ක්ලියෝපැට්රා සොයා යන ගවේෂකයින්ගේ මෙහෙයුම

ලෝක ඉතිහාසයේ අපූර්වතම දිවි නසා ගැනීම සිදු වී වසර දෙදහසකටත් වැඩිය. තම දේශය වූ මිසරය අත්පත් කර ගත් රෝමන්වරුනට යටත් වෙනවාට වඩා මිය යෑම යහපතැයි සිතූ ඇය අවසානයේ දී සර්පයකු ලවා දෂ්ට කරවා ගෙන මිය යන්නට සිතුවාය. මෙම සිදුවීම, පැරණි ඉතිහාසකරුවන් විසින් යළි යළිත් විස්තර කරන ලද අවස්ථා බොහෝය. මහා කවි විලියම් ෂේක්ස්පියර් විසින් ‘සීසර් ඇන්ඞ් ක්ලියෝපැට්රා’ නාට්‍යය තුළින් එය අමරණීයත්වයට පත් කර ඇත. යුද්ධයෙන් පසු සිය සැමියා, මාක් ඇන්තනි පරාජය වීමත් සමග, ක්ලියෝපැට්රා රැජන පොළඟකු ලවා දෂ්ට කරවා මරණයට පත් වූ බව මෙතෙක් කලක් පුරා විද්‍යාඥයෝ විශ්වාස කළහ. එහෙත් දැන් ඒ බව තහවුරු කිරීමට පුරාවිද්‍යාඥයෝ සූදානමින් සිටිති. ඔවුහු ක්ලියෝපැට්රා සහ මාක් ඇන්තනි මිහිදන් කළ ස්ථානය ගවේෂණය ආසන්නයට පැමිණ සිටිති.

‘සමහර විට මේ ගවේෂණයත් සමග අප මෙතෙක් දැරූ මතය වෙනස් වීමට ඉඩ තිබෙනවා’  ඒ, ලෝකයේ වඩාත් ගෞරවණීය පුරාවිද්‍යාඥයාගේ මතයයි. ඔහු මිසරයේ පුරාවිද්‍යා සුපී‍්‍රම් කවුන්සලයේ මහ ලේකම්වරයාය. නම ආචාර්ය සාහි හවාස් ය.

මීට වසර කිහිපයකට පෙර එනම් 2009 අපේ‍්‍රල් මාසයේ දී හවාස්, කියා සිටියේ තමාගේ පුරාවිද්‍යා ගවේෂක කණ්ඩායම ක්ලියෝපැට්රාවන්ගේ සොහොන යැයි විශ්වාස කරන ස්ථානය ගවේෂණයට සූදානමින් සිටින බවය. එම ගවේෂණ කටයුතු තවමත් අවසන් වී නැත. එම සොහොන පිහිටා ඇත්තේ ඇලෙක්සැන්ඩ‍්‍රා නගරයේ සිට කි.මී. 48ක් දුරිනි. එය හැඳින්වෙන්නේ අබුසීර් යනුවෙනි. මිසර දෙවි ඔසයිරිස් වෙනුවෙන් ඉදිකළ දෙවොලක් ද එහි පුරාවස්තු අතර දකින්නට ලැබෙන බව පැවැසෙයි.

මෙහි තිබී ක්ලියෝපැට්රාවන්ගේ රූපය හා අක්ෂර රැුගත් කාසි ගණනාවක් සොයා ගැනුණි. දෙවොලේ කැටයම් අතර පෙම්වතුන් දෙදෙනකු වැළඳ ගෙන සිටින ආකාරය දැක්වෙන කැටයමක් ද ඇත. මාක් ඇන්තනිගේ යැයි අනුමාන කළ හැකි බෙදුණු නිකට සහිත සෙරමික් රූප කැබැල්ලක් ද හමුවී තිබේ. හවාස් එය ඇන්තනිගේ මළ සිරුර වැසූ වෙස් මුහුණ ලෙස හඳුන්වන්නට පෙලඹුණි.

එහි කැණීම් කළ පුරාවිද්‍යාඥයෝ තවත් ප‍්‍රභූ මළ සිරුරු 10ක් පමණ එම බිමෙන් මතු කර ගන්නට සමත් වූහ. ඔවුහූ රේඩාර් යොදා ගෙන භූගත මාර්ග කීපයක් පරීක්ෂා කළහ. ”අපට ඒ සොහොන සොයා ගත හැකි වුවහොත් එය මේ විසි එක්වන සියවසේ ලොකු ම සොයා ගැනීම වේවි” හවාස් තමා සමග ආ ටෙලිවිෂන් කණ්ඩායමට කීවේ මහත් බලාපොරොත්තු ඇතිවය. ඔහු එය අතිශයෝක්තියෙන් කියන්නක් යැයි කිසිම කෙනෙක් චෝදනා කළේ නැත. එදා, 1922 දී හොවාඞ් කාටර් ටුටන්කාමන් රජුගේ සොහොන සොයන්නට දැක්වූ උනන්දුවට සමාන උනන්දුවකින් ක්ලියෝපැට්රා රැුජනගේ සොහොන සොයන්නට හවාස් කි‍්‍රයා කළේය.

ඉතිහාසයේ හා ශිෂ්ටාචාරයේ විවිධ ස්තර රැුසක් මත පිහිටි, ඊජිප්තුවට (මිසරයට) සමාන තවත් රටක් ලොව අන් කවර තැනක හෝ නැති තරම්ය. පිරමීඩවල පටන් මධ්‍යකාලීන යුදෙව් වෙළඳුන්ගේ ලිපි ලේඛන තෙක් ඉපැරණි දේ එහි ගහණය. එසේ ම රටක අතීතයට පැතුරුණු බලයක් හා ආධිපත්‍යයක් ඇති, වගකීමෙන්, අභිමානයෙන් හා උනන්දුවෙන් පිරි, හවාස්ට සමාන විද්‍යාඥයකු සිටින රටක් ද ලොවෙහි තවත් නැත. මිසරයේ පුරාවිද්‍යා කැණීම්වල සර්වබලධරයා ඔහුය. කැණීම් කළ යුත්තේ කවුරුන්ද යන්න තීරණය කරන්නේත්, කැණීම්වලදී හමුවන දේ ලොවට හඬ ගා කියන්නේත් ඔහුය. නයිල් නදියේ මේ නටබුන් අතර වඩාත් කාර්ය බහුල පුද්ගලයා වන්නේද ඔහුය.

නයිල් ඩෙල්ටාවේ පිහිටි ඩැමීටා නගරයේ මධ්‍යම පන්තියේ පවුලක උපන් හවාස් ඇලෙක්සැන්ඩ‍්‍රා විශ්ව විද්‍යාලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ උපාධියක් ලබා ගත්තේය. අනතුරුව කයිරෝ විශ්ව විද්‍යාලයෙන් ඊජිප්තුවේදය හැදෑරූ ඔහු ෆුල්බ‍්‍රයිට් ශිෂ්‍යත්වයක් ලබා ඇමෙරිකාවට ගියේය. 1987 දී පෙන්සිල්වේනියා විශ්ව විද්‍යලයෙන් පුරාවිද්‍යාව පිළිබඳ ආචාර්ය උපාධියක් ලැබීය. ඇමෙරිකාවේ අධ්‍යාපනයෙන් ලද අත්දැකීම් සමඟ එරට මාධ්‍ය හඳුනා
ගැනීමත් නිසා ඔහුට ලොව වෙනත් කිසිම පුරාවිද්‍යාඥයකු නොලැබූ තරම් අවධානයක් ලබා ගත හැකි විය. මිසරයේ වටිනා වස්තුවලින් අනූන මේ ගීසා නිම්නයේ පුරාවිද්‍යා අධ්‍යක්ෂවරයා වී නොබෝ කලෙකින් ම, එනම් 2002 දී, මිසරයේ උපරිම පුරාවිද්‍යා කවුන්සලයේ මහ ලේකම් පදවියට පත් කරනු ලැබීය. එයින් පසු මුළු ලොව අවධානය ඔහු වෙත යොමු විය. ඔහුට ලොව පුරා විවිධ විශ්ව විද්‍යාලවලින් දේශන සඳහා ඇරයුම් ලැබිණ. රූපවාහිනී සාකච්ඡුාවලට යාමට ද සිදු විය. විවිධ පොතපතට අදහස් දැක්වීමට සිදු විය. කෙළවරක් නැතිව ලිපි ලේඛන සැපයීමට ද සිදු විය.

1996 දී, ගිසාහී වැඩ කරද්දී හවාස්ට බහාරියා ක්‍ෂේමභූමියේ නොසිතූ තැනක සොහොන් බිමක් හමු විය. එය කයිරෝ නගරයෙන් වයඹදිගට කි.මී. 370ක් පමණ දුරින් පිහිටි තැනකි. එය 1996 පෙර පුරාවිද්‍යාඥයන්ගේ සැලකිල්ලට ලක් නොවුණු තැනක් විය. එය බහාරියා ඔඑසිස් හී ‘රන් මමියේ නිම්නය’ ලෙස සලකනු ලැබීය. පිරමීඩ තැනූවන්ගේ සොහොන් බිමෙහි වැඩ කළ පුරාවිද්‍යා රැුකවලකු වූ අබ්දුල් මිගෝඞ් ඒ බිම හරහා පලා ගිය සිය බූරුවා අල්ලා ගන්නට ඌ පසුපස දිව ගියේය. හදිසියේ ම බූරුවා දිය සිඳී ගිය අඳුරු වගුරකට වැටුණේය. ඌ ගලවා ගන්නට ඔහුත් ඒ අඳුරු වගුරට බැස්සේය. ඒ වළෙන් ඔබ්බෙහි වූයේ කෙටි උමඟකි. එය වැටී තිබුණේ මෙතෙක් සොයා නොගත් සොහොන් ගැබකටය. හදිසියේ ම ඔහුට දැක ගන්නට ලැබුණේ රනින් දිළිසෙන ඇතුළු ගැබකි. එය රනින් ආවරණය කළ මමීවලින් පිරී තිබුණේ ය. වහා ගොඩට ආ ඔහු ඒ බව තම උසස් නිලධාරින්ට දැන්වීය.

සාහි හවාස් එහි ගියේ ඒ අනුවය. ”1996 මාර්තු 2 වැනිදා, මට කිසිදාක අමතක නොවන දිනයක්. ඒ ආරංචිය ලැබෙන වෙලාවෙ මම හිටියෙ ගිසාවල, පිරමීඩ ඉදි කළ අයගේ සොහොන් ගැබක කැණීම් අධීක්ෂණය කරමින්. එදා සවස මම ඒ මහා පිරමීඩ ඉදි කිරීමට හවුල් වූ අයකුගේ ඇට සැකිල්ලක් පිරිසිදු කරමින් හිටියා. හදිසියේ ම මගේ සහායක මන්සූර් බොරේක් මා වෙත ආවා. ඔහුගේ මුහුණේ තිබුණේ විස්මයට පත් වූ බවක්. අලූත් විස්මිත සොයා ගැනීමක් ගැන දැනුම් දෙන්න, ඈෂ්රි ෂේකර් පැමිණ ඇති බව ඔහු කීය. ඔහු පුරාවිද්‍යා සුපී‍්‍රම් කවුන්සලයේ බහාරියා ඔඑසිස් කාර්යාලයේ අධ්‍යක්ෂවරයායි.”හවාස් ඒ අවස්ථාව විස්තර කරන්නට විය.

”මා මුලින් හිතුවේ මන්සූර් මට විහිළුවක් කරනවා කියලයි. ඒත් ඈෂ්රිගේ මුහුණ දුටු මට එහි ඇති බැරෑරුම්කම් අවබෝධ වුණා. ඔහු කීවා පුරාවිද්‍යා රැුකවලකු වූ අබ්දුල් මිගෝඞ් සිය බූරුවා සොයා යද්දී ඔහුට පොළොවේ සිදුරක් හමු වුණු බව. ඒ සිදුරෙන් එබී බැලූ ඔහුට රනින් දිළිසෙන යමක් ඒ ඇතුළෙන් දැක ගන්නට ලැබී ඇති ඔහු මට දැනුම් දුන්නා. මා වහාම එහි ගියා. එක් සොහොනක සිවිලිම සිදුරු වී හිරු රැුස් ඒ සොහොන තුළට වැටෙමින් තිබුණා. මම ඒ ඇතුළට ගිහින් බැලූවා. හිරු රැුස් නිසා මට දැක ගත හැකි වූයේ රත්තරන් විතරයි.” හවාස් ඒ සිද්ධිය පුවත්පත්වලට විස්තර කළේ එසේය.
තමා එක්වර ම දුටු දෙයින් විස්මයට පත් හවාස් ආපසු ගියේ මිසරයේ මෙතෙක් නොවූ විරූ දැවැන්ත ගවේෂණය අරඹනු පිණිස කටයුතු පිළියෙල කරන්නටය. මේ අති විශිෂ්ට සොයා ගැනීම හා ඒවා සුරැුකී තිබුණු ආකාරය ඔහුගේ මිතුරු පුරාවිද්‍යාඥයන් මවිත කරවනසුලූ විය. සුප‍්‍රකට ටුටන්කාමන්ගේ සොහොන වැනි පැරණි සොහොන් රාශියක් එහි තිබුණි. එහි කොටසක් කොල්ලකරුවන්ගේ ග‍්‍රහණයට හසුවී තිබුණ ද සෙසු කොටස ඉන් වසර 2000 කට පෙර ඒවා මුද්‍රා තැබූ අයුරින් ම සුරැුකිව තිබුණේය. ඒ කාලයේ මිසරයත් මැදපෙරදිගත් රෝම අධිරාජ්‍යයේ කොටසක්ව පැවැතුණි.
බහාරියාහී ඇති සොහොන් බිම් වැඩි හරියක් අයත් වන්නේ යුග දෙකකටය. එකක් කි‍්‍ර.පූ. 6 වන සියවසේ පැවති 26 වන රාජ වංශයට අයත් කාලයට ය. එකල මේ නගරය වැදගත් වෙළෙඳ හා කෘෂිකාර්මික මධ්‍යස්ථානයක් විය. ඒ එහි මුල් යුගය විය. අනෙක කි‍්‍ර.ව. 1 වන 2 වන සියවස්වලට අයත් විය. ඒ මිසරය රෝමයේ පාලනයට යටත් වූ සමය විය. මෙහි ශේෂව තිබූ මමි හතර විධියකට සුරක්ෂිත කර තිබේ. එක් වර්ගයක මමියක් තුනී රන් පටලයකින් ආවරණය කර තිබුණි.  තවත් මමියක් මිනිස් ප‍්‍රමාණයට ලිනන් හා ප්ලාස්ටර යොදා තැනූ වෙස් මුහුණක් ඇති මමි පියනකින් ආවරණය කර තිබිණ. ඒ ආවරණය වැසෙන සේ අයිසිස්, ඔසයිරිස්, හෝරස් හා අනුබිස් යන දෙවිවරුන්ගේ හා දෙව්¥වරුන්ගේ රූප පින්තාරු කර තිබිණ. අනිකුත් ඒවා බොහොමයක් පිඟන් මැටිවලින් තැනූ මිනිස් මුහුණක් සහිත මිනිස් රුවට සමාන බහලූ තුළ තැන්පත් කර තිබිණ. ස්වල්පයක් පමණක් ලිනන් රෙදිවලින් ඔතා තිබිණ. වළලූ, සුර, වැලපෙන කතුන්ගේ පිළිම, පිඟන් මැට්ටෙන් තැනූ යාත‍්‍රා, සතුටට හා කාමයට අනුග‍්‍රහය දක්වන වාමන දේවතාවකු වූ බෙස්ගේ කුඩා පිළිම ආදිය මේ සිරුරු සමඟ තැන්පත් කර තිබේ.

සාහි හවාස් දැන් ජාතියේ අති දැවැන්ත, වටිනා පුරාවස්තු සම්භාරයේ භාරකාරයාය. ලොව පුරා ඇති මිසර පුරාවස්තු ආපසු මිසරයට දෙන්නැයි ඔහු විසින් දැඩි ඉල්ලීමක් කර ඇත. පුරාවස්තු කණින්නන් විසින් මිසරයෙන් ‘සොරා ගෙන’ ගොස් ලොව පුරා කෞතුකාගාරවල තැන්පත් කර ඇති පුරාවස්තු නැවත මිසරයට ලැබිය යුතුය යන අදහස ඔහු තරයේ විශ්වාස කරයි. මේ වටිනා කෞතුක වස්තු අතර මිසරයෙන් ගෙන ගොස් දැන් බි‍්‍රතාන්‍ය කෞතුකාගාරයේ තැන්පත් කර ඇති රොසැට් පුවරුව ජර්මනියේ බර්ලින් කෞතුකාගාරයේ ඇති නෙෆර්ටිටි රැජිනගේ උඩුකය පිළිරුව, පැරීසියේ පැලස් ඩි ලා කොන්කෝඞ් කෞතුකාගාරයේ තබා ඇති ලක්සෝර් දෙවොලේ ඔබ්ලිස්කය හෙවත් සිරි ලකුණු කුලූන ආදිය ඔහු ආපසු ඉල්ලා ඇති පුරාවස්තු ලැයිස්තුවෙන් කිහිපයකි. 2008 නොවැම්බරයේ සාහි හවාස්, සක්කාරාහී තවත් පිරමීඩයක් සොයා ගත් බව ප‍්‍රකාශ කළේය. කයිරෝ නගරයට ආසන්න සොහොන් බිමක් වූ එය කි‍්‍ර.පූ. 2,300ට අයත් වූවක් විය. දැනට මෙහි උස මීටර් 5කට සීමා වුවත් කලින් එය මීටර් 14ක් වූ බව සඳහන් වෙයි. මෙහි සමස්ත ස්මාරකය ම පිරිසිදු සුදු පැහැති හුනුගලින් වසා තිබූ අතර එය සේෂේෂෙත් නම් රැුජනක් වෙනුවෙන් ඉදි කරන ලද්දකි.

මෙය විශිෂ්ට සොයා ගැනීමක් වුවද හවාස්, මින් නොනැවතී ඔහුගේ ඊළඟ ගවේෂණය දෙසට හැරුණේය. ඒ අන් කිසිවක් නොව ක්ලියෝපැට්රාගේ සොහොන සොයා යෑමය. මේ වන විට අප ක්ලියෝපැට්රා ගැන දන්නා දේ සමහර විට මේ සොහොන සොයා ගැනීමත් සමඟ කනපිට පෙරළෙනු ඇත. බටහිර සාහිත්‍යයෙහි හුවා දක්වා ඇත්තේ ක්ලියෝපැට්රා රැජන ආශාවන්ගෙන් පිරුණු තැනැත්තියක ලෙසය. ඇය තමා හමුවට ආ යහපත් රෝම පුරුෂයන් රවටා තමා වෙත නතු කර ගත් බවත් ක්ලියෝපැට්රා ගැන කර ඇති ප‍්‍රබන්ධවල සඳහන් වෙයි. ඇගේ අනන්‍යතාවේ පටන් හැම දෙයක් ම අද විවාදාත්මක වී තිබේ.

2009 දී හමු වූ ඇගේ අඩ සොහොයුරියගේ හිස් කබලත් සමග, අප මෙතෙක් දැන සිටි පරිදි ඇගේ පෙනුම හා සම්භවය ගී‍්‍රක වුව ද ඇයට අපි‍්‍රකානු සම්භවයක් තිබිය හැකි බවට මතයක් පළ කෙරුණි. ඇගේ රුව රැුගත් කාසි හොඳින් පරීක්ෂා කර බලන විට කෙනකුට ඇය සාමාන්‍ය ගැහැනියක් බව පෙනී යා හැකිය.

රෝම ඉතිහාසඥ ප්ලූටාක් ද ඇය ගැන මෙවන් සඳහනක් කර ඇත: ”ඇයට තිබුණේ ඇයට ම ආවේණික රූපයක් මිස තවත් කෙනකු හා සැසඳිය හැකි රූපයක් නොවේ. එය දකින හැමදෙනා ආකර්ෂණය කරන රූපයක් නොවේ.” මීටත් වටා ගැටලූ සහගත තත්වයක් ඇගේ මරණය හා සම්බන්ධව පවතියි. ඒ මොහොත, රෝම අධිරාජ්‍යයක උදාව සනිටුහන් කළ එකක් විය. එසේ ම ඒ මොහොතේ ජුලියස් සීසර්ගේ බෑණා වූ ඔක්ටේවියන්, මාක් ඇන්තනි සමග දරුණු සිවිල් යුද්ධයක පැටලී සිටියේය.

”ස්ථිරව ම ඇය මිය ගියේ ඔක්ටේවියන්ට වඩාත් වාසිදායක මොහොතකය. ඒත් ඇය දිවි නසා ගත් බවට නිශ්චිත සාක්ෂි නැහැ. ඒ නිසා එක්කෝ ඇයට දිවි නසා ගන්නට බල කරන්නට ඇති. නැති නම් ඇය මරා දමන්නට ඇති. ඒ වගේ ම ඇය සර්පයකු දෂ්ඨ කොට මිය ගිය බවටත් කිසිදු සාක්ෂියක් නැහැ.” යයි ලිවර්පූල් විශ්ව විද්‍යාලයේ පුරාවිද්‍යාඥවරියක වූ ජොයිස් ටිල්ඩෙස්ලි කියන්නීය. ඇය 2008 දී ‘ක්ලියෝපැට්රා: ඊජිප්තුවේ අවසන් රැුජන’ නම් පොතක් ද ලියා ඇත්තියකි.

පරීක්ෂණ කෙරෙන අයුරු

‘ගේ‍්‍රට් ඩිස්කවරීස්’ ඇසුරිනි

ඔබගේ අදහස අපට කියන්න

Close