ලෝක වෙළදපලේ තෙල් මිල ගැන අද තීරණාත්මක තීරණයක්

නව උපාය මාර්ග යටතේ ඔපෙක් රටවල් හා රුසියාව එක්ව සිය නිෂ්පාදන තාවකාලිකව අත්හිටුවුවහොත් ඉන් වෙළෙඳපොළට ඇතිවන බලපෑම ලෝකයේ අවධානයට ලක්ව තිඛෙනවා.  අද රැස්වන ඔපෙක් සමුලුවේදී මේ පිළිබද අවධානය යොමුකිරීමට නියමිතයි.

ලෝක ආර්ථිකයේ හැසිරීමට තෙල් ආර්ථිකය මඟින් ඇති කරන බලපෑම ඉතා විශාලය. මෑත ඉතිහාසයේ නොවූ විරූ තරමින් ඛනිජ තෙල් මිල ගණන් පහත වැටෙනු ඉකුත් මාස ගණනාව තුළ දිගින් දිගටම දැකිය හැකිය. තෙල් ආනයනය කරන රටවලට මිල පහත වැටීම වාසිදායක වුවද තෙල් නිපදවන රටවල ආර්ථිකයට ඉන් ඇති වූයේ විශාල බලපෑමකි. මෙවැනි පසුබිමක යළිත් තෙල් මිල ඉහළට ගනිමින් තෙල් නිපදවන රටවල ආර්ථිකය ශක්තිමත් කිරීමේ ප්‍රයත්නයක් ‘ඔපෙක්’ සංවිධානය දියත් කොට තිබේ. ඔපෙක් සාමාජිකයකු නොවන රුසියාවේද සහාය ඊට ලැබෙන බව සඳහන්ය. ඔපෙක් බලශක්ති අමාත්‍යවරු ඉකුත් සති අන්තයේදී මුණගැසී මේ පිළිබඳ සාකච්ඡා කර ඇත.

ලෝක තෙල් වෙළෙඳපොළ ස්ථාවරව පවත්වා ගැනීමටනම් ඔපෙක් හා ඔපෙක් සාමාජික නොවන රටවල් අතර මනා සහයෝගිතාවක් පවත්වාගත යුතු බව එහිදී අවධානයට ලක්විය. මීට දෙවසරකට ඉහත දී තෙල් මිල වාර්තාගත ඉහළ මට්ටමක තිබුණද මේ වනවිට එය ඇත්තේ ඉන් අඩක පමණ මට්ටමකය. මේ තත්ත්වය යට‍තේ සිය උපාය මාර්ග සමාලෝචනය කළ යුතු බව ඔපෙක් රටවල මතය වේ.

නව උපාය මාර්ග යටතේ ඔපෙක් රටවල් හා රුසියාව එක්ව සිය නිෂ්පාදන තාවකාලිකව අත්හිටුවුවහොත් ඉන් වෙළෙඳපොළට ඇතිවන බලපෑම අවධානයට ලක්ව ඇත.තමන් සතු ශල්ක තෙල්(Shale Oil) වෙළෙඳ පොළට නිකුත් කිරීමට පසුගිය කාලයේදී අමෙරිකාව පියවර ගැනීම තෙල් මිල පහත වැටීමට විශාල බලපෑමක් කළේය. රුසියාව හා ‍සෞදිඅරාබිය එක්ව දරන ප්‍රයත්නය මඟින් ඊට මුහුණදීමද අරමුණු කෙරෙනු ඇත. ඔවුන් ඉලක්ක කරන්නේ තෙල් බැරලයක මිල ඇ.ඩො. 50 – 60 අතර මට්ටමක පවත්වා ගැනීමටය. ඊට ඇති අභියෝගය අමෙරිකාවේ සැපයුමයි. තෙල් වෙළෙඳපොළ පිළිබඳ ඇතැම් ආර්ථික විශ්ලේෂකයන් පෙන්වා දෙන්නේ එවැනි මිල මට්ටමක් පවත්වාගැනීම මඟින් වුවද අමෙරිකානු ශල්ක තෙල් අභියෝගයට මුහුණ දීමට හැකිද යන්න ගැටලුවක් බවයි. එහෙත් ඊට පිළියමක් ලෙස ඇ.ඩො. 70 – 80 වැනි මට්ටමකට මිල ඉහළට ගැනීම සඳහා ඔපෙක් රටවල් සහ රුසියාව වෑයම් කරනු නැති බවද ඔවුන්ගේ අදහසය. එක්වරම විශාල පිම්මක් පැනීමට වඩා ක්‍රමයෙන් යථා තත්ත්වයට පත්වීම ඔවුන්ගේ උපාය මාර්ගය බව පෙනෙන්නට ඇත. ඒ අනුව මේ වසරේ ඉතිරි කාලසීමාව තුළ ඇ.ඩො. 51 – 53 අතර මට්ටමකින් බැරලයක මිල පවත්වා ගැනීමද 2017 වසරේදී එය ඇ.ඩො. 56 – 59 අතර මට්ටමක් දක්වා ඉහළට ගැනීමද ඔවුන්ගේ අපේක්ෂාවය.

තෙල් වෙළෙඳපොළ පිළිබඳ විශේෂඥවරියක වන හෙලිමා ක්‍රොෆ්ට් පවසන පරිදි, ලිබියාවේ අස්ථාවර හා ගැටුම්කාරී වාතාවරණය බඳු කාරණා මෙකී ප්‍රයත්නයට බලපෑම් එල්ල කරනු ඇත.

ඔපෙක් හා රුසියාව අතර තෙල් වෙළෙඳපොළ ස්ථාවරත්වයක් ඇති කිරීම සඳහා ගොඩනැඟී ඇති එකඟතාවට පෙර, ඉකුත් මාසයේදී සිය නිෂ්පාදන කපා හැරීමට ඔපෙක් හවුල තුළ එකඟතාවක් ඇති විය. එවැන්නක් සිදුවූයේ 2008 වර්ෂයෙන් පසු පළමු වතාවටය. කෙසේ වෙතත් නයිජීරියාව, ලිබියාව සහ ඉරානය එම එකඟතාවට ඇතුළත් නොවිණි. මේ එකඟතාව ඔස්සේ නිෂ්පාදන කපා හැරීමක් සිදු නොකළ ද ලිබියාවේ සහ නයිජීරියාවේ කැරැලි කණ්ඩායම් දැනටමත් එම රටවල නිෂ්පාදන කප්පාදු කිරීමට බලපා තිබේ. ලිබියාව මීට දෙවසරකට ඉහත දී දෛනිකව තෙල් බැරල් 470,000ක් නිෂ්පාදනය කළ නමුත් මේ වනවිට එය බැරල් 292,000 දක්වා පහත වැටී ඇත. කැරැලි කණ්ඩායම් විසින් නිෂ්පාදන කපා හැරීමට පෙර නයිජීරියාවේ දෛනික නිෂ්පාදනය බැරල් මිලියන 1.9 කි. දැන් එය බැරල් මිලියන 1.4 දක්වා පහත වැටී ඇත.

ඉරානයට සිය නිෂ්පාදන කපා හැරීම ගැන කල්පනා කළ නොහැක්කේ මෑතක් වන තුරුම එරටට එරෙහිව සම්බාධක පැනවී තිබූ නිසාය. සම්බාධක ඉවත් කිරීමෙන් පසු එරට සිය නිෂ්පාදන ඉහළ නැංවූවා පමණි. එවැනි තත්ත්වයක් යටතේ නිෂ්පාදන කපා හැරීමට යෝජනා කිරීම ප්‍රායෝගික නැත. සිය දෛනික නිෂ්පාදනය බැරල් මිලියන 4 දක්වා ඉහළ දමන බවට මෑතදී ඉරානය ප්‍රකාශ කර තිබිණි. මේ වනවිටත් එය බැරල් මිලියන 3.5ක් පමණ මට්ටමක තිබිය හැකිය.

ලිබියාව, නයිජීරියාව හා ඉරානය නිෂ්පාදන කපා හැරීමේ සම්මුතියට එළැඹ නොමැති තත්ත්වයක් යටතේ ඔපෙක් ඉලක්කවලට ළඟාවීමට සවුදි අරාබියට බැරල් මිලියන 1.2ක් පමණ කපා හැරීමට සිදුව තිබිණි. එය පහසු ඉලක්කයක් නොවේ. අනෙක් අතට කිසිදු රටක් සිය නිෂ්පාදනය තීරණාත්මක අයුරින් කපා හරිනු ඇතැයි අපේක්ෂා කළ නොහැකිය.

ඉකුත් වසර මැද භාගයේදී ඔස්ට්‍රියාවේ වියානා නුවරදී ඔපෙක් 6 වැනි අන්තර්ජාතික සම්මන්ත්‍රණය පැවැත්විණි. එහි තේමාව වූයේ , ‘පෙට්‍රෝලියම් ගෝලීය සංවර්ධනයේ එන්ජිමයි යන්නය. ලෝක තෙල් වෙළෙඳපොළ මත ඔපෙක් හවුලේ ආධිපත්‍ය ගිලිහීයාම පිළිබඳ ද මෙහිදී අවධානයට ලක්විය. සමුළුවේ තේමාවෙන්ම ඒත්තු ගැන්වෙන පරිදි තවමත් ලෝකය කොපමණ දුරට පොසිල ඉන්ධන කෙරෙහි විශ්වාසය තබා ඇත්දැයි හැඟවේ. එමෙන්ම පොසිල ඉන්ධනවලට ගෝලීය තත්ත්ව කොපමණ දුරට හැසිරවීමට හැකියාව තිබේද යන්නද ඉන් ගම්‍ය වේ. කොලම්බියා සරසවියේ ගෝලීය බලශක්ති ප්‍රතිපත්ති පිළිබඳ මධ්‍යස්ථානයේ ආරම්භක අධ්‍යක්ෂවරයා වන ජේසන් බොර්දොෆ්’ පෙන්වා දෙන පරිදි, වත්මන් තෙල් වෙළෙඳපොළ කිසිවකු විසින් හෝ කළමනාකරණය නොකරයි. ‘එය නිදහස් වෙළෙඳ පොළක්’ බව ඔහුගේ අදහසය. එම නිදහස් වෙළෙඳපොළ මඟින් ඇති කරනුයේ අඩු මිල ගණන් ය.

බොර්දොෆ් පවසන්නේ එවැනි අවම මිල ගණන් බැරලයක් සඳහා දෛනික නිෂ්පාදන පිරිවැය ඇ.ඩො. 10 ට අඩු සවුදි අරාබියට වඩා එක්සත් ජනපදයට බලපත්‍ර ඇති බවය. ඉකුත් වසරේ අමෙරිකාවේ දෛනික නිෂ්පාදනය බැරල් මිලින 9.6ක් වුවද මේ වසරේදී එය බැරල් මිලියන 9 දක්වා පහත වැටී තිබේ. මේ වසර අග වනවිට එය මිලියන 8.3 පමණ දක්වා අඩුවනු ඇතැයි පුරෝකථනය කෙරේ.

රුසියාව යනු ලොව විශාලතම බලශක්ති අපනයනකරුවාය. තුර්කියේ ඉස්තාන්බුල් නුවරදී පැවැති ලෝක බලශක්ති සමුළුව අමතමින් ජනාධිපති ව්ලදිමීර් පුටින් දෛනික නිෂ්පාදන සීමා කිරීමට ගත් තීරණය දැනුම් දුන්නේ සෙසු අපනයනකරුවන්ගෙන්ද එසේ කරන්නැයි ඉල්ලා සිටිමිනි.

“වත්මන් තත්ත්වය යටතේ නිෂ්පාදනය අත්හිටුවීම හෝ කපාහැරීම මඟින් පමණක් ලෝක තෙල් වෙළෙඳපොළ ස්ථාවරත්වයකින් පවත්වාගත හැකියි” යනුවෙන් ඔහු පවසා තිබිණි.

රුසියානු ජනාධිපතිවරයා මේ ප්‍රකාශය කරන්නේ තෙල් අපනයනය කරන රටවල් බරපතළ ආර්ථික පීඩනයකට ගමන් කරමින් ඇති පසුබිමකය. මෙහිදී රුසියාව බොහෝ දුරට අනුගමනය කරනු ඇත්තේ දෛනික නිෂ්පාදනය වැඩි නොකර දැනට පවත්නා සීමාවේ පවත්වා ගැනීම බව බලශක්ති අමාත්‍ය ඇලෙක්සැන්ඩර් නොවැක් පවසා තිබේ. මේ වනවිට රුසියාවේ දෛනික තෙල් නිෂ්පාදනය බැරල් මිලියන 11.2 කි. එය පශ්චාත් සෝවියට් යුගයේදී වාර්තාගත නිෂ්පාදන මට්ටමකි.

නිෂ්පාදන කපා හැරීම ගැන නිශ්චිත තීරණයකට එළැඹීමට ඔපෙක් රටවලට හැකි වනු ඇත යන්න ජනාධිපති පුටින්ගේ විශ්වාසයයි. එසේ වුවහොත් එය ලෝක තෙල් වෙළෙඳපොළ හා ආයෝජකයන්ට සුබ පණිවිඩයක් වනු ඇති බව ඔහු පවසයි. සෞදි අරාබිය හා රුසියාව අතර දැනටමත් මේ අරභයා එකඟත්වයකට ආසන්නව තිබියදී එය වෙළෙඳපොළට බලපෑම් කරනු ඇති බවට ලකුණු පහළ වී තිබේ. කෙසේ වුවද එකඟතාවකට එළැඹීමට ප්‍රමාණවත් නොවන බවද වෙළෙඳපොළ විශ්ලේෂකයන්ගේ අදහසය. ඔවුන් පෙන්වා දෙන අන්දමට ඉතිහාසයේදී බොහෝ විට සිදුව ඇත්තේ ඇතිකරගත් එකඟතාවන්ට ගරු නොකරමින් තෙල් අපනයනයේ යෙදෙන රටවල් ක්‍රියාකිරීමයි. ඔපෙක් රටවල් සමඟ එක්ව රුසියාවද එසේ ක්‍රියාකරනු ඇතිදැයි කියන්නට තවමත් ඉක්මන් වැඩිය.

රුසියාව ස්වේච්ඡාවෙන්ම මෙවැනි තීරණයක් ගනු ඇතිදැයි ‘ෆෝබ්ස්’ විශ්ලේෂණයක් මඟින් සැක පළ කර තිබිණි. ඉන් පෙන්වා දුන් එක් කාරණයක් වන්නේ මුල්පෙළේ අපනයනකරුවන් තමන් එසේ කළ යුත්තේ ඇයි යන ප්‍රශ්නය මතු කරනු ඇති බවයි. සමාගම් 150ක් පමණ මේ වනවිට එහි නිෂ්පාදන කටයුතු කරමින් සිටී. වත්මන් වෙළෙඳපොළ තත්ත්ව සවුදි අරාබියට බලපාන පරිදිම රුසියාවටත් බලපාන්නේද යන්න සිතිය යුතුය යන ප්‍රශ්නය ඇතැම් විට මතුවිය හැකිය. බටහිර මූලාශ්‍ර ගණනාවක් රුසියාවේ තීරණය විවේචනාත්මකව ප්‍රශ්න කර තිබුණේ ඔපෙක් රටවලට ඔවුන් උදව් කරනු ඇති ද යන ප්‍රශ්නය මතු කරමිනි. එසේ වුවද, මීට ඇති සූදානම පිළිබඳ තීරණය පළ වී ඇත්තේ රුසියානු ජනාධිපතිවරයාගෙන්මය. සෙසු නිෂ්පාදකයන්ද එසේ කරනු ඇතැයි ඔහු අපේක්ෂාවෙන්ද සිටී. ඒ අනුව මෙය බොහෝ දුරට ප්‍රායෝගික වීමට ඉඩ තිබේ. එසේ වුවහොත් එහි බලපෑම් ලෝක තෙල් වෙළෙඳපොළ හරහා සෙසු රටවලටත් දැනෙනු ඇති.

ඔබගේ අදහස අපට කියන්න

Close