැදිහත්වීමෙන් මනාව සැලසුම්කොට ක්‍රියාත්මක කරන ලද්දක් නිසාය. තුන්වැන්න, මේ මියගියවුන්ට හා තුවාල ලද්දන්ට හිමිවිය යුතු වන්දි හෝ වෙනත් සහන, වාර්තාව හැංගීම නිසා හිමි නොවීම නිසාය. කොටින්ම මේ වාර්තාව හංගාගෙන සිටීම නිසා යුක්තිය ඉටුවිය යුතු කිසිවකුට යුක්තිය ඉටුනොවී පවතියි.
2012 නොවැම්බර් 9වැනිදායින් ඇරඹී 10 වැනිදා පහන්වන තුරු ඇදීගිය වැලිකඩ බන්ධනාගාර ඝාතන ක්‍රියාවලිය, ලංකා ඉතිහාසයේ කළු පැල්ලමකි. ත්‍රිපුද්ගල පරීක්‍ෂණ කමිටුව, සිද්ධිය සිදුවූ ස්ථාන නිරීක්‍ෂණය කරන්නට 2015 පෙබරවාරි 6වැනිදා උදේ වැලිකඩ බන්ධනාගාරයට ගියේය. සිය සාක්‍ෂි සටහන්වල මේ ගමනේදී කළ නිරීක්‍ෂණ කමිටුව සඳහන් කරන්නේ මෙසේය.
‘වැලිකඩ බන්ධනාගාර අධිකාරි වශයෙන් බන්ධනාගාරය භාරව කටයුතු කළ ගාමිණී ජයසිංහ මහතා ප්‍රකාශ කළ පරිදි, මෙම සිද්ධිය ආරම්භ වූ අවස්ථාව වන විට ඔහු සිට ඇත්තේ බන්ධනාගාරයෙන් බැහැරවය. උදේ බන්ධනාගාරයේ සේවය කර, දහවල් ආහාරය සඳහා ඔහු බැහැරව ගොස් ඇති අතර, එස්ටීඑෆ් භටයන් ආයුධ සන්නද්ධව ඉන්දික සම්පත් මහතා (ඔහු එවකට බන්ධනාගාර බුද්ධි අංශයේ ප්‍රධානියාය. ඝාතන මෙහෙයුම ආරම්භයට ඔහුගේ ඇති බරපතළ සම්බන්ධයක් සාක්‍ෂිවලින් හෙළිවෙයි.) සමඟ බන්ධනාගාරයට පැමිණ සිටින බව එදින දහවල් 1ට පමණ ප්‍රධාන ජේලර් විසින් ඔහුට දන්වා ඇත. ජයසිංහ මහතා ඒ පිළිබඳව එවකට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි මහතාට දුරකථනයෙන් දන්වා ඇති අතර, බන්ධනාගාරය පරීක්‍ෂාවට එස්ටීඑෆ් භටයන් පැමිණියේ තම අනුදැනුම ඇතිව බව ඔහු දන්වා ඇත. ජයසිංහ මහතා බන්ධනාගාරයට පැමිණ ඇති අතර ඒ වනවිට එස්ටීඑෆ් භටයන් විසින් එල් ශාලාව පරීක්‍ෂා කරමින් සිට ඇත. එම පරීක්‍ෂාව කර ඇත්තේ රඳවුවන් ශාලාවෙන් පිටතට ගෙන අත්වලට ප්ලාස්ටික් මාංචු දැමිමෙන් පසුය. පරීක්‍ෂණයට පැමිණ ඇති එස්ටීඑෆ් භටයන් සංඛ්‍යාව විශාලය. ඔවුන් සිට ඇත්තේ ආයුධ සහිතව සහ කඳුළු ගෑස් ප්‍රහාරක අවි සහිතවය.
සවස 3.30ට පමණ රඳවුවන්ට රාත්‍රි ආහාරය ලබාදී ඇති අතර ඒ අවස්ථාවේදී ඔවුන් පරීක්‍ෂා නොකරන ලෙස ජයසිංහ මහතා ඉල්ලා සිටියද, එම ඉල්ලීම පිළිගෙන නැත. මේ අතර චැපල් වාට්ටුවේ රඳවුවන් කෑකෝ ගසමින් එහි දොරටුව වෙත පැමිණ ඇත. එවිට එස්ටීඑෆ් භටයන් චැපල් වාට්ටුව තුළට කඳුළු ගෑස් ප්‍රහාර එල්ල කර ඇත. ඇතැම් කඳුළු ගෑස් උණ්ඩ පුපුරා ගොස් නැති අතර ඒවා එළියේ සිටි රඳවුවන්ට ලැබීමෙන් පසු ඔවුන් ඒවා එස්ටීඑෆ් භටයන් දෙසට දමා ගසා ඇත. මුළු ප්‍රදේශයම කඳුළු ගෑස්වලින් පිරීගොස් ඇති අතර, බන්ධනාගාර නිලධාරීන් මෙන්ම සිරකරුවන්ද දැඩි අපහසුතාවට පත්ව ඇත. ඉන්පසු එස්ටීඑෆ් භටයන් බන්ධනාගාර දොරටුව වෙත පසුබැස ඇත.
ඒ අවස්ථාවේදී ජයසිංහ මහතාට සිහි නැතිවී ඇති අතර, ඔහු ආරක්ෂක ස්ථානයකට ගෙනයනු ලැබ ඇත. 4.30ට හෝ 5ට පමණ ඔහු දැක් ඇත්තේ යුද හමුදා භටයන් හා පොලිස් නිලධාරීන් රාශියක් පැමිණ සිටින බවය. ඉන්පසු බන්ධනාගාර ජේලර් ශාන්ත මහතාගේ නිවසේ සාකච්ඡාවක් පවත්වා ඇති අතර ඊට බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලි, බි්‍රගේඩියර් දිසානායක, මානවඩු, ජ්‍යෙෂ්ඨ නියෝජ්‍ය පොලිස්පති අනුර සේනානායක, බන්ධනාගාර නිලධාරි එමිල් රංජන් හා චානක යන අය සහභාගිවී ඇත. (එදින ඝාතන සැලසුම අවසන් වශයෙන් සකස්වී ඇත්තේ මේ සාකච්ඡාවේදී බව අනුමාන කළ හැකිය.: ලියුම්කරුගේ අවධාරණය) එහිදී සාකච්ඡා කර ඇත්තේ ඇතිවී තිබුණු කලබලකාරී තත්ත්වය මැඬපැවැත්වීම පිළිබඳවය.
එම සාකච්ඡාවෙන් පසුව යුද ටැංකි බන්ධනාගාරය තුළට ගෙනැවිත් ඇති අතර, එස්ටීඑෆ් හා හමුදා භටයන් වෙඩි තබමින් බන්ධනාගාරය තුළට ඇතුළු වී ඇත. ජයසිංහ මහතා ආපසු බන්ධනාගාරය තුළට පැමිණ ඇත්තේ පසුවදා අලුයම 6ට පමණය. ඒ වන විට මෘතශරීර තැන්තැන්වල විසිරී තිබෙනවා ඔහු දැක ඇත.’
මේ නිරීක්‍ෂණවලින් හා විවිධ පාර්ශ්වවලින් ප්‍රකාශ සටහන් කරගැනීමෙන් පසු කමිටුව පිටු 272කින් යුත් සිය වාර්තාව සකසන්නේය. රඳවුවන් හා බන්ධනාගාර නිල ධාරීන්ගේ ප්‍රකාශවලින් හෙළිවන තිත්ත ඇත්ත කුමක්ද?
ගෝඨාභය රාජපක්ෂ ආරක්ෂක ලේකම්වරයාගේ මූලිකත්වයෙන් බන්ධනා ගාරය තුළ මෙවැනි මෙහෙයුමක් කරන්නට සැලසුම් කර තිබේ. ඒ අනුව, බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල් කොඩිප්පිලිගේ අනු දැනුමෙන් පළමුව එස්ටීඑෆ් භටයන් බන්ධනාගාරයට ආයුධ හා කඳුළු ගෑස් ප්‍රහාරක තුවක්කුවලින් සන්නද්ධව ඇතුළු වී තිබේ. බන්ධනාගාර ආඥා පනත අනුව කිසිම බාහිර පුද්ගලයකුට ආයුධ සන්නද්ධව බන්ධනාගාරය තුළට ඇතුළුවිය නොහැකිය. එය නීතිවිරෝධී ක්‍රියාවකි. බන්ධනාගාර නිලධාරීන් පවා සිරකරුවන් රඳවා ඇති ගොඩනැගිලිවලට ඇතුළු වන්නේ ආයුධ රහිතවය. මෙසේ ඇතුළු වූ එස්ටීඑෆ් භටයන්ගේ වෙඩි ප්‍රහාර හා කඳුළු ගෑස් ප්‍රහාර රඳවුවන්ට එල්ලවිය. හැම අතින්ම වසා තිබුණු ගොඩනැගිලි තුළට කඳුළු ගෑස් එල්ලවීම නිසා ඇතිවුණේ මාරාන්තික තත්ත්වයකි. රඳවුවෝ නොපිපිරුණු කඳුළු ගෑස් ටින් එස්ටීඑෆ් නිලධාරීන් වෙත එල්ල කළහ. ඒ අතර, ඔවුහු බන්ධනාගාරයේ තිබුණු කුඩා ආයුධ ගබඩාව කඩා තුවක්කු පැහැරගත්හ. එස්ටීඑෆ් පසු බැස බන්ධනාගාරයෙන් පිටවිය. ඊට පසු යුද හමුදාවේ සියගණනක් සෙබළු බන්ධනාගාරය තුළට ගියෝය. ඒ අතර පොලිස් මත්ද්‍රව්‍ය නාශක කාර්යාංශයේ නිලධාරීහුද බන්ධනාගාරයට ඇතුළු වූහ. ඒ එක් නිලධාරියෙක් තමන්ගේ අතේ තිබුණු ලැයිස්තුවකින් නම් අඬගසමින් නිශ්චිත සිරකරුවන් කණ්ඩායමක් තමා වෙත කැඳවාගත්තේය. ලැයිස්තුව කාගේදැ’යි කෙනෙකු විමසූ විට ලැබුණු පිළිතුර, ‘ගෝඨාගේ ලැයිස්තුව’ කියාය. පසුව මේ සිරකරුවන් පිරිස ඝාතනය කොට තිබුණි. ඝාතනය වුණු සිරකරුවෝ බන්ධනාගාර භූමිය තුළ තැනින් තැන මැරී වැටී සිටියෝය. පළමුව දකින විට ඒ අය වැටී සිටි තැන්වල වෙනත් කිසිම වැදගත් දෙයක් තිබුණේ නැත. මෙහෙයුම නිමවූ පසු රඳවුවන්ගේ අත තිබී එකතුකරගත් තුවක්කු ආපසු බන්ධනාගාර නිලධාරීන්ට භාරදෙන ලදි. පුදුමයකට මෙන් එසේ භාරදුන් තුවක්කුවලින් තුවක්කු හතරක් ඝාතනය වී සිටි සිරකරුවන්ගේ සිරුරු අසළ පසුව (වුවමනාවෙන්ම දමා) තිබී සොයාගන්නා ලදි. එහෙත්, ඒ තුවක්කු පත්තු වී තිබුණේ නැත. තුවක්කුවල සිරකරුවන්ගේ ඇඟිලි සලකුණු තිබුණේත් නැත. මෙවැනි බිහිසුණු බොරුවක් කිරීමේ වුවමනාව තිබුණේ කාටද?(Ravaya)

ඔබගේ අදහස අපට කියන්න

Close