රූමත් පෙනුමක් හිමිවන හැටි බුදු දහම ඇසුරින්

අති පූජනීය අරියඥාණ නායක ස්වාමින් වහන්සේ විසින් දේශිත මාධ්‍යවේදී ඉන්ද්‍රජිත් සුබසිංහ විසින් ඉදිරිපත් කරන ලද මහ රහතුන් වැඩි මග ඔස්සේ ලිපි මාලාව ලාංකීය සැබෑ බෞද්ධ ජනතාව වෙත මෙසේ ගෙන එන්නෙමු. මේ එහි සතර අපායෙන් මිදෙමු ලිපි මාලාවේ 3 වැන්නයි.

භික්‌ෂුවට පින්වතකුගෙන් දැනගන්න ලැබුණා. තමන්ගේ පෙම්වතියගේ කකුලේ ඇතිවුණ තුවාලයක්‌ අසුබ සංඥාවට ලක්‌කරලා, පෙම්වතියගේ ශරීරයම තුවාලයක්‌ කොට දැකලා, තම පෙම්වතිය කෙරෙහි කලකිරීම සකස්‌කරගෙන ඇයගේ ආශිර්වාදය ඇතිවම අලුත පැවිදිභාවයට පත්වුණ පිංවත් තරුණයෙක්‌ ගැන.

මෙවැනි කථා තුළ තිබෙන්නේ ජීවිතයෙන් පලායාමක්‌ නොවේ. ජීවිතයේ සැබෑම අර්ථය සොයායැමක්‌. පිංවත් ඔබ බියවෙන්න එපා ඔබේ පෙම්වතා, පෙම්වතිය ඔබට අහිමිවෙයි කියලා. පෙම්වතාගේ ජීවිතය පෙම්වතිය විසින් කමටහනක්‌ කරගන්න. පෙම්වතියගේ ජීවිතය පෙම්වතා කමටහනක්‌ කරගන්න. දෙදෙනා, දෙදෙනාට විවෘත වන්න. මේ ගඳගසන ජීවිතය රසගුලාවක්‌ නෙවෙයි. තුවාලයක්‌ ගඩුවක්‌ ලෙස දකින්න. ගිහි ජීවිතය තුළ සිටිමින් ඔබලාට පුළුවන් ධර්මයේ අර්ථය ජීවිතයට එකතුකරගන්න. පැවිදිවෙන්න පුළුවන් නම් එය වඩාත් හොඳයි. ඒත් කොයිම අවස්‌ථාවකවත් ඉක්‌මන් පැවිද්ද (පැවිද්ද සඳහා කලබල වීම) භික්‍ෂුව අනුමත කරන්නේ නැහැ. දක්‍ෂයා අදක්‍ෂයෙක්‌ විය යුතු නැහැ. හරියාකාරව අනිත්‍ය සංඥාව වඩපු කෙනා ඉක්‌මන් වෙන්නේ නැහැ. ඔහු ගැන කව්රුවත් බිය වියයුතුත් නැහැ. මොකද ඔහු ධර්මයේ රැකවරණය තුළයි සිටින්නේ. වඩාත් ගුණාත්මක පැවිද්දක්‌ උදෙසා ඉවසීම අප තුළ තිබිය යුතුයි.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ බොහොම ආදර්ශමත් පෙම්යුවලක්‌ හිටියා. ඒ තමයි පිප්ඵලී සහ භද්ධකාපිලානා. කෝටිපති බමුණු පවුල් දෙකක තරුණ දරුවෝ. දෙමාපියන් පිප්ඵලීට කොතෙක්‌ විවාහ යෝජනා ගෙනාවත් ඒවාට කැමති වුනේම නැහැ. කැමැත්ත තිබුණේ පැවිද්දට. දෙමාපියන් දැඩි තීරණයක්‌ ගන්නවා, පිප්ඵලී විවාහ නොවුනොත් අපි මැරෙනවා කියලා. පිප්ඵලීට සිද්ධ වෙනවා දෙමාපියන්ට අවනත වෙන්න. පිප්ඵලීගේ මනාලිය තමයි භද්ධකාපිලානා තරුණිය. ඇයත් පැවිදිවීමේ අරමුණින්ම විවාහය මඟහැරිය තරුණියක්‌. දෙදෙනා සම්මුතියකට එනවා, චිත්තයක්‌ ඇතිකරගන්නවා අපි විවාහ වෙමු. දෙමාපියන් මියගියාට පසු දෙදෙනාම පැවිදි වෙමුය කියලා. ලොකු උත්සවයක්‌ අරගෙන දෙදෙනාම විවාහ වෙනවා. ලෝකයා සිතාගෙන සිටින්නේ කම් සැප විඳිනවා කියලා. නමුත් මේ තරුණ පෙම්වතුන් ඇතිකරගත් චිත්තය බිඳෙන්න දුන්නේ නැහැ. දෙමාපියන් මියයනතුරුම බ්‍රහ්මචාරී ජීවිතයක්‌ ගත කළා. දෙදෙනා දෙදෙනාව ස්‌පර්ශ කළේවත් නැහැ. මේ පිප්ඵලී තමයි මහාකාශ්‍යප මහරහතන් වහන්සේ. භද්ධකාපිලානා තමයි භද්දකාපිලානා රහත් තෙරණින් වහන්සේ. මේ චරිත පිංවත් තරුණ ඔබ ආදර්ශ කරගත යුත්තේ උපක්‍රමශීලීව, කම්සැප කෙරෙහි ඇති කැමැත්තෙන් මිදෙන්න. ජීවිතය තුළින් ඔබ චිත්තයක්‌ ඇති කරගන්න. මේ සතිය මම බ්‍රහ්මචාරීව ජීවත් වෙනවා කියලා. මේ සතිය මම දන්දීමෙන් ජීවත් වෙනවා කියලා. මේ සතිය මම අධිසිල් ආරක්‍ෂාකරමින් ජීවත්වෙනවාය කියලා. මේ සතිය මම ශක්‌තිමත්ව තෙරුවන්ගේ ගුණයන් සිහිකරමින් ජීවත්වෙනවා කියලා. මේ හැම චර්යාවකින්ම ඔබ තුළින් සිදුවන්නේ නෙක්‌කම්මයක්‌මයි. මේ නෙක්‌කම්ම සිතමයි ඔබට උපකාරීවෙන්නේ පංච උපාදානස්‌කන්ධයේ අනිත්‍යභාවය දැකීමට.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේ නන්ද හාමුදුරුවන්ට ප්‍රකාශ කරනවා ‘නන්ද මම ඔබව මේ ජීවිතයේදී පමණක්‌ නෙවෙයි ඔබ ජනපද කල්‍යාණියගෙන් බේරාගත්තේ කියලා. පෙර ආත්මභවයක නන්ද ඔබ කොටළුවෙක්‌ වෙලා මම ඔබේ ස්‌වාමියා වෙලා මා ළඟ ඔබ සේවය කරමින්, මගේ ගැල අදිමින් සිටියදී කොටළු දෙනක්‌ වෙලා උපත ලබා සිටි ජනපදකල්‍යාණිය ඔබට බොරු කියලා පොළඹවලා කැලයට අරගෙන යන්න හැදුවා. එදත් මමයි ඔබව බේරාගත්තේ. තවත් ආත්ම භවයක නන්ද ඔබ ඌරෙක්‌ වෙලා ජනපදකල්‍යාණියගේ නිවසේ ඉපදිලා ඇය ඔබට හොඳට ආහාර දීලා, ලොකුමහත් කරලා ජනපද කල්‍යාණියගේ විවාහය දවසේ ඔබව මරාගෙන මසට ගත්තා ඔය ජනපදකල්‍යාණියම. සංසාරයක බැඳීම, උපාදානය.

උපාදානය නැමැති එළදෙනගේ තණ බුරුල්ලෙන් වැගිරෙන කිරි තමයි භවය. භවය නමැති කිරි ජාතිය නමැති පස්‌ගෝ රසයන් උපද්දනවා. නිමාවක්‌ නැහැ. නැවතීමක්‌ නැහැ. අතීතය ගොළුවෙලා. වර්තමානය කථාකරනවා. මේ ජීවිතයේදී අපි ආශ්චර්යමත් මනුෂ්‍යයෝ. ලකුණු ගොඩක්‌ දීලා තමන්ම ප්‍රගතිවාර්තාවක්‌ සකස්‌ කරගන්නවා. එහි බුද්ධාගමට ලකුණු නැහැ. ආර්ථික විද්‍යාවටයි ලකුණු වැඩිපුර දීලා තියෙන්නේ. දැන් ජීවිතය ඉලක්‌කම් ගොඩක්‌. ඔබ මෙතැන සිට සිතන්න නන්ද හාමුදුරුවෝ ගැන. ජනපද කල්‍යාණි ගැන. ඔබගේ නිවසේ සාලය තුළ, වීදුරු අල්මාරියේ දිළිසෙමින් තිබෙන ඔබගේ මංගල ජායාරූපයේ, ඔබ ළඟම සිටිනා යෙහෙළිය, මේ මොහොතේ සිනාසෙමින් ඔබට සමීප වී සිටියත් ඇය නිසා සංසාරයේ ඔබ කොතෙක්‌ දුක්‌ විඳින්නට ඇතිද? ඔබ නිසා ඇය කොතෙක්‌ දුක්‌ විඳින්නට ඇතිද? මේ ජීවිතයේ ඔබගේ යෙහෙළිය වූ ඇය, මේ ජීවිතයේ පමණක්‌ම ඔබගේ යෙහෙළිය නොවූ බවද ඉහත කරුණු වලින්ම වටහාගන්න.

ජීවිතය ඉදිරියේ ඇත්තේ මෙවැනි ‘නොවටිනා’ වටිනාකමක්‌ නම් ඔබ ජීවිතයේ අර්ථය මනින්නට ඉලක්‌කම්වලට ඉඩ නොදෙන්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව, දානය, ශීලය ජීවිතයේ වටිනාකම් කර ගන්න. ඔබ කැමැති, ජීවිතයේ අගට ඉලක්‌කම් එකතු කරගැනීමට නම් ඔබ ඒ ජීවිතයට එකතු කරගන්නේ දුකමය. ඔබට ලැබෙන දෙය, එකතු කරන දෙය දානය උදෙසා අතහරින්නේ නම් ඒ ඔබ අතහරින්නේද දුකමය.

ඊයේ පිංවත් තරුණයෙක්‌ පැමිණියා භික්‍ෂුව මුණගැසෙන්නට. ඔහු විවාහකයෙක්‌. ඔහු භික්‍ෂුවට කියනවා, ‘හාමුදුරුවනේ, මම අමාරුවෙන් හම්බ කරලා ඉතිරි කරගත් රුපියල් ලක්‍ෂ දෙකක්‌ මා ළඟ තිබෙනවා. ඒකෙන් ගෙදරට අල්මාරියක්‌ ගන්න ඕනේ. ඉතිරි මුදල සම්පූර්ණයෙන් ලබන මාසෙ පිංකමට වැයකරනවා’ කියලා. බලන්න, අමාරුවෙන් හම්බකරලා ඉතිරි කරපු දෙයට ඔහු සැබෑ වටිනාකමක්‌ දුන්නා. ඔබ දක්‍ෂ වෙන්න, වෙහෙස මහන්සි වෙලා හම්බ කළාවූ මුදලට ලෝකයේ ඇති සැබෑම වටිනාකම දෙන්න. දුක්‌ උපදින දේවල් කෙරෙහි වැය කරලා එම මුදල් අපතේ හරින්න එපා. ඔබ ළඟ තිබෙන මුදල සුරක්‍ෂිතව තැන්පත් කළා කියන්නේ දානය තුළට, පිංකම් තුළට බැංකුගත කිරීමයි. ඉහත තරුණ මහතාද තමන්ට අවශ්‍ය ප්‍රමාණය නිවසට අවශ්‍ය භාණ්‌ඩය සඳහා වැයකර ඉතිරිය සුරක්‍ෂිතව තැන්පත් කළා. දානය නැමැති බැංකුකරණය කෙරෙහි අවිශ්වාසයෙන්, බියෙන් තොරව තැන්පත් කරන්න. ගිහි පිංවතුන්ලාටයි මේ සටහන ලියන්නේ. පිංවතුන්ලා දානය කෙරෙහි, දන් දීම කෙරෙහි ප්‍රමාදයට පත්වන්නේ නම්, දන්දීමට ලෝභ නම් ඔහු හෝ ඇය නිරතුරුව තමන්ටත්, තම පවුලේ අයටත් රෝගීභාවයන් අනිවාර්යයෙන්ම බලාපොරොත්තු විය යුතුය. මොකද දානය තුළින්මයි මනුෂ්‍යයාට ආයුශ, වර්ණය, සැපය, බලය ලැබෙන්නේ. ඔබ මේ ජීවිතයේදී දන්දීමට මැළි නම්, පෙර ජීවිතයේ දන්දීම හීනනම් තමයි නිරතුරුවම පිංවතුන්ලාට ලෙඩ රෝග වැළඳෙන්නේ. තමන් හම්බකරන දෙයින් යම් ප්‍රමාණයක්‌ තෘෂ්ණාවෙන් තොරව, කර්මය කර්මඵල විශ්වාසයෙන් යුතුව දන්දීමට යමෙක්‌ ලෝභ නම් අනිවාර්යයෙන්ම ඔහුට හෝ ඇයට දන්දීමට වැය නොකළ මුදලට වඩා ඉතා වැඩි මුදලක්‌ බෙහෙත් සඳහා, රෝහල් ගාස්‌තු සඳහා වැය කිරීමට සිදුවනු ඇත. දන්දීමට අකමැති කෙනාට බෙහෙත් වෛද්‍ය ගාස්‌තු සඳහා ඊට වඩා වැඩි මුදලක්‌ වැය කිරීමට සිදුවීම හේතුඵල ධර්මයක්‌මය. ලෞකික සැපයේ රහස දානයයි. මේ සැපය ඔබ උපයෝගී කරගත යුත්තේ සතර අපායෙන් මිදීම උදෙසාම, තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාවත් ශීලයත් පරිපූර්ණ කරගැනීම සඳහාය. ඉන්ද්‍රීය ධර්මයන් දියුණු කරගැනීම සඳහාමය. එසේ නොවුනොත් පිංවත් ඔබ උපක්‍රමශීලීව ජීවිතය තුළට මතුකොටගත් සැපය තවත් හුදු සංස්‌කාරයක්‌ම වී විපාක දීමෙන් අනතුරුව අනිත්‍ය වී යනු ඇත. දන්දීම නිසා ඔබට නීරෝගීභාවයද, එම නිරෝගීභාවය නිසාම සුවසේ ධර්ම මාර්ගයේ ගමන් කිරීමට හැකියාව ලැබෙන අතර දන් නොදීම නිසා රෝගීභාවයද, රෝගීභාවයන් නිසාම ධර්ම මාර්ගයෙන් දුරස්‌වීමද සිදු වේ.

ලොව්තුරා බුදුරජාණන් වහන්සේගේ කාලයේ ජීවත්වුණ අනාගාමී උපාසක උපාසිකා දෙපලක්‌ වන උග්ග ගෘහපතිත්, වේළුකන්ඨකී නන්දා මාතාවත් නිරතුරුවම මහා සංඝරත්නයට දන් පූජා කළා. වේළුකන්ඨකී නන්දා මාතාව පිරිනැමූ දානයන්ගේ එක්‌ ආශ්චර්යමත් කාරණයක්‌ තිබුණා. ඒ තමයි ඇය දන්දීමට පෙරාතුවත් සතුටුවෙනවා, දානයෙන් පසුවත් සතුටුවෙනවා. දානය පූජාකරන වේලාවෙත් සතුටුවෙනවා. මෙය ඇය සතු ආශ්චර්යමත් කාරණයක්‌. ගිහි අනාගාමී උවැසි උවැසියනුත් දානය උතුම්කොට සැලකුවා. පන්සලද, ආරණ්‍යයද කියන භේදයකින් තොරව, නිරතුරුවම මහාසංඝරත්නය අරමුණු කරගෙන, මහා සංඝරත්නයටම පූජා කරන දානයමයි මහත්ඵල මහානිසංස වෙන්නේ.

පිංවත් ඔබ ඉදිරියේ ඇති අනතුර නුවණින් දකින්න. තෙරුවන් කෙරෙහි ශ්‍රද්ධාව ඇතිකර නොගත්තොත් මිථ්‍යාදෘෂ්ඨිකභාවයට පත්වෙනවා. ශිල්පද ආරක්‍ෂා කර නොගත්තොත් නැවත දිව්‍ය, බ්‍රහ්ම, මනුෂ්‍ය ජීවිතයක්‌ ලැබෙන්නේ නැහැ. දන් නොදුන්නොත් ආයුෂ, වර්ණය, සැපය, බලයෙන් හීන ජීවිත ලැබෙනවා.

මෛත්‍රිය නොවැඩුවොත් ලස්‌සන, රූමත්, ප්‍රසන්න රූපයක්‌ නැවත නොලැබෙනවා. මේ සා බියකරු අභියෝගයක සෙවණැල්ල අපේ ජීවිතවලට වැටී තිබියදී අපි හිතන්නේ, මුල්තැන දෙන්නේ රැකියාවට. ව්‍යපාරයට නොගියොත් ආදායම නොලැබෙයි. මිල මුදල් නොමැතිවුනොත් සමාජ තත්ත්වයක්‌ නොලැබෙයි. විවාහයක්‌ නොවුනොත් පරම්පරාව නැතිවෙයි. මෙන්න මේ වගේ සරල, බොළඳ කෙටි අපේක්‍ෂාවන්ටයි අපි මුල්තැන දෙන්නේ. අපි ජීවත්වෙන්නේ අනතුරත් අනතුරින් ගැලවීමේ මාර්ගයත් අතර මොනතරම් පරතරයක්‌ද. ගිහි පිංවත් ඔබට මෙලොව පරලොව දෙකම යහපත් කොට ගන්න නම් හේතුඵල ධර්මයන් නිසා සකස්‌වෙන ඉහත කාරණා දෙකටම මුල්තැන දියයුතු වෙනවා. ඔබ ඉදිරියේ ඇති අනතුර නුවණින් මෙනෙහි කරල දුක නැමති ඉපදීමෙන් මිදීමේ මාර්ගයටම අවතීර්ණ වෙන්න. අපට සැඟවිලා තිබෙන ඉහත කාරණා ගැන ඔබ සිතන්න ගත්තොත් එය හොඳ ප්‍රවේශයක්‌ වේවි ශක්‌තිමත් චිත්තයක්‌ ඇතිකර ගන්න.

ඔබගේ අදහස අපට කියන්න

Close