මිනිස්කම සුනඛයාට අත හළ හිපොක්‍රටීස්ලාගේ නව පරපුර

ලෝකයේ වෛද්‍ය වෘත්තිය හිපොක්‍රටීස් මුල් කර ගනිමිනුත් ලංකාවේ වෛද්‍ය වෘත්තිය රාවණා රජුගේ සිට බුද්ධදාස රජු හරහාත් වර්තමානයට වර්ධනයවී තිඛේ. අතීතයේ මිනිසා සභ්‍යත්වයෙන් තොර බව කියූ ලෝකය වර්තමානයේදී ශිෂ්ඨත්වය කරා වේගයෙන් වර්ධනය වන බවද කියවෙයි.
එහෙත් අද එම සේවය ශිෂ්ඨත්වයේ සිට යළිත් වනචාරී යුගයක් කරා ගමන් කරන ලක්ෂණ පහලවී තිඛෙයි. එය ජනතාව වෙනුවෙන් කැපවන ඉඩ වියත හා දේශපාලනයට නොනැමෙන අවංක වෘත්තිකයින්ට  අදාළ නොවුණද විවිධ බාල අරමුණු වෙනුවෙන් සමිති අටවාගෙන සිටින්නන්ට සර්ව සාදාරණ විවේචනයකි.
රටක ජනතාවගේ බදු මුදල් යොදවා ගනිමින් වෛද්‍යවරයකු බිහිකරන්නේ රටේ යහපත වෙනුවෙනි. ඒ රටේ අසරණ ජනතාවගේ ජීවිත සුරකින්නටය. ඒ වෙනුවෙන්  වැය කරන්නේ නිල් / කොල/ කහ / රතු / සුදු  ආදී වූ එකි මෙකී නොකී පක්ෂවලට ජන්දය ලබා දෙන අසරණ මව් පියවරුන් දුක් මහන්සියෙන් උපයා බදු ලෙස ගෙවන මුදලිනි.
එහෙයින් වෛද්‍ය වෘත්තිය වැනි උතුම් වෘත්තියක් පක්ෂ පාට / ආගම් භේද වෙනුවෙන් සීමා විය යුතු නොවන්නකි.
රජය සෑම සරසවි සිසුවෙක් වෙනුවෙන්ම ලක්ෂ ගණනක මුදලක් වැය කරන්නේ රටට පලක් ලබන්නට මිස ජනතා මුදලින්ම උගෙන ජනතාවට පස්ස හරවා පෙන්නන්නට නොවේ.
එහෙත් අවාසනාවට අද  අත්ව තිඛෙන්නේ එවන් ඉරණමකි.
ඕනෑම අරගලයක් සාධාරණීකරණය කළ හැක්කේ ඉන් බහුතරයකට සාධාරණයක් ඉටුවන්නේ නම් පමණකි.
ජනතාව ප්‍රාණ ඇපයට ගන්නා සංගම්  පසුගිය කාලය පුරාවටම පෙනී සිටියේ රට වෙනුවෙන් නොව තම බඩ වියත වෙනුවෙන් පමණක් බව රටම දනී. ස්ථාන මාරු / දරුවන්ගේ පාසල් වෙනුවෙන් ඔවුන් නිර්ලජ්ජිතව සටන් කළෝය. එහෙත් කිසිදු අවස්ථාවක අය වැයෙන් සෞඛ්‍යයට වෙන් කළ මුදල් ප්‍රමාණවත් නොවන බව පවසා හෝ පුද්ගලික චැනලින් සේවාවලින් ජනතාවගෙන් අධික මුදල් අය කරන බවට පවසා වෛද්‍යවරුන් කිසිදා වර්ජනය කර නැත.
අය වැයෙන් සෞඛ්‍යයට මෙතරම් මුදලක් වෙන් කරන්නැයි ඔවුන් වර්ජනය කර නැත .
රජයේ රෝහල්වල ප්‍රතිකාර ලබන රෝගීන්ට පුද්ගලික රසායනාගාරවලින් ලේ පරීක්ෂා සිදුකරන්නට වන බව පවසා ඔවුන් වර්ජනය කර නැත .
රජයේ රෝහල්වල රෝගීන්ට පහසුකම් මද බව කියා ඔවුන් වර්ජනය කර නැත.
වර්ජනයක් කලානම් ඒ සැමදා රෝහලේ කාමරයක් ඛෙදා ගැනීමට නොහැකිවීම වැනි හාසේ‍යා්ත්පාදක කරුණු වෙනුවෙන් පමණකි.
වෛද්‍යවරුන් බිහි කරන්නට ඈත එපිට හද්දා පිටිසර අසරණ මව්පියන් පවා බදු ගෙවති. එසේ බිහිකරන්නාවූ වෛද්‍යවරුන් එම අසරණ මිනිසුන්ට කොකා පෙන්නද්දී එම අසරණ මව්පියෝ රෝහල් ඉදිරිපිට හඩා ලතැවෙති.
අද නොලැබුණු ඛෙහෙත් ටික ගන්නට මාසයකින් එන්නට වනු ඇති බවත් ඊට පෙර මිය යනු ඇති බවත් ඔවුන් හඩමින් පවසති.
ඒ වනම මිනිස් වෙසින් පෙනී සිටින මෘගයන් මාධ්‍ය ඉදිරියට පැමිණ පවසන්නේ වර්ජනය සාර්ථක බවය. මතක තබාගත යුතු කරුණක් ඇත. ඒ මයින් සතුටුවන්නෝ අල්ප බවය. දුක් වන්නෝ සමස්ථ ලක්වාසීන්මය. එය සාපයකි. බරපතල සාපයකි. මෙවන් මෘග කියා සිදුකරන්නන්ගේ පරම්පරා මතින් පවා යා හැකි බරපතල මට්ටමේ සාපයකි.
එදා රටේ වෛද්‍යවරයකු හැදින්වූයේ දෙවියකු ලෙසිනි. කෙමෙන් පරිණාමය වූ ඔහු පසුව ගිනී කන්නකු බවට පත්විය. මෙවන් විවේචනයක් කරද්දී සාධාරණ වෛද්‍යවරුන්ගේ සිත් රිදිය හැකිය. ඒ වෙනුවෙන් කමා කරන ලෙස ඉල්ලා සිටියද මෙරට අධ්‍යාපනයෙන් බිහිකරන්නේ දැනුමෙන් පමණක් සමන්විත ජීවියකු පමණක් බවත් ගුණයහපත්කමින් යුතු මිනිසකු ඉන් බිහි නොවන බවත් තහවුරු කරන්නට අදාළ සංගමය මනා උදාහරණයකි.
අද වර්ජනය කරන්නේ අය වැයට එරෙහිවය. කිතුල් ගසට නැග්ග එකාටත් කියන්නට දෙයක් ඇත. ජනතාව දැන්වත් අවදි විය යුතුය . එසේත් නැතිනම් රජය අවදි විය යුතුය. දිගින් දිගටම රටේ ජනතාවට කොලොප්පම් කරමින් දේශපාලනික අවශ්‍යතා ඉටු කරගන්නට මෙවන් පාර්ශවවලට ඉඩ නොදිය යුතුය. නියාමනයකින් යුත් පුද්ගලික විශ්ව විද්‍යාල හරහා හෝ වෛද්‍යවරුන් විශාල වශයෙන් බිහිකර මෘෘග වෘත්තීය සමිතිවලින් ජනතාව පීඩාවට පත් කරන ඒකාධිකාරිය බිද හෙළිය යුතුය.
ඉකුත් පාලනය සමයේ ඇටි කෙහෙල් කෑ උගුඩුවන් ලෙස සිටි අදාල සංගම් අද හැසිරෙන විදිය පුදුමය. පෙර පාලනයේ මෙන් දැඩි ආරක්ෂක ලේකම්වරයකු සිටියේ නම් මෙවන් තත්ත්වයන්ද මතුවන්නේ නැත .මෙම අවස්ථාවේ ලංකාවේ සමස්ථ මාධ්‍ය ජනතාවගේ පාර්ශවයෙන් පුවත් වාර්තා කිරීමට උත්සාහ කිරීම අපද අගය කරන්නෙමු. ඔවුන්ට ස්තූති වේවා. බුද්ධදාස පරපුරේ වෛද්‍යවරුන් පුද්ගලික සරසවි හරහා හෝ මෙරටට බිහිවේවායි පතමින් අපට කියන්නට ඇත්තේ මෙපමණකි. අසරණ රෝගී හදවත්වල ඊයේ දැල්වුණු ගින්දරෙන් හා ඉදිරියටද ඔබලා දල්වනු ඇති ගින්දරෙන් මෙලොවදී කෙසේ වෙතත් එලොවදී හෝ නිසි දඩුවම් ලැඛේවා….

ඔබගේ අදහස අපට කියන්න

Close